වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
බ්‍රිතාන්‍ය බුද්ධි සේවයේ පළමු කාන්තා ප්‍රධානි බ්ලේස් ෙමට්‍රිවෙල්

බ්‍රිතාන්‍යය විදේශ බුද්ධි සේවාවේ(MI6) වසර 116ක ඉතිහාසයේ පළමු කාන්තා ප්‍රධානියා වශයෙන් බ්ලේස් මෙට්‍රිවෙල් පත්කර තිබෙනවා. මෙම තනතුරට පත්වන 18 වැන්නා වන ඇය දැනට වසර 5ක කාලයක් තිස්සේ MI6 ප්‍රධානියා වශයෙන් සිටින රිචඩ් මුවර්ගේ අනුප්‍රාප්තිකයා වනු ඇති. බ්ලේස් මෙම තනතුරට පත්කිරීම පිළිබඳ ඔහු ප්‍රතිචාර දැක්වූයේ, මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් , ඇය තාක්ෂණ දැනුම අතින් ද ඉදිරියෙන් සිටින දක්ෂ බුද්ධි නිලධාරිනියක බව පවසමින්. මේ පත්වීම පිළිබඳ තමන් ඉතා සතුටට පත්වන බවත් ඔහු සඳහන් කර තිබුණා.
MI6 ප්‍රධානියා හැඳින්වෙන සංකේත නාමය "C" වන අතර , එම බුද්ධි සේවාවේ 25 වසරක සේවා කාලයක් සපුරා ඇති බ්ලේස් , දැනට කටයුතු කරන්නේ තාක්ෂණ හා නවෝත්පාදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්. එම තනතුරට අදාළ සංකේත නාමය "K".
බ්ලේස් , කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පෙම්බ්‍රොක් කොලීජියෙන් මානවවිද්‍යාව හදාරා බ්‍රිතාන්‍යය බුද්ධි අංශයේ සේවයට එක්වූයේ 1999 වසරේ දී. එවක් පටන් විවිධ මට්ටමේ වගකීම් දරා ඇති ඇය දක්ෂ බුද්ධි නිලධාරිනියක වනවා. යුරෝපයේ සහ මැදපෙරදිග සේවය කර ඇති ඇයට අරාබි භාෂාව කතා කිරීමේ හැකියාව ඇතැයි ද සඳහන්. නව තනතුරට පත්වීමේ දී ඇය හා තරග කළ හැකි මට්ටමක සිටියේ, 2015-2020 කාලසීමාවේ චීනයේ බ්‍රිතාන්‍යය තානාපති වශයෙන් කටයුතු කළ ඩෙමි බාබරා වුඩ්වර්ඩ්. ඇය ද බුද්ධි නිලධාරිනියක වූ අතර චීනය සම්බන්ධයෙන් ඇය මෘදු පිළිවෙතක පිහිටා කටයුතු කළ බවට මත පළව තිබුණා.
MI6 බුද්ධි සේවයේ "C" යනු එම සේවයේ හෙළිදරවු කෙරෙන එකම චරිතයයි."C" සෘජුවම වගකිවයුතු වන්නේ විදේශ ලේකම්ටයි. වර්තමානයේ එම තනතුර දරන්නේ ඩේවිඩ් ලැමී.
බ්ලේස් MI6 "C" තනතුරට පත් වූ පළමු කාන්තාව වුවද සිනමාවේ නම් මීට පෙර එම තනතුර කාන්තාවක හෙබවූවා. ඇය, Golden Eye ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ රඟපෑ සිනමා නිළි ජුඩි ඩෙන්ච්. ඊට තුන් වසරකට පෙර බ්‍රිතාන්‍යය දේශීය බුද්ධි සේවයේ (MI5) අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ටෙලා රිමින්ග්ටන් හෙබවූවා. ඇයද පළපුරුදු බුද්ධි නිලධාරිනියකව සිටියා.
බුද්ධි සේවා ඉතිහාසයේ කාන්තා භූමිකාව විශේෂයි. 1974 දී MI5 ඔත්තු සේවාවට එක්වූ එලිසා මැනින්හැම් බුලර් ද එම බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළා.
වර්තමානයේ GCHQ ප්‍රධානී තනතුර දරන ඈන් කීස්ට් බට්ලර් ද ඊට පෙර MI5 නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව සිටියා.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ජාතික බුද්ධි සේවා ප්‍රධානී තනතුරේ සිටින්නේ තුල්සි ගැබාඩ්.ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාගේ පාලන සමයේ අව්රිල් හෙයින්ස් එම තනතුර හෙබවූවා. 2018-2021 වකවානුවේ CIA ප්‍රධානී වශයෙන් කටයුතු කළ ගිනා හැන්ස්පෝල් ද අමෙරිකා බුද්ධි නිලධාරිනියක ලෙස රටවල් කිහිපයකම ඉහළ තනතුරු දරා තිබෙනවා.
දෙවැනි ලෝක සංග්‍රාම අවධියේදී ද බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ වැදගත් භූමිකා ඉටුකළ කාන්තා චරිත කිහිපයක්ම සිටි අතර , නූර් ඛාන් , වයලට් ෂාබෝ , ක්‍රිස්ටිනා ස්ටාර්බෙක් වැනි අය වඩාත් ප්‍රකටයි.
සෝවියට් සංගමය වෙනුවෙන් බ්‍රිතාන්‍යය න්‍යෂ්ටික වැඩසටහන ගැන බුද්ධි තොරතුරු සැපයූ මෙලිටා නුර්වුඩ්ගේ එම භූමිකාව හෙළිදරවු වූයේ, ඇය විශ්‍රාම ලැබුවාටත් පසුවයි.
නව තනතුරට නම් කිරීමෙන් පසුව බ්ලේස් මෙට්‍රිවෙල් ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ආඩම්බර වන බව සහ එය තමන්ට කළ ගෞරවයක් ලෙස සලකන බවයි.
MI5 සහ GCHQ සමඟ ද කටයුතු කරමින් බ්‍රිතාන්‍යය වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ දී MI6 වෙත විශාල වගකීමක් පැවරී ඇතැයි ද ඇය පවසා තිබුණා. බ්‍රිතාන්‍යය අභිලාෂයන් විදේශයන්හි ප්‍රවර්ධනය කිරීමේ දී සිය නිර්භීත නිලධාරින් මෙන්ම බොහෝ ජාත්‍යන්තර පාර්ශ්වයන් සමඟ ද එක්ව තමන් වෙත පැවරී ඇති භූමිකාව ඉහළින්ම ඉටුකිරීම තම අපේක්ෂාව බව ද ඇය ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වන තර්ජන විවිධාකාර බව පෙන්වා දෙන ඇය , ඒ පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන බවද පවසනවා. පසුගිය දා බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් ප්‍රකාශ කර තිබුණේ ද එරට වර්තමානයේ මුහුණ දෙන තර්ජන වඩාත් බරපතළ බවයි. සීතල යුද්ධයෙන් පසු අන් කවරදාටත් වඩා අනපේක්ෂිතව මෙන්ම වහා කටයුතු කළ යුතු තත්ත්වයක් ලෙස ඔහු එය පැහැදිළි කළා. එසේ බලන කල බ්ලේස් වෙත පැවරෙන්නේ විශාල වගකීමක්.
MI6 බුද්ධි සේවාව 1909 වසරේ දී අරඹනු ලැබුවේ බ්‍රිතාන්‍ය වෙනුවෙන් විදේශයන්හි ක්‍රියාත්මක වෙමින් බුද්ධි තොරතුරු රැස්කිරීම පිණිසයි. එමඟින් එරට ජාතික අභිලාෂයන්ට ඇති තර්ජන මෙන්ම අවස්ථා ගැන ද වාර්තා කිරීම අරමුණයි. MI5 සහ අනෙකුත් බුද්ධි සේවා සමඟ ද එක්ව ක්‍රියාකරමින් ත්‍රස්තවාදය, සතුරු රාජ්‍ය , සයිබර් ආරක්ෂාව වැනි ක්ෂේත්‍ර MI6 රාජකාරි වපසරියට අදාළයි. අවශ්‍ය අවස්ථා වලදී විදෙස් රටවල බුද්ධි සේවා සමඟ ද ඔවුන් එක්ව ක්‍රියා කරනවා.
"C" යනු Chief කෙටිකර දැක්වීම නොවෙයි.1909 දී MI6 පළමු ප්‍රධානියා ලෙස පත්වූ ස්මිත් කමින් සිහිපත් වන අයුරින් එය යෙදෙන්නේ ඔහු සිය අත්සන තැබුවේ "C" යනුවෙන් නිසා. "C" ට ආවේණික තවත් භාවිතාවක් වන්නේ සටහන් යෙදීමේ දී කොළපැහැ තීන්ත පමණක් භාවිත කිරීමයි. පෑනෙන් කඩදාසියක ලිවීමේ දී මෙන්ම පරිගණකයෙන් ලිවීමේ දී ද "C" යොදාගන්නේ කොළ පැහැය පමණයි. ඊට හේතුව වන්නේ ද ආරම්භක ප්‍රධානියා වූ ස්මිත් කමින් එලෙස කොළ පැහැයෙන් සටහන් යෙදීමයි. එම සම්ප්‍රදාය අද දක්වාම නොවෙනස්ව අනුගමනය කරන අතර කවුරුන් අතට හෝ කොළපැහැ තීන්තෙන් ලියූ සටහනක් ලැබුණි නම් , එය MI6 ප්‍රධානියා විසින් ලියන ලද්දක් හෝ ඔහුගේ පරිගණකයෙන් යොමු කළ සටහනක් බව එය ලැබෙන්නා දැන සිටී.
කිසියම් තැනැත්තෙක් මරණයට පත්කිරීමේ බලයක් "C" ට නොමැති අතර එම බලය ඇත්තේ විදේශ ලේකම්ටය.