ඉස්සර පිරුළු දැන් පිළුණුයි එහෙම කළොත් වැඩ දරුණුයි

ජුනි 30, 2025

දරුවෙක් ජීවිතයේ වැඩි කාලයක් ගෙවන්නේ මව සමඟ. මාස 10ක්ම මවගේ ගර්භයේ ඉඳපු දරුවා, කලලයේ ඉඳලා වැඩිහිටියෙක් වෙන තෙක්ම ලෝකය දකින්නේ මවගේ ඇස් දෙකෙන්. ඒ විදිහට බලද්දී ඕනෙම ළමයෙක් සමාජානුයෝජනය වෙන්නේ මවුපියෝ හරහා. ඒකේදි වැඩි කාර්ය භාර්යයක් කරන්නේ අම්මා. අම්මා දකින දේවල් සහ බලන දේවල් දිහා බලලා තමයි දරුවොත් හැදෙන්නේ.


පරිසරය සහ ආරය කියන හේතූන් දෙකම දරුවාගේ පැවැත්මට බලපානවා. මේ හැම දේකටම වඩා අම්මගේ දැක්ම ළමයකුට අතිශය ප්‍රබල විදිහට බලපානවා. අපි හිතනවා ළමයා ඇවිදින්න පටන්ගන්න කොට විතරයි මේ දේවල් බලපාන්නේ කියලා. නමුත් මම හිතන්නේ දරුවා ගර්භයේ ඉන්න කාලයේ සිටම මවගේ චිත්ත වේග දරුවාට බලපානවා කියලා. ඒක වෛද්‍ය විද්‍යානුකූලව පවා ඔප්පු කරලා තියෙනවා.

දරුවෙක් ලැබෙන්න ඉන්න කොට අම්මා ගොඩක් සන්සුන් වෙන්න ඕනේ. ගොඩක් හොඳ සිතිවිලිවලින් හිත පුරවාගන්න ඕනේ කියලා කියන්නේ බොරුවට නෙවෙයි. මොකද ගර්භයේ ඉන්න දරුවට ඍජුවම මවගේ හැසිරීම සහ ස්වභාවය බලපානවා.
 

මොකද අපි ළඟට එන ගොඩක් මානසික රෝගීන්ට, අඳුරු ව්‍යසනකාරි ළමා වියක් තිබුණා කියලා අපි හොයාගත්තා. ඒකත් ඇතුළට ගිහින් බැලුවම ඔවුන් ඉපදෙන්න ඉන්න කාලේ ඔවුන්ගේ මවුවරු විවිධ මානසික රෝගවලින් සහ අහිතකර චිත්ත පීඩාවලින් සිටි අය. ඉතින් පසුකාලීනව ඒ දරුවන්ද මානසික පීඩාවලට ලක්වීමට ඒ දේවල් බලපානවා. ඒ නිසා ගර්භයේ ඉඳන්ම දරුවාගේ චිත්තවේග ඉතා යහපත් මට්ටමක තියෙන්න ඕනේ කියලයි අපි හැමෝම විශ්වාස කරන්නේ. දරුවා ගර්භයේ ඉද්දී පරිසරයේ සිදුවන හැම දෙයක්ම හොඳින් අහගෙන ඉන්නේ. ඒ නිසයි ඒ කාලයේදී නිතරම හොඳ දේවල්ම අහන්න දකින්න කියලා වෛද්‍යවරු පවා කියන්නේ.

"අනුන්ගේ දේවල් කඩලා බිඳලා දාන්න එපා" කියලා අම්මා දරුවෙකුට කිව්වොත් ළමයා ඒක ඉගෙන ගන්නවා. ළමයා හිතනවා මට අයිති නැති දෙයක් මම ගන්න ඕනෙ නැහැ කියලා. ඉතින් හැම දේකදීම දරුවා ලෝකය දකින්නේ අම්මගේ ඇස් දෙකෙන්.
කවුරු හරි අම්මා කෙනෙක් කිව්වොත් "පුතේ අනුන්ගේ දේවල් කැඩුවට, අනුන්ගේ දේවල් හොරකම් කළාට කමක් නැහැ" කියලා. ළමයා අහන්නේ ඒ දේ. අපි දකිනවා බුරුතු පිටින් ඇමතිලා, මන්ත්ත්‍රීලා ඔවුන්ගේ බිරින්දෑවරු ඇතුළු දරුවන් සමඟ පවුල් පිටින් හිරගෙදරට යනවා. එහෙම වෙන්නේ පවුල ඇතුෙළම හොරකම සාමාන්‍යකරණය වුණහම. එතකොට එයාලා සාධාරණීයකරණය කරගන්නවා තමන් අනුන්ගේ දෙයක් ගත්තට කමක් නැහැ කියලා.

බුද්ධාගම අදහන අය පන්සිල් පද පහත්, කතෝලික ආගමේ නම් දස පනතත්, ඒ වගේම මුස්ලිම් සහ හින්දු ආගම්වලත් නොකළ යුතු දෑ ගැන සඳහන් වෙනවා. මේ නොකළ යුතු දේ ගැන දරුවන්ට කියලා දෙන්න ඕනේ අම්මලා, තාත්තලා. එහෙම බලද්දී දරුවෙක්ව යහමඟට ගන්න පවුල ඇතුළේ ලොකු කාර්ය භාර්යයක් ඉටු කරන්න තියෙනවා.

කතාවට කියන්නේ "ගැහුවොත් ගහන්න. බැණ්නොත් බණින්න" කියලා. හැබැයි කවුරු හරි බැණ්නා කියලා බැණගෙන ගියොත් වෙන්නේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් වචන නාස්ති කිරීමක්. ඔබ අහලා ඇති ප්‍රසිද්ධ කතාවක් තියෙනවා චීටයි බල්ලයි ගැන. බල්ලයි චීටයි අතරේ තරගයක් තිබ්බා. තරගය පටන් ගනිද්දි බල්ලා දිව්වට චීටා දිව්වේ නැහැ. චීටා හිතුවා මම මොකටද මේ එක එක බල්ලන්ට දෙවැනි වෙන්නේ කියලා. ඒකෙන් කියන්නෙ හැප්පෙන්නත් ඕනේ තමන්ට ගැළපෙන මිනිස්සු එක්ක කියලායි.

ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙනකොට, යහපත් දේවල් උගන්වන කොට වැඩි වගකීමක් තියෙන්නේ මවුපියන්ට. මොකද පාසලේ ඉන්නේ පැය 6යි. ඉතුරු කාලයම ඉන්නෙ ගෙදර. එතකොට අම්මගෙයි තාත්තගෙයි හැසිරීම, සිතුවිලි සහ චර්යා ළමයට ගොඩක් වෙලාවට බලපානවා වගේම ළමයාගේ අනාගත දැක්ම තීරණය වෙන්නෙත් ඒක මත.

අම්මා පාරේ යන කොට, කන කොට, වැසිකිළි යනකොට අම්මා තමයි ඒ දේවල් පුරුදු කරන්න ඕනේ. විශේෂයෙන් අපි කියනවා කනකොට සුරු සුරු ගාලා කන්න එපා කියලා. ඇඟිලි ලෙව කන්න එපා කියලා. දෙවැනි පුරුකෙන් උඩට බත් එන්න කන්න එපා කියලා.
අපේ සමාජය ඇතුළේ ඒ වගේ හොඳ දේවල් ගොඩක් තියෙනවා. අවාසනාවට ඒ වගේ හොඳ දේවල් ගැන අපි හිතන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල පවා වැසිකිලිවළ ගහලා තියෙනවා "පාවිච්චි කළ පසුව වතුර ගසන්න. සනීපාරක්ෂක තුවා දමන්න එපා" කියලා. විශ්වවිද්‍යාලවලට එන්නේ හොඳට ඉගෙන ගත්ත උගත් තරුණ ළමයි. ඒ වගේ අයටත් මේ වගේ බෝඩ් ගහලා කියන්න ඕනේ ද? ඒ දේවල් පුරුදු කරන්න ඕනේ ගෙදරින්.

පවුල ඇතුළේ ළමයින්ට වෙලාවක් තියාගන්න කතාබහ කරන්න. අදහස් හුවමාරු කරගන්න. ඒ වෙලාව ඇතුළෙදී අම්මට පවුලේ හර පද්දතීන් ගැන උගන්වන්න පුළුවන්. විවාහයකට යන්න ඉන්න දරුවට විවාහ ජීවිතය ගෙනියන්නේ කොහොමද කියන එක උගන්වන්න පුළුවන්. උපදේශන සේවා ගන්න එන සමහර අය ඉන්නවා විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය. උයන්න දන්නේ නැහැ. හැසිරෙන්න දන්නේ නැහැ. කන්න දන්නේ නැහැ. නාන්න දන්නේ නැහැ. ගෙයක් අස් කර ගන්න දන්නේ නැහැ. මහන්න දන්නේ නැහැ. අහන, අහන දේ දන්නේ නැහැ. එයාලා විවාහය කියලා හිතන්නේ ලිංගික සම්බන්ධකම් පවත්වන එක විතරයි කියලා. ළමයෙක් හම්බෙලා දරුවව නළවන්න කිව්වම දරුවව නළවන්න කවියක් දන්නේ නැහැ.

ඉන්නේ පුතෙක් නම්, ගැහැනියකට ගරු කරන්නේ කොහොමද? හැඟීම්වලට ගරු කරන්නේ කොහොමද? ගැහැනියව තළා පෙළන්නේ නැතුව ආදරෙන් බලාගන්නේ කොහොමද? අගයක් වටිනාකමක් දෙන්නේ කොහොමද කියලා උගන්වන්න.

මුදල් පරිපාලනය, හොඳ රස්සාවක් තෝර ගන්න විදිහ, අනාගතය හැඩගස්වා ගන්න විදිහත් දරුවන්ට කියලා දෙන්න ඕනේ. මොකද ළමයින්ට ටිකක් රිදෙනකොට අම්මලා තාත්තලට ගොඩක් රිදෙනවා. අම්මලා තාත්තලා මේ හැමදේම කරන්නේ ළමයින්ගේ යහපත වෙනුවෙන්. මොන තරම් කාර්යබහුල අම්මා කෙනෙක් වුණත් එදා දවසේ අම්මලාගේ ආහාර වේලට හදන්නේ මොනවද? උදේට කන්න දෙන්නේ මොනවද, දවල්ට කන්න දෙන්නේ මොනවද කියන එක සැලකිලිමත් වෙනවා.

අම්මා, තාත්තා කියන්නේ කන්න බොන්න දීලා භෞතික දේවල් දෙන එකට විතරක් නෙවෙයි. චිත්තවේගී ආදරයකුත් මිනිස්සුන්ට ඕනේ. ඒවත් එක්ක වැඩෙන දරුවෝ හරි සාමකාමී. සමාජයට කරදරයක් නැහැ. සමාජයට බයක් නැහැ. සමාජයට හිරිහැරයක් නැහැ. මේක කරන්න පුළුවන් අම්මා තමයි දක්ෂ අම්මලා කියලා කියන්නේ. එතකොට අම්මලාට තැවෙන්න, අඬන්න, දුක් වෙන්න දෙයක් නැහැ. අම්මා, තාත්තා ඇහට පාට පාට කණ්ණාඩි දාලා නම්, එයාලා හැම වෙලාවෙම ලෝකේ දකින්නේ වැරදියට නම් මේක කරන්න බැහැ. අම්මා, තාත්තා හැම දේකින්ම දකින්නේ වැරදි විතරක්ම නම්, ඒ වගේ හැම වෙලාවෙම රණ්ඩු වෙවී ඉන්න මිනිස්සු යහපතවත්, සතුටවත් ලෝකයට දායාද කරන්නේ නැහැ. ඒක නිසා ඔබේ දරුවා හදාවඩා ගනිද්දී යහපත් කෙනෙක් විදිහට සමාජයට මුදා හැරීම ඔබේ වගකීමක්.

ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව