ආදරණීය පුතා

අගෝස්තු 4, 2025

පුතාට අද මම දෙයක් මතක් කරලා දෙන්න හිතුවා. ඒ දේවල්වලින් එක කාරණයක් ඇරෙන්න අනිත් ඒවා නම් මම හිතන්නේ පාසලෙන්ම කියලා දීලා ඇති. මොකද මම එහෙම හිතන්නේ මම දවසක් ඔයත් එක්ක බැංකුවට ගියා මතකයි ද. අන්න එදා මම පෝලිමේ ඉද්දි ඔයාට කිව්වා වාඩිවෙලා ඉන්න කියලා. ඒ වෙලාවෙ තරමක් වයස ඒ කිව්වේ විශ්‍රාම ගිය වයසේ වගේ මහත්මයෙක් ආවා බැංකුවට. ඔයා ඒ මහත්තයා දැක්කාම ගිහින් වැන්දා.

 

‘පුතා නාලන්දාවෙ ද...’ඒ මහත්තයා ඇහැව්වා.

‘ඔව් සර්..’ ඔයා බොහොම ගරුසරු ඇතිව කිව්වා.

 

‘මම දන්නවා නාලන්දාවේ ළමයි තමන්ගේ ගුරුවරුන්ට එහෙමයි ගරු කරන්නේ. මොනතරම් ලොකු තනතුරක හිටියත් එයාලා එහෙම තමයි..’සර් ආඩම්බරෙන් කිව්වා.

 

හරි ඒක එහෙම තියමුකෝ. මම කියන්න ගියේ මනුස්සයෙක් පුරුදු පුහුණු කළයුතු දේවල් කිහිපයකින්. එකක් තමා පුතා ගරු කිරීම. වැඩිහිටියන්ට ගරු කිරීම කියන එකේදී අපිට අමුතුවෙන් කෙනා හොයා ගන්න ඕනේ නෑනේ. එයා අපට වඩා වයසින් වැඩියි. ඒ වගේම තමා තනතුරට ගරු කරන්න ඕනේ.අපි රැකියා කරන තැන අපේ ලොක්කාට ගරු කරන්න ඕනේ.

 

ඒ තැනැත්තා සමහරවිට අපට වඩා වයසින් බාල වෙන්න පුළුවන්. සමහරවිට අපට වඩා දැනුමෙන් අඩු වෙන්නත් පුළුවන්. නමුත් තනතුරට අනුව ඔහුට හෝ ඇයට ගරු කරන්න ඕනේ. සමහරු නම් ඉන්නවා එහෙම අපි අවංක වුණාම ඒකත් නිකම් නෝන්ජල් විදිහට හිතන. ඒකට කමක් නෑ. ඒ එයාලගෙ තියෙන මානසික අඩුපාඩු. යම් දවසක ඒවා හරි යාවි. මම පුතා කවදාවත් රස්සාව කරද්දි ලොක්කෙක්ගෙ පුටුවේ වාඩිවෙලා නෑ. ඒ වගේම මම වග බලා ගත්තා තවත් කෙනෙක්ගේ මේසයට ගිහින් ඒ මේසය අයිති කෙනාගෙ පුටුවෙ වාඩි නොවෙන්න.

 

අනික තමා සීමාමායිම්. තමන්ගේ සීමාමායිම දැනගෙන ජීවත් වෙන්න ඕනේ. ඔබට ඔබගේ රැකියාවේ සීමාවක් තියෙනවා. අපි හිතමු තනතුරට අනුව කරන්න ඕනේ දේවල් තියෙනවා. ඔයාවම ගත්තොත් ඔයා සහකාර ගබඩා කළමනාකරු නම් ඔයා ඒවා බලනවා ඇරෙන්න ඉංජිනේරුවෙක්ගෙ කොටස කරන්න යන්න හොඳ නෑ. ඒක එයාලා කරාවි. අපි ගමනක් යනවා නම් ඒ තැනත් සීමාවක් දුරක් තියෙනවා. පාර තියෙනවා කියලා හෙළකට වැටෙන්න යන්නේ නෑනේ.

 

අනික ප්‍රතිවිපාක. අපි දැනගන්න ඕනේ අපි යම් දෙයක් කළාම ඒකට ප්‍රතිවිපාක ලැබෙන බව. අපි කෙනෙක්ට ගරහනවා නම් ඒක වැරදියි. යම් දවසක අපිටත් ඒ වගේ කෙනෙක් අපහාස කළොත් අපිටත් දුක හිතෙනවා, කේන්ති එනවා වගේ තමා එයාටත්. අපි විහිළුවට කෙනෙක්ගෙ ඉලපතට ඇඟිල්ලෙන් අනිනවා. මිනිහා කුණුහරුපයකුත් කියලා සැණින් අතින් පහරකුත් දෙනවා. ඒ පාර සැර වැඩිවෙන්න පුළුවන්. දත් ගැලවිලා යයි. ඒ හින්දා හොඳ දේම කරන්න බලන්න ඕනේ.

 

ඊළඟට පුරුදු. අපි පුරුදු ඇති කරගන්න ඕනේ. කෙනෙක්ගෙන් දෙයක් ගද්දි අත් දෙකෙන් ගත්තාම හෙණයක් නෑනේ පුතේ. ඒක ඒ දෙන කෙනාට වගේම අපි අතට ගන්න දේටත් කරන ගරුත්වයක්. වැඩිහිටියන්ට ආසනයක් දෙන එක, ඇහුම්කන් දෙන එක, සලකන එක, දරුවෙකුට වුණත් ආදරයෙන් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. මතකනෙ අපි අපේ පාඩම් පොත් ගන්නේ අත් දෙකෙන්ම. තියන්නෙ වැඳලා. ඒක කාටවත් කරදරයක්වත් උපහාසයට ලක්වෙන දෙයක්වත් නෙවෙයි. තමන්ගේ හෘදසාක්ෂියට අනුව හොඳ පුරුද්දක්. අවවාද, අනුශාසනා අහගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේ. කෝපවෙන්න එපා කොයි වෙලාවකවත්.

 

අනික තමා සමාව අයදින්න ලජ්ජා වෙන්න, පසුබට වෙන්න එපා.‘සමාවෙන්න‘ කියන වචනය හරිම ප්‍රබලයි. අපි වැරදි කරලා නෙවෙයිනෙ සමාව ඉල්ලන්නේ. වරදක් නොදැනුවත්ව වුණාම. කෙනෙක්ගෙ ඇඟේ අපි හැපුණොත් අපිට පුළුවන් සමාවෙන්න කියලා කියන්න. වැරදි වචනයක් කියවුණොත් පුළුවන්. නිතරම සමාවෙන්න කියන්න පුළුවන් තැනදි ඒක කියන්න. ඔබට කවුරුත් ආදරේ වේවි.

 

අනික තමා පුතේ, දරුවන් වඩා ගනිද්දි පපුවට තුරුලු කරගෙන වඩාගන්න ඕනේ. ඒක හරිම හෘදයාංගමයි. දරුවන්ට ඒ ආදරයේ උණුසුම දැනෙනවා. කවුරු වැලඳ ගත්තත් පපුවට ළං කරගන්න. ඒකයි හෘදයාංගම වෙන්නේ. විශේෂයෙන් දරුවන් වැලඳගෙන ආදරය කරන්න පුරුදු වෙන්න. මම ඔබව වඩා ගත්තේ වැලඳ ගත්තෙ එ‍ෙහම. අන්න ඒ නිසා තමා අදටත් ඔයා අපිට ඔය තරම් ආදරේ වෙලා තියෙන්නේ.

උපාලි බණ්ඩාර වීරසේකර