ඩේටා බේරා ගෙන ඔන්ලයින් යන්ද?

අගෝස්තු 4, 2025

ඩේටා කියන්නේ හැමෝටම දැන් මූලික අවශ්‍යතාවක් වෙලා. ආහාර, ඇඳුම්, නිවාස ජලය වගේම ඩේටාත් අපිට දැන් නැතුවම බැහැ. ඩේටා ලබා ගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා.

හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සහ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් හරහා තමයි අපේ රටේ අපිට ඩේටා ලැබෙන්නේ. මොබයිල් නෙට්වර්ක් හරහා ලැබුණත් හෝම් විදිහට ලැබුණත් මේ ඩේටාවල නයිට් ටයිම් සහ දවාලට කියලා වෙනම කෝටා එකක් තියෙනවා. එහෙම තියෙන්නත් හේතු තියෙනවා. ඒ කොහොම වුණත් වැඩියෙන් ඩේටා කැපෙන එක හැමෝටම ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ.

වීඩියෝ රෙසලූෂන් අඩු කරගමු 

වීඩියෝ බලද්දි තමයි වැඩියෙන්ම ඩේටා කැපෙන්නේ. යූ ටියුබ් එකේ වීඩියෝවල රෙසලූෂන් එක අඩුකරගන්නට හැකියාව තියෙනවා. රෙසලූෂන් අඩු වෙද්දි පොඩි අඩුපාඩුවක් අපිට දැනෙනවා. ඒත් වීඩියෝවේ පෙන්වන දෙයක් බලාගන්න 360, 480 ආදී රෙසලූෂන්වලදිත් පුළුවන්. ඉතින් ඒ මට්ටමින් වීඩියෝ බැලුවොත් හිතනවට වඩා ඩේටා ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්.

ටොරන්ට් ගැන බලමු 

ටොරන්ට් මැග්නට් කියන්නේ ශ්‍රී ලංකාවේ අපිට ෆිල්ම් ටෙලි සීරීස් ගෙදරටම ලබා දෙන තැනක්. සමහර අවස්ථාවල අන්තර්ජාල සේවා සපයන අය මේ ටොරන්ට් බ්ලොක් කරන වෙලාවලුත් තියෙනවා. එතකොට ටොරන්ට්වල වේගය ඉතා අඩු අගයකට එනවා. ටොරන්ට්වලින් ඩවුන්ලෝඩ් කරනවා වගේම අපෙන් අප්ලෝඩ් වීමකුත් වෙනවා. ඒ ක්‍රමයට තමයි ටොරන්ට් එකකින් ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එකක් හුවමාරු වෙන්නේ. ඒත් වැඩිපුර අප් වෙන්න ඇරලා ඔහේ හිටියොත් ඩවුන්ලෝඩ්වලට වගේම අප්ලෝඩ්වලටත් ඩේටා නාස්ති වෙනවා. 

වීඩියෝ ඩවුන්ලෝඩ් 

මේ කාලේ යූටියුබ් සහ ස්ට්‍රීමින් කරන සයිට්වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් ඇප්ස් සහ ප්ලගින් තියෙනවා. ඒවායෙන් අපිට නයිට් ටයිම් එකේ හෝ පාන්දර වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා තියාගත්තොත් අපිට වෙන වෙලාවක ඒවා බලන්නට පුළුවන්. දිවා කාලයේ ගෙදර ඉන්න වෙලාවට බලන්න උදේම ඩවුන්ලෝඩ් කරගත්තොත් එතකොට රෑ ඩේටා ටිකෙන් ඒවා බලන්න පුළුවන්.

ඩේටා ගැන මීටරෙන්

අපේ ඉතුරු ඩේටා කොච්චර තියෙනවාද කියා බලාගන්න හැම නෙට්වර්ක් එකකින්ම පහසුකම සලසලා තියෙනවා. ඒ හරහා ඉතුරු ඩේටා සහ ඒවා පාවිච්චි වුණු ආකාරය අපිට බලාගන්න පුළුවන්. මාසේ ඩේටා ඉවර වෙන්න කිට්ටුව ඉතුරු ඩේටා ගොඩක් තියෙනවා නම් ආයේ ආරක්‍ෂාකාරී පියවර මොකුත් නැතුව අපේ වැඩ ටික කරගෙන වීඩියෝ ටික බලන්න පුළුවන්. ඒ වගේම අපි ගෙදර ඉන්න එක දවසට මහා විශාල ඩේටා ප්‍රමාණයක් නාස්ති කරනවා නම්, ඉතුරු දවස් ටිකටත් මදි වෙනවා නම් අන්න එතකොට අපිට ඩේටා ගැන හිතන්න වෙනවා. 

ප්‍රමෝශන් ගැන ඇලර්ට් එකේ

සමහර නෙට්වර්ක්වල අය යූටියුබ්, ෆේස්බුක් ආදී සෝෂල් නෙට්වර්ක්වලට විශේෂ පැකේජ් දෙනවා. වැඩිපුර යූටියුබ්ම යන කෙනෙක්ට ඒ යූටියුබ් අන්ලිමිටඩ් පැකේජ වටිනවා. ඒ යූටියුබ් පැකේජවලදි රෙසලූෂන් අඩු වෙලාවනුත් තියෙනවා. අමතරව මිලදී ගන්නා ඩේටාවලට වට්ටමුත් මේ ටෙලිකොම් කම්පැනිවලින් ලබා දෙනවා. ඒ මොනවා වුණත් අපි මේ අලුත් ඔෆර් පැකේජ්වලට ගියත් අපිට මුදලක් වියදම් වෙනවා. ඒත් අවශ්‍යතාව තියෙනවා නම් අපිට අඩු මුදලකින් වැඩේ කරගන්න මේ ඔෆර්ස් නිසා පුළුවන්කම ලැබෙනවා. 

ඔක්කොටම එකම ඩේටා පැකේජ් එකක්

බොහොමයක් නෙට්වර්ක් සමාගම්වලින් විවිධ විදිහේ නෙට්වර්ක් පැකේජ් හඳුන්වා දී තිබෙනවා. ඒ අතර තියෙනවා ඔක්කොටම හරියන සෝශල් මීඩියා, යූටියුබ් සහ එනි ටයිම් ඩේටා මේ ඔක්කොම ඒ පැකේජ් එකේ ඇතුළත් වෙනවා. ගොඩාක් වෙලාවට මේ ඩේටා පැකේජ් දෙන්නේ මාසෙකටම ඇති වෙන්න අන්ලිමිටඩ් ඩේටාත් එක්කමයි. ඉතින් ඒ ඔක්කොම යහමින් පාවිච්චි කරන කෙනෙක්ට මේ පැකේජ් එක හරි පහසුයි. හැබැයි ඒ පැකේජ් එකට අයත් දේ්වලින් එකක් දෙකක් පාවිච්චි කරන අයට නම් මේ පැකේජ් එක ගැළපෙන්නේ නැහැ.