විස්ම විශ්වය

ජුනි 23, 2025

සුදු පැහැ ජේත්තුකාරයා

සුරංගනා කතාවක චරිතයක් වගේ ඉන්න මේ සුදුම සුදු ජේත්තුකාරයව දකින්න ලැබිලා තියෙන්නේ ලන්ඩනයේ Bushy Park උද්‍යානයේදීයි.

මෙම ධවල වර්ණය සතුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණ ඇති කරන ජාන ප්‍රමුඛ නොවී එය නිලීන වූ විට සතුන් සුදු පැහැති වේ. එවිට ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි.

ඇලි සතුන් ලොව වාසය කරන්නේ ගණන් කළ හැකි තරම් අතිශය සීමිත සංඛ්‍යාවකි. ඔවුන් අධි ආරක්‍ෂිත සත්ත්වයින් ලෙස සැලකේ.

ඉතා විරල ගණයේ සත්ත්වයකු ලෙස සැලකෙන මේ අලංකාර සුදු ගෝනාව කැමරාවට හසු කරගෙන තියෙන්නේ Mike Ellis නමැති ඡායාරූප ශිල්පියා විසිනි.

 

පුදුම හිතෙන තෑගි යවන මායාවෝ

නිරිතදිග චීනයේ ජන වර්ගයක් වන මායාවෝ ජනයා (Miao) විසින් සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ 11 සිට 13 වැනිදා දක්වා සහෝදරියන්ගේ ආහාර උලෙළ නම් අති උත්කර්ෂවත් සැණකෙළියක් පවත්වනවා. ජීවිතයට ආදරය සහ වසන්තය උදාවීම මෙමඟින් ඔවුන් සංකේතවත් කරනවා.

 

සැණකෙළිය පවත්වන දින, කඳු සහ කැලෑ පීරමින් නැවුම් මල් සහ කොළ වර්ග එකතු කරනා මායාවෝ තරුණියන් සහල් සමඟ ඒවා මිශ්‍ර කර අමුතුම ආකාරයේ වර්ණවත් බතක් පිළියෙල කරගනු ලබයි. එය “සහෝදරියන්ගේ බත්” ලෙස හඳුන්වයි.

ඉන්පසු රිදියෙන් කළ හිස් වැසුම්, ඔටුනු සහ අනේකවිධ පලඳනාවලින් සැරසෙන මායාවෝ තරුණියන් දෙව් ලොවින් බට සුරඟනන් සේ සැණකෙළි භූමියට සම්ප්‍රාප්ත වෙයි. අනතුරුව විවාහ වීමට බලාපොරොත්තු වන තරුණියන් වෙනුවෙන් තරුණයින් ගී ගයයි. ගීතානුසාරයෙන් ප්‍රශ්න ද අසනු ලබයි. තරුණියන් ගීතයෙන් පිළිතුරු බඳියි. ඊට අමතරව ගොන් පොරය, තුරඟ තරග, නැටුම්වලින් ද මේ සැණකෙළි භූමිය පිරී යයි.

සැණකෙළිය අවසානයේ තරුණියන් පිළියෙල කරගත් වර්ණවත් "සහෝදරියන්ගේ බත්" ලේන්සුවකින් ආවරණය කර, එය තුළ විවිධ දේවල් සඟවා තරුණයින්ට තිළිණ කරයි. එයින් සංකේතවත් වන්නේ එම තරුණිය තෑග්ග පිරිනැමූ තරුණයාට කැමැත්ත ප්‍රකාශ කළ බවයි. ඉන්පසු තරුණයා ද ඇයට ආදරය ප්‍රකාශ කරයි.

ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය

Y- 40 එහෙමත් නැත්නම් Deep Joy කියන්නේ ලෝකයේ ගැඹුරුම පිහිනුම් තටාකයයි (World's deepest pool). ගැඹුර මීටර් 42කි. එය තට්ටු 14ක ගොඩනැඟිල්ලක උසට සමානයි. පළල මීටර් 18කි. ඉතාලියේ Millepini Terme නමැති හෝටලයේ දක්නට ලැබෙන මෙම පූල් එක නිර්මාණය කරලා තියෙන්නේ ගැඹුරට යන්න යන්න සංකෝචනය වෙන සිලින්ඩරයක ආකාරයකට.

මෙම පූල් එක පාවිච්චි කරන්නේ ගැඹුරු ජලයේ පිහිනන්න කැමැති අයට වගේම ගැඹුරු ජලයේ කිමිදෙන්න පුහුණු වෙන්න. ඊට අමතරව photo shootsවලට වගේම චිත්‍රපට දර්ශන තල සඳහා ද යොදා ගන්නවා.

 

ඇඟ හිරිවට්ටන විදුලි සෝපානය

මධ්‍යම චීනයේ ෂැන්ග්ජියාජි (Zhangjiajie) ජාතික වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹීමට සංචාරකයින් රැගෙන යන Hundred Dragons Sky Lift නමැති විදුලි සෝපානය සැලකෙන්නේ ලොව උසම එළිමහන් විදුලි සෝපානය ලෙසයි. අඩි 1,070ක් උස මෙම දැවැන්ත විදුලි සෝපානයේ එකවර මගීන් 50දෙනකුට ඉහළ පහළ ගමන් කළ හැකි අතර ඒ සඳහා වරකට ගතවන්නේ විනාඩි 2කටත් වඩා අඩු කාලයක් වීම විශේෂත්වයක්.

1999 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම සෝපානයේ වැඩකටයුතු 2002 වර්ෂයේදී නිම කිරීමට හැකි වී ඇති අතර, ඒ සඳහා වැය වූ මුදල ලෙස වාර්තා වෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 13ක්.

සුප්‍රකට අවතාර් (Avatar) චිත්‍රපටයේ පැන්ඩෝරා ග්‍රහලෝකය සිහිගන්වන චීනයේ ෂැන්ග්ජියාජි ජාතික වනෝද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද සැලකෙන අතර ලොව දිගම වීදුරු පාලම ඇතුළු වීදුරු පාලම් රාශියක් ද මෙම වනෝද්‍යානය තුළ දැකිය හැකිය.