වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
අපි කන හැටි ළිපා දනී කිවුවලු

2016 ජූලි 19 සඳුදා
සමන්තියි, ඛේමයි දෙන්න අද මට ලන්ච්වලට යමු කියල පොරේ. සමන්ති අද අලුත්ම රෙසිපියකට චිකන් හදන් ඇවිල්ල කියලනෙ ඔය මැරෙන්ඩ හැදුවෙ. ඛේමත් මොකද්ද අමුතු කෑමක් ගෙනාවා කියලා උඩ පැන පැන හිටියා. ඒව පෙන්නන්ඩ තමයි මට අඬගහන්ඩ ඇත්තෙ. සමන්ති විතරක් හිටිය නම් මම යනවා. සමන්ති වාගෙ නෙමේ නෙ ඛේමා. කාගෙ හරි අඩුපාඩුවක් නැතිබැරි කමක් උලුප්පලා දෙකේ කොළේට දාන්ඩමයි බලන් ඉන්නෙ.
“අද මං උදේට කෑවෙ දවල් වෙලා අනේ. ඒ මදිවට අලි බත් එකක්. ඔන්නොහෙ ටිකක් පරක්කු වෙලාම කනවා. "
බඩ පණුවො හිටි පිනුම් ගගහ හිටියේ. ඒත් මං මඟෑරියා. එයාලයි බත් මුල්වලින් හොඳ හොඳ ජාති දානකොට විලිලැජ්ජාවක් නැතුව මට පුළුවනෑ මෙලෝ රහක් නැති සෝයයි, පරිප්පුයි බෙදන්ඩ.
තව දවස් දෙක තුනකින් පඩි හම්බුණාම ළමයිනුත් එක්ක රහට බත් වේලක් කන්ඩම ඕනෑ.
2016 ජූලි 21 බදාදා
මේ ටිකේම සෝයයි - පරිප්පුයි, පරිප්පුයි - සෝයයි, ඉඳල හිටලා පොල් සම්බෝලයි කාලා ළමයි දෙන්නටත් එපා වෙලා වෙන්ඩැති ඊයේ රෑත් කන්ඩ බෑ කියල චුරු චුරුව. අදත් වෙන්නෙ ඕකම බව දන්න හන්ද මං ඉතින් උපකාරක අවස්ථාව ප්‍රයෝජනේට ඇරන් ප්‍රශ්නෙ ස්විච් කළා මහගෙදර නෑනණ්ඩිට. ඇයි ඉතින් එයානෙ එක එක ජාති කවලා මේ ළමයි දෙන්නගෙ දිවවල් රහ කෑමටම හුරු කරවලා තියෙන්නෙ.
"අනේ අක්කෙ අද දවල් ඉඳලම මට බඩේ අමාරුවක්. කෙළින් ඉන්ඩවත් පණ නෑ. අමාරුවෙන් බස් එකේ ආවෙත්. රෑට අපිටත් එක්ක යන්තම් ඔය මොනව හරි රත් කරන්ඩ පුළුවනිද අක්කට කරදරයක් නැත්නම්. "
උණ කිවුවොත් ඇඟට අත තියල රස්නෙ ද බලන හන්දයි මං බඩේ අමාරුවක් කියලා කිවුවෙ. මොකද ඉතින් බඩේ අමාරුව ඇත්තක් ද කියල බලන්ඩ බඩ හාරලා බලන්ඩයෑ.
අපරාදෙ කියන්ඩ බෑ අපෙ නෑනණ්ඩි එයාගෙ මලයණ්ඩිට තියෙන ආදරේ හන්ද ද මන්දා මොන උදවුවක් ඉල්ලුවත් නෑ බෑ නම් කියන්නෑ. නෑනගෙ කෑමත් හරි රහයි නෙ. රෑට ඉවිල්ලකුත් නැති හන්දා ළමයි දෙන්නට ටීවී බලන්ඩ ඇරල චුට්ටක් ඇල වුණා. දන්නැතුවම නින්ද ගිහින් තිස්ස මට ඇහැරවද්දි රෑ නවයටත් කිට්ටුයි.
"ළමයි දෙන්නත් කාල නිදි. මාත් කෑවා. ඔයාට දැන් අඩුද සාමා? බඩගින්නෙ නිදියන්ඩ එපා. පොඩ්ඩක් හරි කාලා නිදාගන්ඩ. "
තිස්සට අනුකම්පා හිතිලා මාව කෑම මේසෙ ළඟට එක්ක ගිහින් බතුත් බෙදුවා. හොර ලෙඩක් හරි හැදෙන්ඩෝනැ ඉතින් ගෙදර මිනිහගෙ ආදරේ ලබන්ඩත්. ඒත් තිස්ස මට බෙදුවෙ තැම්බුම් හොදියි, බතුයි විතරයි. කාටද දෙයියනේ මෙව්ව කාල ඉන්ඩ පුළුවන්.
"ඈ....තිස්ස, මේ මොනවද ? ඔයාලත් මේවද කෑවෙ ? "
" නෑ.. නෑ... අපි නම් බැදපු මාළුයි, අල කිරි හොදියි, සම්බෝලයි, අච්චාරු ද මොනවදයිත් කෑවා. බඩේ අමාරුව හින්දා ඒව කන්ඩ හොඳ නෑනෙ කියල අක්ක ඔයාටමයි ඔය තැම්බුම් හොදි හදලා ගෙනාවේ."