දරුවන් කුස දරා සිටීම අසීරුය

ජුනි 30, 2025

මානව ප්‍රගමනයේ අඛණ්ඩතාව උදෙසා මිනිසා දරුවන් ජනනය කළ යුතුය. එය ජීවවිද්‍යාත්මකව ගැහැනිය සතු කාර්යභාරයකි. ගැහැනියක් දුක් විඳින ආකාර කිහිපය අතරින් ප්‍රධාන එක් ආකාරයක් නම් ගර්භිණීත්වයයි. ගැහැනිය වෙනුවෙන් සමානාත්මතාව ඉල්ලා සිටින අතරම ගැහැනිය වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිය යුතු අවස්ථා බොහෝ ගණනක් ජීවිතයේ අපට හමුවේ. එයින් එක් ප්‍රධාන උදාහරණයක් නම් දරුවන් ලැබෙන්නට සිටින ස්ත්‍රීන් වෙනුවෙන් ඇති සාධාරණත්වයයි.

 

සමානාත්මතාව සහ සාධාරණත්වය යනු කුමක්ද? සමානාත්මතාව යනු අධ්‍යාපනය, රැකියා අවස්ථා ආදියේදී ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබා දිය යුතුය යන අදහසයි. සාධාරණත්වය යනු ඉහත කී සමානාත්මතාවෙන් ඔබ්බෙහි ඇය කෙරෙහි දැක්විය යුතු සාධාරණ ආකල්පයයි. සමාන ආකාරයෙන් සැලකීම එහිදී වැදගත් වන්නේ නැත. එය විශේෂ අවස්ථාවක් බැවින් ඇය දෙස විශේෂිතව බලා අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය.

 

ගර්භිණීත්වය අතිශය වෙහෙසකරය. එහි අවධිවලදී හෝමෝනවල ඇතිවන වෙනස්කම් ඇය බෙහෙවින් ආතතියට පත් කරයි. ඇතැම් ස්ත්‍රීන්ට උදෑසන හෝ සවස්කල ඇතිවන අපහසුතා දැකගත හැකිය. වමනය, ක්ලන්තය වැනි අපහසුතා ඒ අතර ප්‍රධානය. දිවට දැනෙන අමුතු රස නිසා කෑම අප්පිරියා වෙයි. ඇතැම් විට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. අධික වෙහෙස, අධික කේන්තිය හෝ අධික දුක ඇති විය හැකිය. සිය සැමියාගේ, මවුපියන්ගේ, මිතුරන්ගේ මෙන්ම වැඩ කරන පරිසරය තුළ ඇයට සුවිශේෂ සැලකීමක් මේ කාලයේ අවශ්‍ය කරයි. ඇයගේ වැඩවලට උදවු වීම, වැඩ බෙදා ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. උයද්දී, වළං පිඟන් සෝදද්දී, ඇඳුම් සෝදද්දී සැමියාට ඒ වැඩවලට සහාය දිය හැකිය. විශේෂයෙන් නි‍ෙවසේදී සැමියා ඇයගේ වැඩට සහාය දිය යුතු අතර, වැඩ කරන ස්ථානවල සිටින අය ඇයට උදව් සැපයිය යුතුය. පඩි නඟිමින් යා යුතු තැනකදී එයට වෙනත් කෙනෙකුට ඉදිරිපත් වී සිදු කර දිය හැකිය. ඇයගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් මේ කාලයේ සැලකිලිමත් විය යුතුය.

 

පොදු ප්‍රවාහනයේදී ඇයට අසුනක් පිරිනමන්නට පවා බොහෝ අය මැළි වෙති. ඇතැමෙක් අහක බලා ගනී. ගර්භිණී ස්ත්‍රියක් දුටු විටම අසුනින් නැඟී සිට අසුන පිරිනමන සංංස්කෘතියක් අප ඇති කරගත යුතුය. ගර්භිණී බව යනු ස්ත්‍රියකගේ හුදෙකලා සංසිද්ධියක් නොව මානව සමාජයේම අවශ්‍යතාවක් ඉටු කිරීමකි. එහෙයින් ඇය දෙස සෙනෙහසින් බැලිය යුතු නොවේ ද?

 

ගර්භිණීභාවයේ අවසන් කාර්තුවේදී ඇයට නිසි පරිදි නිඳා ගැනීමට හෝ හැරීමට අපහසු වෙයි. ඇතැමකුට අධි රුධිර පීඩනය, රුධිරගත සීනි වැඩි වීම මෙන්ම අධික ආතතිය ද ඇති වේ. කකුල් ඉදිමී ඇවිදීම අපහසු වේ. දරු ප්‍රසූතිය පිළිබඳ ඇතිවන බිය වැඩි වේ. ඇයව ගෙදර දොර වැඩවලින් බොහෝදුරට නිදහස් කිරීම සැමියකුගේ යුතුකම වේ. එසේම ඇය සතුටින් තැබීම සැමියාගේ මෙන්ම ආදරණීයන් සියලු දෙනාගේ යුතුකම වේ.

 

ලොවට දරුවකු දෙන්නට ඇයව ආදරයෙන් අපි බලා ගතයුතු වෙමු.

සංජීවනී රූපසිංහ

‍‍ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය

කැලණිය විශ්වවිලය