වර්ෂ 2025 ක්වූ August 04 වැනිදා Monday
හිමිදිරිය

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට whatsApp කරන්න.
අද හිමිදිරියට කවි තෝරන ඔහු කපිල කුමාර කාලිංග
පුවත්පත් රැසක මාධ්‍යවේදියකු ලෙසින් කටයුතු කළ කපිල කුමාර කාලිංග රයිනෝසිරස්, උක්දඬු ගින්න, සිහින සාප්පුව, බැංකු වීරයා වැනි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කළේය. ‘වනබිමේ සිරකරු‘ ටෙලි නිර්මාණෙය් අධ්යක්ෂවරයා ද ඔහුය. දෑකැති මුවහත, ගංදෑල නිසලයි‘ වැනි ටෙලි නිර්මාණ ගණනාවක් රචනා කරන ඔහු ජනප්‍රිය ගී පද රචකයෙකි. කවියෙක්, ගුවන් විදුලි නාට්‍ය රචකයෙක්, කෙටිකතාකරුවෙක්, ගමන් විත්ති රචකයෙක් හා නවකතාකරුවෙක් ද වන ඔහු පියැසි කවුළුව, කන්දේ වීදිය වැනි නවකතා රචනා කළේය. කපිල ලියූ ‘අදිසි නදිය‘ නවකතාව 2019 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. දුඹුරු වලාකුළු, කෙටි වුණත් ඒ කවි හා විදෙස් කවි උයන ඔහුගේ කාව්‍ය කෘතීන්ය. ‘වසන්තයේ අග‘ 2024 විශිෂ්ට ගීත රචනා එකතුවට හිමි රාජ්‍ය සම්මානය හිමිවිය.
අම්මා
නිරුදක කතරට
සීත දිය මවා ඉසින
නුඹයි මහෝඝය මට
කැණිමඬල පුරා නටන
අහස් කුස පුරා
අම්මා මම යැයි කියන
සිතුවිල්ලක පවා තව
ස්නේහය පුරා රඳන
බිලිඳු සිනා මැද
හිස්තැන් පුරවා මකන
මැව් ලෝකය සොඳුරුය
දෙව් ලොව සිරි පරදවන
අම්මා මමමය
බැඳෙනා සසර පුරාම
සුදු ඇතුන් නම් නුඹය
සොඬ මත නෙළුමක් නැතද
යොන් ගී විරිත
ඉෂංකා මිහිරි
යටියන්තොට
ඩෙන්ඩෙරා දෙවොලට ගියෙමි
(ඉපැරණි ඊජිප්තුවේ ඩෙන්ඩෙරා ප්‍රදේශයේ ආදරය හා සතුටට අධිපතිනි හාතෝර් දෙවඟන වෙනුවෙන් ඉදිකළ දෙවොලයි.)
ආදරය හා සතුටේ අධිපතිනි
හාතෝර් දෙව් දුවනි
සත්සමුදුරු ගෙවා
කතර සරතැස දරා
සීරුවට බෝ දුර ගෙවා
පැමිණියෙමි ඔබෙ දෙවොල වෙත
පුදදෙන්න ඔබ හට
බොහෝ දුක් දරා සිටින
මගේ සියුමැලි ආත්මය
හද විලෙන් සීරුවෙන් උදුරා
තබමි ඔබ පුදසුන මත
තුටින් ආපසු හැරෙමි
නැවතත් හැරී නොබලමි
දනිමි පෙරඹර හිරු නැඟෙන සේ
ඔබ එය සතපවන බව
ආදරෙන් හා සතුටින්
සිරිකිත් සේනානායක
ජීවිතය
අමාරුම සරත් ඍතුවකට පසුව
ඉතිරිවුණ පත් ටිකත්
ගිම්හානයක අතහැරෙන
සිසිර ඉපිලට සැඟව,
නොමළ ගුණයට හිනැහෙන
වසන්තය වුව මනහර වන
හුළඟ පෙති ගෙනියන කොට
කාලයට මල් පල දරන
විහඟ බිඟු සිත් පිනවන
චෙරි ගසක් මෙනි ජීවිතය
ප්‍රමෝදා බුද්ධිනී බාලසූරිය
හොඳම කවිය
දයාබර ලොක්කයියේ...
බට පතුරු එකතුකර සදා අටපට්ටම්
වෙසක් කාලයේ නුඹ එළි මැවූ සිත්තම්
කාඩ්පත් අලවලා හැදූ තොරණ මනරම්
මෝටරේ ගන්න නුඹ කැටය බිඳි හැටිනම්
අල්ලගෙන සරුංගලේ ඉන්නටය කියාලා
නූල ගෙන නියරෙ නුඹ දිව්වෙ හූ තියලා
උඩු හුළං ඇල්ලුවා නූල දෙමු කියාලා
ඔන්න කැඩුණා කියා හෙව්වෙ ගස් පීරලා
ඉපනැල්ලෙ එල්ලෙ ගැහු ඔට්ටපලු පන්දුවේ
මසුන් හැඩ බලන් පිති දමන් හිටි මහ වැවේ
බදුවත්තෙ නෙරළු තුරු යටින් මතකය දිවේ
සෑම තැන නුඹෙ රුවේ සොඳුරු සිතුවම් මැවේ
ඉස්කෝලෙ කම්බි වැට යටින් රිංගලා
සරසවිය මායිමේ රැඳුණෙ එල්ලිලා
නැග්ම නොම තිව්ර වුණ බැස්මෙ තැනි පිරිලා
බැස්ම ගැන දෙඩුවෙ නුඹ නඟිද්දිම හිතලා
බකට් පහනක් අරන් වෙසක් පෝයට ඔහේ
සිරිත් ලෙස ආ නමුත් මතක බොහො අප රැහේ
නුඹේ සෙවණැලි මැවී නිහඬ නිවහන වැහේ
ඉටි නොවෙයි දියවුණේ අයියෙ තෙත මගෙ ඇහේ
" වැහි වලාකුළු ඇවිත් හැපුණාට හිතුමතේ
නොසෙල් වී ඉන්නවා කඳු දරා ජීවිතේ "
නුඹම දෙඩු වදන් සැබි නොහමුවුණු පෙළ පොතේ
ලොක්කයියෙ වෙසක් සඳ නුඹය මගෙ හදවතේ
දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය
පානදුර
මෙම කවි පෙළ කියැවූ සැණින්, මහද වෙණ තත් සලිත වනු දැනිණි. යළිත් වරක් කියැවීමි. ඒ එහි සැඟවුණු ගැඹුරු යටි අරුත් සෙවීමට නොවේ. ඒ කව තුළින් ඇති වූ සහකම්පනය යළි විඳිනු පිණිසය.
අතීතාවර්ජනයෙන් මතුවන සොයුරු පෙම නිමිති කරගත් මෙය ඉතා නිර්ව්‍යාජ ප්රකාශනයකි. කවියා කිසිදු ආයාසයකින් තොරව, කවි සිතිවිලි පෙළ ගස්වන්නට සමත් වෙයි.
සැබැවින්ම මෙය සංවේදී වදන් සිතුවමකි. කවියාගේ වැඩිමල් සොහොයුරාගේ රූපකාය රසික සිත් තුළ මැවෙයි. ගැමි පරිසරය පසුබිම් කර ගනිමින් දිගු කතාවක් හකුළුවා දක්වයි. දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය තම කවි පෙළ නිම කරන්නේ ද සිය සොහොයුරාගේම කියුමකිනි. "වැහි වලාකුළු ඇවිත් හැපුණාට හිතුමතේ
නොසෙල් වී ඉන්නවා කඳු දරා ජීවිතේ" උඩුගමසූරිය සහජ කවියකු ලෙස දකිමි. අගයමි. කවි කෙතෙහි දිගුකල් රැඳෙමින් සරු අස්වැන්නක් ලබා ගැනීමට ඔහුට හැකිවනු ඇතැයි සිතමි.
ආරාධිත කවිය
අපේ නෝනා ගෙදර
ඇයි වැඩට
යන්නෙ නැද්ද
නෑ නිකම් ඉන්නෙ
බඳින්න ඉස්සර
ආ එතකොට
වෙළෙඳ කලාපෙ
ඇඳුම් මැහුවා
වසර 18ක්
දැන්
දරුවන් රකින
අම්මෙක්
හැළි වළං දැලි බැඳුණ
කුස්සියක්
රෙදි කන්දක්
අපෙ අම්මත් ලෙඩ ඇඳේ
හැමදාම මට උණු උණු
තේ එක වරදින්නෙ නෑ
ඒත් ඈ ගෙදරනෙ
මං වැඩ ඇරී
ගෙදර එන්නෙ
මහගම සීලානන්ද හිමි
සුන්දර නැවතුම
ගලා එන ලෝ දිය ඟග
රක්ත වූ පුලිඟු මත
මහගෙදර හැර හුරුපුරුදු
සුව පහසු ගමනකි නිවුණු බිම වෙත පමා නැත තව - යුහුව එනු මැන
හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
සතර පිරිසම එන්න
රියට ගොඩ වන්න
සරාගී කාසි අතට ගන්න
මඳ රාග වූ ටිකැට්ටුවකට
හුවමාරු කරගන්න සතුටින්
වෙර හුයෙන් ගෙතු පලස් පාගා
මෙතේ සුව අසුනකට බරදී මුලා වූ මත් දොර අගුලු ලා හිරිඔතප් කුටි විවර කරලා
සදා සුවපත් හුස්ම විඳිනට
කෙලෙස් කටු වන ලැහැබ් පසුකර
බසිනු හැක සෝතාපන්න ගම
වෙළෙන නර්තන රමන රංගන
තවත් ගිලිහුණු සකදගාමය
නුදුරේම ඇත දෙවැනි නැවතුම
මලින මල රජසින් දුරස් වී
න ආගාමී නැවතුමයි දැන්
හිස් අතින් සන්සුන්ව නිමලව
ශුන්‍ය වූ ගමනාන්තය වෙත
පැමිණ ඇත අරිහත් පියැස්සට
බැස යන්න හැම පමා නැති ඔබ
සදා නැවතුම නිවන් රන් පුර
වෛද්‍ය ශ්‍යාමලී අනුරුද්ධිකා