විශ්වයේ ශක්තිය විශ්වාස කරන්නා ජීවිතය දිනයි

සෑම අසීරු මොහොතක්ම ඔබව පරීක්ෂා කරන අවස්ථාවක්
අගෝස්තු 1, 2022

 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි පාලිත දිසානායක මහතාගෙන් ඔබේ ජීවිතය ආලෝකවත් කරන්නට...

 

ඇතැම්හු විශ්වයේ බලපෑම ගැන නො දනිති. සමහරු එය දැන දැනත් විශ්වාස නොකරති. එය විශ්වාස කරන්නන් දෙස ද අවතක්සේරුවකින් බලති. එහෙත් විශ්වයේ බලපෑම අනුපමේය ලෙස අදහන්නෝ තම ජීවිතය යහපත් දිසාවකට හරවා ගනිති. ගැඹුරු විග්‍රහයේ දී විශ්වය යනු තමාගේම යටි සිතයි. ගැඹුරු සිත සුපහන් සිත භවාංග චිත්තය ලෙස ද එය හැඳින්වේ. විශ්වීය බලපෑම මූලධර්ම කීපයක් මත ක්‍රියාත්මක වන්නකි. විශ්වාසයේ නීතිය, වන්දි ගෙවීමේ නීතිය, කෘතවේදීත්වය පිළිබඳ නීතිය මේ අතර ප්‍රමුඛ වේ. විශ්වය ඔබව පරික්ෂා කරන අවස්ථා පවතී.

 

ජීවිතේ සමහර කාලවල දී මොනතරම් ඔළුව කෙළින් තියාගෙන වැඩ කරන්න හැදුවත්, ධනාත්මකව හිතන්න හැදුවත් ඒක කරන්න හරිම අපහසු අවස්ථා එනවා. මොකද ඔබට මතක් වෙන්නෙ ප්‍රශ්න ගැනම විතරයි. සතුටු වෙන්න හේතුවක් හොයාගන්නවත් බැරි අවස්ථා ඕනෙ තරම් අප ජීවිතයට එන්න පුළුවන්. එබඳු ජීවිත තර්ජන ද ජීවිතයේ ඉදිරිය බැලීමට පන්නරයක් කරගන්න පුළුවන්.

 

අවලාද එපා

විශ්ව ආකර්ෂණීය නීතිය භාවිත කරන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ තරම් හොඳ දේවල් කරලා, ධනාත්මකව හිතලා වැඩ කළත් ඇයි මේ වගේ කරදර ඇතිවෙන්නෙ කියලා. ඇයි මම කරන කිසි දෙයක් සාර්ථක නො වෙන්නෙ කියලා. එහෙම විශ්වීය බලවේගවලට දෙස් දෙවොල් තැබීමෙන් ඔබ කරගන්නේ, ඔබ දැන හෝ නො දැන දහස් වරක් ඔබට පිහිට වූ ඒ මහා විශ්වයටම අවලාද නැගීමයි. එමතින් විනාශයේ දොරගුළු හැර ගැනීමයි. ඔබ ඒ වෙලාවට මතක් කරගන්න "මේක විශ්වය විසින් මාව පරික්ෂා කරන අවස්ථාවක්" කියා.

 

වෙනස් වෙන්න අවස්ථාවක්

ජීවිතයට එකපිට එක ප්‍රශ්න එන වෙලාවට හිත කියයි මේ හැමදේම නවත්තලා දාලා පරාජය භාරගෙන දුකසේ ඉන්න කියලා. එහෙම වෙලාවට හුඟාක් අය හිතන්නෙ මුළු ලෝකයම තමන්ට විරුද්ධව පෙරළී එන බවයි. එවිට ජීවිතය නැති කරගන්න තරම් දුකක් පීඩනයක් ඔබට දැනෙන්න පුළුවන්. නමුත් ඔබ කීයටවත් එහෙම කරන්න හිතන්න එපා. මොකද ඒක විශ්වය ඔබට වෙනස් වෙන්න ලබා දෙන වටිනා අවස්ථාවක්. ඔබට ඔබ ගැනම හිතන්න සලස්වන වෙලාවක්. ඒ වගේම විශ්වය ඔබව පරික්ෂා කරන වෙලාවක්. ඔබ ඒ වෙලාවෙ කඩා වැටුණොත් විශ්වය හිතනවා ඔබ දුර්වලයි කියලා. දුකක් වුණත් සතුටක් වුණත් සම සිතින් විඳදරාගන්න. උපේක්ෂාව ප්‍රගුණ කළ කෙනකුට තමයි විශ්වය මඟ පෙන්වීම කරන්නෙ. යමක් දීමට පෙර ඔබ ඊට සුදුස්සෙක් ද යන්න දහස්වර පරීක්ෂා කර බලනවා. ඔබ පරීක්ෂණයෙන් සමත් වුණොත් විශ්වය හිතන්නෙ මෙයාට ඕනෙම දෙයක් දරාගන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා ජීවිතේ ඉහළටම යාමට ඇවසි ශක්තිය ලබා දිය යුතුයි කියලා.

 

අසීරු වුණත් දරාගන්න

විශ්වය එසේ ලබා දෙන පරීක්ෂණයකින් ඔබ සමත් වුවොත් විශ්වය නැවත දිගින් දිගටම ඔබට හොඳ දේවල්ම ලබා දෙන්න ගනීවි. ඔබ කලින් හිටියට වඩා දියුණු කෙනෙක් බව ඔබටම තේරේවි. ඒ නිසා අසීරු කාල කෙසේ හෝ දරාගන්න. ජීවිතේ කොතරම් අසීරු වුණත් දරාගෙන හිත හයිය කරගෙන ජීවත් වෙන්න. ලොව ඉහළ ම ධනවතකුව සිටි නෞකා හිමියකු වූ ඔනාසීස් වීදි දරුවකු ලෙස සිට ජීවිතයේ ඉදිරිය බැලීමට යටි සිත අවදි කරගත් අයෙක්. බිල් ගේට්ස් හාවඩ් විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙන ගනිමින් සිටිය දී ඔහුට එය අතහැර මෘදුකාංග නිපදවා ලොව ජය ගැනීමේ සිහිනය හඹා යාමට බලපෑම් කළේ ද යටිහිත යි. හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩි දුටු සිහිනය වූවේ මිනිසකු සඳට යැවීමයි.

 

කඳුළු අතරින් හිනාවෙන්න

හැමෝටම ඔබේ ප්‍රශ්න කියන්නත් එපා. මොකද ඔබේ ප්‍රශ්න රසවිඳින අයත් ඉන්න පුළුවන්. තනියම දරාගන්න බැරිනම් කාටවත් නොකියා ඉන්නත් එපා. කවුරුත් විශ්වාස නැත්නම් ගහට කොළේට හරි ඔබේ හිතේ ති‍ෙයන දේ කියලා හිත නිදහස් කරගන්න. අභියෝග ජීවිතයට ශක්තියක් කරගන්න. කඳුළු අතරින් හිනාවෙන්න. අභියෝගවලින් ලැබෙන ශක්තිය ජීවිතයට පන්නරයක් කරගන්න. කවුරුන් නැතත් ඔබ වෙනුවෙන් ඔබ ජීවත් වෙන්න. ඔබ ඔබට ආදරේ කරන්න. තැළෙන්න තැ‍ළෙන්න මුවහත් වන වානේ කැබැල්ලක් වගේ වෙන්න. සාමාන්‍ය වානේ කැබැල්ලකට කාන්දම් බලය කැවූ විට එය මෙන් දස ගුණයක් බර වෙන බව පැවසේ. එක් බීජයකින් වනාන්තර 10ක් නිමවීමේ හැකියාව පවතී. ලොව කුඩාම බීජය වූ අබ ඇටයක් ගෙවතු වගා අතර විශාලතම ශාකය නිමවනු ඇත. කුඹුක් ගසක් ජල උල්පත් 52ක් නිමවයි.

එහෙයින් සෑම අසීරු මොහොතක්ම විශ්වය ඔබව පරික්ෂා කරන අවස්ථාවක් බව මතක තබා ගන්න. ඔබ විශවයේ ආශීර්වාද ලත් අයෙක් වේවා. සුපිපි අරවින්දයක් මෙන් ඔබේ දිවිය ආලෝකවත් වේවා!

 

මිනිසකුට රිදෙන්න ඕනෙ හිතට දිරියක් එන්න.

වරදින්න ඕනෙ පන්නරය ලබන්න.

පරදින්න ඕනෙ සාර්ථක වෙන්න.

මිනිසුන් වයසට යන්න ඕනෙ. ඒත් අවුරුදුවලින් නම් නොවේ අත්දැකීම්වලින්.

ජීවිතය කෙටියි. මානය දුරලමු.

ඉක්මනටම සමාව දෙමු. සෙමෙන් විශ්වාස කරමු. හදවතින්ම ආදරේ කරමු. අලුත් වැස්සකින් උපත ලබන නැවුම් දිය දහර වගේ නව ජීවන දැක්මක් සකසා ගනිමු. ඔබේ දිවි මඟ සත් පියුමන් පිපේවා!