සවි බර කරට ගෙන දිගු ගමනක් ආ යකඩ කෙල්ල

අගෝස්තු 4, 2025

"Woman who break cultural chains and dare to see the world are the rarest and strongly "


සාම්ප්‍රදායික සංස්කෘතික කඩතුරාවන් බිඳගෙන ලෝකයක් ජය ගන්නට සිහින දකින බොහෝ යුවතියෝ අප අතර සිටිති. ඔවුන් එම සිහින ජයගන්නේ මහත් කැපවීමෙනි. විශේෂයෙන්ම දකුණු ආසියාතික හින්දු පසුබිමක් ඇති පවුලක තරුණියකට ඇත්තේ තම සංස්කෘතිය තුළ කොටු වූ රාමුවකි. මෙවන් සංස්කෘතික රාමුවක් තුළ සිර නොවී ලෝකයක් දකින්නට වෙර දරන යුවතියක් තම සිහිනය සැබෑ කරගත් කතාව ඉතාමත් හරවත්ය. එමෙන්ම ආදර්ශවත්ය.මේ අර්ථවත් වූ කතාවේ කතා නායිකාව අපට හමුවන්නේ ඓතිහාසික සෙංකඩගල පුරවරයෙනි.

නිදර්ශිකා කුමාරන්....

මෙවර තරුණී ක්‍රීඩා පත්තිරුව හැඩකරන ක්‍රීඩා තරුව ඇයයි. නිදර්ශිකා දක්ෂ ක්‍රීඩිකාවක් බවට පත්වී ඇත්තේ ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි. හින්දු සංස්කෘතික පවුල් ආභාෂයක් උරුමව උපත ලබන නිදර්ශිකා කුඩා කල පටන්ම සිහින මැවුවේ තම මවුබිම වෙනුවෙන් අභිමානයක් රැගෙන එන්නටය. ඒ වෙනුවෙන් ඇය ක්‍රීඩා පිටියට පිවිසියේ මහත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. එහෙත් ඇයට එල්ල වූ බාධක, අභියෝග බොහෝය.වසර ගණනාවක කැපවීම තුළ නිදර්ශිකා ශ්‍රී ලංකාවට අභිමානයක් රැගෙන ආවේ ශ්‍රී ලංකා ජාතික බල නැන්වීමේ කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩිකාවක් වෙමිනි. ලක් මෑණියන් රනින් සැරසූ ඇය ඒ ජයග්‍රහණය වෙනුවෙන් හෙළු දහඩිය මහන්සිය අපමණය. තම ඉදිරි අනාගතය වෙනුවෙන් විශාල කැපවීමකින් පුහුණුවීමේ යෙදෙන මොහොතක ලැබුණු පුංචි විරාමයකදී ඇය අප

සමඟ පිළිසඳරට එක්වූයේ තම සිහිනය ජයගත් ආකාරය සිහිපත් කිරීමටය. "මම පාසල් ගිය පුංචි කාලේ පටන්ම ක්‍රීඩාවට තිබුණේ පුදුම කැමැත්තක් හා ආසාවක්. නමුත් ඒ ආසාවට පසුබිම හදාගන්න මට සෑහෙන කාලයක් ගතවුණා. මම හින්දු සංස්කෘතියකට ළමයෙක් නිසා ඒකට තිබුණේ විශාල අභියෝගයක්. නමුත් මම ඒ උත්සාහය අතහැරියේ නැහැ. මම මුලින්ම පාසල් ගියේ නුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයට. ඉන් පසුව නුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.මම පාසල් යන කාලෙදි මලල ක්‍රීඩාවට තමයි වැඩිපුරම දස්කම් දැක්වුවේ. පාසල් අවධියේ මීටර් 100,200 කෙටි දුර ධාවන තරගවලින් ජයග්‍රහණ රැසක්ම ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි මම පාසලේ ක්‍රීඩා නායිකාව ලෙසත් කටයුතු කළා. මගේ පවුල් පසුබිමත් එක්ක ඒකට ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. ඒ නිසා මට ක්‍රීඩාවෙන් ටිකක් ඈත් වෙන්න සිද්ධ වුණා.

මගේ පියා පොන්නයියා කුමාරන්. ඔහු ව්‍යාපාරිකයෙක් මව නලනි කුමාරන්. ඇය විශ්‍රාමික ගුරුවරියක්. අපේ පවුලේ මට අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. ඇත්තටම මට හොඳින් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක තමයි අධ්‍යාපනය ලැබුවේ. ACBT විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් ලබපු මම HSBC බැංකු සමූහයේ හැව්ලොක් සිටි හි කළමනාකාරවරියක් ලෙස දැන් කටයුතු කරනවා.

මගේ පවුල් පසුබිම කොහොම වුවත් මම හැම වෙලාවෙම ස්වාධීනව තීරණ ගන්න චරිතයක්. ඒ නිසා මම රැකියාවක් කරන්න පටන් ගත්තට පස්සේ මේ සවි එසවීමේ ක්‍රීඩාවට යොමු වුණා. 2023 සහ 2024 වසර දෙකේදීම ජාතික තරගාවලියේදී කිලෝග්‍රෑම් 76 බර පන්තිය රන් පදක්කම දිනාගන්න ලැබුණා. එම තරග දෙකේදීම ජාතික ශුරතාවය දිනාගත් නිසයි මට හිරමජී - ජපන් ශ්‍රී ලංකා ජාතික සවි එසවීමේ තරගය නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ. ජපානයේ පැවති මේ තරගය සඳහා රටවල් 18කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අටසීයකට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගි වුණා.එහිදී අපේ කණ්ඩායමට රන් පදක්කම් 14, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 4ක් හිමි කර ගැනීමට අවස්ථාව ලැබුණා.

අපි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් මේ තරගාවලියට සහභාගි වුණා. අපේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ දරීන් වීරසිංහ. එහිදී උවිඳු ජයසිංහ, සුසිත වීරසිංහ ඇතුළු අපේ කණ්ඩායම පදක්කම් රැසක් දිනා ගනිමින් හොඳ දස්කම් දැක්වීමට අවස්ථාව ලැබුණා. මේ තරගය තමයි මගේ මුල්ම ජාත්‍යන්තර තරගය. මෙම තරගයේදී රන්්පදක්කමක් සහ රිදී පදක්කම් 3ක් දිනා ගනිමින් රටට කීර්තියක් අත්කර දීමට හැකිවීම මම ලැබූ භාග්‍යයක් ලෙසයි සලකන්නේ. ඇත්තටම මම මේ ජයග්‍රහණය ලැබුවේ තනි උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ තරගාවලියට පවා කිසිම අනුග්‍රහයක් ලැබුණේ නැහැ. මගේ වියදමෙන් තමයි මේ තරගයට සහභාගි වුණේ. මම මේ ක්‍රීඩාවට යොමු වෙලා සියලු කටයුතු සඳහා මුදල් සොයා ගත්තේ රැකියාවෙන් ලැබුණු වැටුපෙන්. ඇත්තටම ඒ ගැන ලොකු ආඩම්බරයක් මට දැන් දැනෙනවා".

වයස අවුරුදු තිස් දෙකක් වන නිදර්ශිකා වසර හයක් වැනි කෙටි කාලයක් තුළ සවි එසවීමේ ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණයන් බොහෝය. කිසිවකුගේ සහයෝගයක් නොමැතිව සිට කොළඹට පැමිණ තම පුහුණුවීම් කටයුතු හා රැකියාව කරමින් ඇය මේ ලැබූ ජයග්‍රහණය ඉතාමත් ආදර්ශවත්ය. එසේම එය සමස්ත ශ්‍රී ලාංකීය කාන්තාවන්ටම වටිනා පූර්වාදර්ශණයක් ද සපයයි.