වර්ෂ 2025 ක්වූ August 04 වැනිදා Monday
මේ ළමය නම් හදාගන්න වෙන්නෑ..

සාරාගේ උපන් දිනය දවසේ නිගූ යොදාගෙන තිබුණු හමුවීම් කිහිපයක් උදේ වරුවේම අවසන් කර ගනියි. සාරා සතුටු වන තෑග්ගක් තෝරා ගැනීමට ද තිබෙයි. අසෙනිත් සමඟ ගොස් එය තෝරා ගැනීමට ඔහු තීරණය කරයි. අසෙනි එබඳු දේවල්වලට එකපයින්ම කැමති බව නිගූ දනියි. වින්කිපිඩ් කතා මාලාව සහිත පොත් කට්ටලයකුත්, රෝස පැහැති විශාල ඌරෙකුගේ පෙනුමෙන් යුත් සනීප ටෙඩියෙකුත් ඔහු මිලට ගනියි. කලින් දා හැන්දෑවේ සිටම අම්මා නිගූට කතා කරමින් බණ්ඩාරගමට ඇවිත් තමාව ද සාරාගේ උපන්දින උත්සවයට කැඳවාගෙන යන ලෙස පවසයි. සාරා කිහිපවරක්ම ආත්තම්මාට කතා කරයි.
" ආත්තම්මේ ඔයා එනවා නේද? මගේ යාළුවොයි එයාලගේ අම්මලයි ඔක්කොම කට්ටිය එනවා.. ඔයා එන්නම ඕෙන"
සාරා වැඩියෙන්ම හුරතල් වන්නේ ආත්තම්මා සමඟයි. ආත්තම්මා ඈ කියන හැම දෙයක්ම කරයි. බොහෝ දිනවල සෙල්ලම් කරමින් හුරතල් වෙමින් හිඳ සාරාට නින්ද යන්නේ ද ආත්තම්මා ළඟයි. කුඩා කල සිටම සාරා එයට පුරුදු වී සිටියත් බොහෝවර කාංචනා එයට නෝක්කාඩු කියයි.
" ඔයාගේ අම්මගේ හුරතලේ හින්දා මේ ළමයව නම් හදා ගන්න හම්බ වෙන්නෑ.."
කාංචනාට වැඩ වැඩි දවස්වලට සාරා හෝම්වර්ක් කරන්නේ ද ආත්තම්මා සමඟයි. එබඳු විටෙක තමාට යමක්කමක් දන්නා නැන්දණියක සිටීම පිළිබඳ ඈ සතුටු වෙයි. එහෙත් හැම තිස්සේම සාරා ආත්තම්මාගේ පස්සේ වැටී සිටීම පිළිබඳ ඈ තම නොමනාපය පළ කරයි.
" අම්මගේ හුරතලේ හින්දා දැන් මෙයා අපි කියන ඒවා කනකට ගන්නෑ.."
කාංචනා කොයිතරම් නෝක්කාඩු කීවද නිගූගේ අම්මා ඉන් සැලෙන ගැහැනියක් නොවේ. කාංචනා මොනවා කීවද අවසානයේ සිදු වන්නේ තමා කැමති දේවල් බව ඈ දනියි. නිගූ කාංචනා සමඟ බොහෝ දේ කතා කොට යම් යම් දේවල් පිළිබඳ තීරණ ගත්ත ද අවසානයේ ක්‍රියාත්මක වන්නේ අම්මාගෙ කැමැත්ත පරිදියි. ඒ පිළිබඳ කාංචනාත් නිගූත් වාද කරගෙන ඇත්තේ වරක් දෙවරක් නොවෙයි. කහතුඩුවේ ඉඩම මිලදී ගෙන ගේ හදන්නට පටන් ගත් දා පටන් අම්මා ද නොයෙක් දේවල්වලට මැදිහත් වෙයි. බිත්ති බැඳ වහලය ගසා ගැනීමට මුදල් අඩුපාඩු වී සිටියදි අම්මා ඈ ඉතිරි කරගෙන සිටි ධනයෝජන ගිණුමෙහි සල්ලි ඔක්කොම ගෙන නිගූ අතට දෙයි. කාංචනාටත්, නිගූටත් විවේකය අඩු බැවින් නිෙවස හැදෙමින් තිබියදී අම්මා නිතර පැමිණ කටයුතු සොයා බලයි. සිදුවෙමින් තිබෙන ඇතැම් දේවල් වෙනස් කරයි. නිවාස සැලසුමට අනුව නිෙවසේ උඩුමහලට යාමට ඇති පඩිපෙළ දැමීමට නියමිතව ඇත්තේ පහළ මාලයේ අන්තයකිනි. අම්මාගේ අදහසට අනුව එය කිසිසේත් නොගැළපෙයි. පඩිපෙළෙහි සැටලිම ගැල වූ දවසේ එහි ගොස් අලුත් පඩිපෙළ දිගේ උඩුමහලට නැඟුණු අම්මා උඩුමහලේ කාමර පිහිටා ඇති අයුරු සෝදිසි කරයි. එදිනම රැයේ කාංචනාටත්, නිගූටත් ඇසෙන සේ ඈ මෙසේ පවසයි.
"ඔයාලා දන්නවද තට්ටු දෙකේ ගෙදරක ජීවත් වෙන එකේ හොඳ නරක..?"
අම්මාගේ අනපේක්ෂිත පැනයෙන් කාංචනාත්, නිගූත් එකවර ගල් ගැසෙති. අම්මා මේ අසන්නේ කුමක් ගැනද යන්නවත් දෙදෙනාට සිතා ගැනීමට නොහැකි වෙයි.
" තට්ටු දෙකේ ගෙදරක ජීවත් වෙනකොට ගෙදර මිනිස්සු ඈත් වෙනවා.. ළමයි උඩ තට්ටුවෙ ඉඳන් මොනවා කරනවද කියලා මවුපියො දන්නෙ නෑ.." අම්මාගේ මේ කතාවෙන් නිගූ පමණක් නොව කාංචනාත් තිගැස්සෙයි. ඒත් සමඟම කාංචනාගේ මුහුණේ ඇඳෙන ප්‍රශ්නාර්ථය නිගූගේ මුවින් පිට කෙරෙයි.
" ඉතින් අම්මා කියන්නෙ උඩ තට්ටුව අයින් කරන්න කියල ද?
" උඩ තට්ටුව අයින් කරන්න කියල නෙවෙයි ළමයෝ මං කියන්නෙ.. බලන්න ඕගොල්ලො පඩිපෙළ දාන් තියෙන්නෙ එහා කෙළවරෙන් ..මං අද උඩට නැඟලා බැලුවා.. උඩ තියෙන කෙළවරේ කාමරේට එන්න පඩිපෙළෙන් නැඟලා කොරිඩෝවක් දිගෙත් එන්න තියෙනවා.. ළමයෙක් එහෙම ඒ කාමරේ හිටියොත් මොනවා කරනවද කියලා හොයන්න හම්බ වෙන්නෙ නෑ ඕං"
අම්මාගේ වචන ස්ථිරයි, විශ්වාසවන්තයි. නිගූත්, කාංචනාත් යළිත් එකවර මුහුණින් මුහුණ බලති. අම්මා යමක් කියන්නේ ඉතා හොඳින් සිතා බලා බව නිගූ හොඳින් දනියි. මේ කාලයේ කාංචනා ද අම්මා කියන දේවල්වල ගත යුත්තක් ඇතැයි සිතයි. ඉඳගෙන හුන් තැනින් නැඟිට අම්මා ළඟට පැමිණෙන නිගූට අවැසි වන්නේ අම්මාම මතු කළ මේ ප්‍රශ්නයට ඇගේ විසඳුම කුමක් ද යන්න දැන ගැනීමටයි.
" එහෙනම් ඉතින් මක්කරන්න කියලද අම්මා කියන්නෙ..?"
" දැන් ඉතින් උඩ තට්ටුව අයින් කරන එකේ තේරුමක් නෑ.. කරන්න තියෙන්නෙ පඩිපෙළ වෙනස් කරන එක.. "
" අම්මා කියන්නෙ ඔය දාලා තියෙන පඩිපෙළ කඩන්න ඕෙන කියල ද?"
කාංචනාට සිහිපත් වූයේ පසුගිය දිනවල ගේ හදන වැඩවලට මදි වී රත්තරන් බඩු වගයක් ද උගසට තිබූ අයුරුයි. නිගූට සිහි වූයේ තමාගේ මිතුරෙකු විසින් ඇඳ දුන් නිවාස සැලසුම වෙනස් කරන්නට ගියහොත් බාත්රූම් තියෙන තැන් ආදී බොහෝ දේ වෙනස් කිරීමට සිදුවන බවයි. එහෙත් අම්මාගේ වචන ඉතා පැහැදිලි බව දෙදෙනාටම වැටහෙයි.
" පඩිපෙළ දාන්න ඕෙන උඩ ඉඳලා පැන්ට්‍රිය ගාවට වැටෙන්න. එතැන ඉඳලා කතා කළත් උඩ ඉන්න කෙනෙකුට ඇහෙනවා. එතකොට.. නැත්නම් ඉතින් උඩයි, යටයි සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා."
අම්මාගේ කීම ඇත්තක් බව කාංචනාට ද වැටහෙයි. ඔවුහු ඒ මොහොතේම පඩිපෙළ වෙනස් කරන්නට තීරණය කරති. පසුදින කරන්නට තිබුණු සියලු වැඩකටයුතු නවතා, කාංචනා හදිසි නිවාඩුවක් ද දමා අම්මා සමඟම ගේ හදන තැනට යයි. නිවාස සැලසුම ඇන්ද මිතුරා ද ගෙන්වා කතිකා කර සිදුවන පාඩුව ගැන නොසිතා පඩිපෙළ කඩා දමා පැන්ට්‍රිය ළඟින් අලුත් පඩි පෙළ සෑදීමට උපදෙස් දෙති. අම්මාත්, කාංචනාත් කිසිදු විවාදයකින් තොරව එක අදහසකට එකඟ වීම ගැන නිගූට මහත් සතුටක් දැනෙයි. නිෙවසේ වැඩ කටයුතු සියල්ල අවසන් කළ පසුත් කාංචනා, අම්මා සිදුකළ මේ වෙනසට කැමති වෙයි. නිගූට ඒ ගැන ආඩම්බර හිතෙයි. නිගූ හැම දෙයක්ම කරන්නේ අම්මාගේ බසට අවනතව යැයි කාංචනා හැම තිස්සේම කරන චෝදනාවෙහි ඇත්තක් ඇතත්, අම්මා කියන දේ තෝරා ගැනීමේ පදනමක් ඇතැයි ඇයට ද සිතෙයි.
සාරාගේ උපන් දිනයට අම්මා එක්ක ඒම සඳහා නිගූ බණ්ඩාරගම අක්කලාගේ ගෙදර යයි. අක්කලාගේ ගෙදරට ළං වන විට දවල් කෑම වෙලාව පසු වී ඇතත් අම්මා කෑම තබා තිබෙන බව නිගූ හොඳින්ම දනියි. අම්මාගේ කොහිල ඇඹුලත්, කරවල බැදුමත් සමඟ බත් කන්නට නිගූ කොපමණ ආසාදැයි අම්මා දනියි. ගෙදරට ගොඩ වුණු හැටියේම ඈ බත් කන්න කතා කරයි. නිගූත්, අම්මාත් මෙහෙම හමු වන්නේ ටික දවසකට පසුවයි. වාහනයේ නැඟී ආපසු එන අතර අම්මාට කියන්නට බොහෝ දේ ඇති බව නිගූට සිතෙයි. මාලඹේ එපාර්ට්මන්ට් එක ගැන, අසෙනි ගැන, කාංචනාගේ වෙනස්වීම ගැන අම්මාට කියන්නට පටන් ගන්නේ කොතනින්දැයි සිතමින් නිගූ රථය පදවයි. අම්මා තම පුතු රිය පදවන අයුරු ආඩම්බරෙන් බලමින් නිගූ මොනවා හෝ කියන්නට පටන් ගන්නා තෙක් ඉදිරි අසුනෙහි හරි බරි ගැසෙයි.
තවත් කොටසකින් හමුවෙමු