විස දුමට විසඳුමක්

ස්වසන ආබාධ, කොරෝනා රෝගය වැළඳුනු අය මේ දිනවල වඩාත් ප්‍රවේසම්වන්න
දෙසැම්බර් 12, 2022

 

මුළු පරිසරයම අඳුරුය. අහස් කුසම කළු දුමාරයෙන් පිරී ඇත්තේ කුමන හෝ ලොකු අනතුරක් අතළඟ බව ඉඟි කරමිනි. කාලගුණ විද්‍යාඥයෝ මේ ගැන විවිධ මත පල කරයි.

 

එසේම මෙයින් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල ගැනද සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු අනතුරු අඟවති. මිනිසා පරිසරයට කළ හානි ප්‍රතිඵල පොදුවේ අප සැවොම අඩු වැඩි වශයෙන් අත්විඳිමු. සමස්ත ලෝකයම විශාල පරිසර හානියකට මුහුණ දී ඇත්තේ දුප්පත් පොහොසත්කම් හෝ ප්‍රබලත්වය හා දුබලත්වය නැමැති තරාතිරම් කිසිවක් නොසලකමිනි. ඉන්දියාවේ සිට මේ වනවිට අපේ රටට දුම් හා දූවිලි අංශු බහුල සුළඟ හමාගෙන ඇවිත් මුළු වායුගෝලයේම ගුණාත්මක බව බිඳවැටී තිබේ. බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවූ අවපීඩන තත්ත්වය සමඟ මෙරටට පැමිණි මෙම දූෂිත වායුව ආග්‍රාහණය කිරීමෙන් ඇතිවන තත්ත්වය පිළිබඳ අප සැමටම ඇත්තේ විශාල බියකි.

 

කෙසේ හෝ අප මුහුණ දී තිබෙන මෙම පාරිසරික විපර්යාසයට මුහුණ දිය යුතුව තිබේ. කොරෝනා වසංගතය නිසා ඇති වූ සෞඛ්‍යය ගැටලු යාන්තමින් විසඳෙන මෙවැනි කාලයක මෙම විෂ වායුව ආග්‍රාහණය වීමෙන් ඇති විය හැකි භයානක තත්ත්වය පිළිබඳ අප විමසීමක් කළේ සෞඛ්‍යය අමාත්‍යංශයේ පාරිසරික වෘත්තීය සෞඛ්‍යය හා ආහාර රක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාගෙනි. ඔහු සඳහන් කළ කරුණු සෑම කෙනෙකුටම ඉතාම වැදගත් වන අතර වායුගෝලයේ දැනට පවතින දූෂිත මට්ටමේ වායු තත්ත්වය පුද්ගල සෞඛ්‍යය තත්ත්වයට විශාල බලපෑමක් සිදු කරන බව ඔහු සඳහන් කළේ දැඩි අවධානයෙනි. ඒ පිළිබඳව කරුණු වඩාත් පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ මෙලෙසිනි. මේ විෂ දුමාරය සමාජයේ විවිධ කණ්ඩායම් වෙත විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරනවා. මෙහි අහිතකරම බලපෑම වැඩි වශයෙන්ම ඇති වන්නේ නිදන්ගත ස්වසන රෝගාබාධ ඇති අයටයි. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ කොරෝනා ඇති වූ රෝගීන් මෙම වායු දුමාරයෙන් වඩාත් ප්‍රවේශම් විය යුතුය.

 

ඒ වගේම වෙනත් බෝ නොවන රෝග ඇති අයටත් මෙහි බලපෑමක් තිබෙනවා. හෘදයාබාධ, වකුගඩු රෝග, දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇති විවිධ සංකූලතා ඇති රෝගීන්, ගර්භිනී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් හා සංවේදී පුද්ගලයන්ට එහි බලපෑම ඉහළයි. මේ අයට වැළඳිය හැකි ලෙඩ රෝග තමයි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග හා බෝ නොවන විවිධාකාර රෝග. එනම් හෘදයාබාධ, අංශභාග තත්ත්වයන් පවා මෙම අංශු ආග්‍රාහණය වීමෙන් ඇතිවිය හැකි බවට ලෝකයේ සිදු කළ පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. ස්වසන ආබාධිත අයට ජීවිත තර්ජන පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.“

 

මෙයින් වැළකීමට අප අනුගමනය කළ යුතු පිළිවෙත්

මුඛ ආවරණයක් පැළඳීම මේ දිනවල අනිවාර්යෙන්ම කළ යුතු පිළියමකි.

එසේම මේ දිනවල එළිමහනේ ව්‍යායාම කිරීම හා ළමුන් මුව ආවරණයක් නොමැතිව සෙල්ලම් කිරීමට හෝ ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ නොදිය යුතුය.

ඔබ එළිමහනේ රැකියාව කරන අයෙකු නම් මේ දින කිහිපයේ එම කටයුතුවලින් හැකිතාක් දුරට වැළකී සිටීමට උත්සාහ කරන්න.

එසේ නැතිනම් අනිවාර්යෙන්ම මුඛ ආවරණයක් පළඳින්න.

යම් අයෙකුට ස්වසන රෝගී තත්ත්වයක් තිබේ නම් එහි වැඩි වීමක් දකින්නට ලැබේ නම් හෝ ස්වසන අපහසුතා ක්‍රියාත්මක වේ නම් හැකි ඉක්මනින් රෝහලක් වෙත යන්න.

එසේම ඔබට නිදන්ගත රෝග ඇත්නම් එම රෝග ලක්ෂණ උත්සන්න වීමක් දකින්නට ලැබේ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

මේ දින කීපය ඔබ කොරෝනා වසංගතය පැවති කාලයේ අනුගමනය කළ පිළිවෙත් ආකාරයටම වඩාත් අවධානයෙන් කටයුතු කිරීම වඩාත් සුදුසුය.

 

 

සෞඛ්‍යය අමාත්‍යංශයේ පාරිසරික වෘත්තීය සෞඛ්‍යය හා ආහාර රක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය

තිලක් සිරිවර්ධන

 

 

ඡායාරූප -  රුක්මාල් ගමගේ