දුර ඇමතුම දුර දිග ගොස් ධූරයෙන් ගිය තායිලන්ත අගමැතිනිය

අගෝස්තු 4, 2025

දශක ගණනාවක් තිස්සේ අළු යට ගිනිපුපුරු මෙන් තායිලන්ත - කාම්බෝජ දේශසීමාවේ වරින්වර මතුවන යුද ගැටුම් යළි ඇවිළ තිබෙනවා. එය දශකයක කාලසීමාව තුළ දෙරට අතර උද්ගත වූ දරුණුම ගැටුමයි. සටන් විරාමයකට එළැඹීම සඳහා මැලේසියාවේදී අගමැති අන්වර් ඉබ්‍රාහිම්ගේ මැදිහත්වීමෙන් කාම්බෝජ අගමැති හුන් මනෙට් සහ තායිලන්තයේ වැ.බ. අගමැති පුම්තම් වෙචයචායි ප්‍රමුඛ දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ජා පල දරමින් වහාම කොන්දේසි විරහිත සටන් විරාමයකට එළැඹීම සිදුව තිබෙනවා.ඒ පස්දිනක් තිස්සේ පැවැති ගැටුම්වලට විරාමයක් තබමින්.

යුද උණුසුම මැද තායිලන්ත අගමැතිනි පෙටොන්ටාන් ෂිනවත්‍රාගේ ධුරය එරට ව්‍යවස්ථාදායක අධිකරණය විසින් අත්හිටුවනු ලැබුවා. ඊට හේතුවූයේ දුරකතන ඇමතුමක් වුවද එම ඇමතුම දෙරට අතර මෙම එදිරිවාදිකම සමඟ සම්බන්ධයි.

අගමැතිනියට මෙවැනි ඉරණමක් අත්වූයේෙ, ඇය විසින් කාම්බෝජයේ වත්මන් අගමැති හුන් මනෙට්ගේ පියා වගේ, හිටපු කාම්බෝජ නායක හුන් සෙන්ට ලබාගත් පෞද්ගලික දුරකතන ඇමතුමක් හෙළිදරවු වීම හේතුවෙන්. විනාඩි 17 කාලයක පෞද්ගලික ඇමතුමක් වන මෙම ඇමතුම ලබා ගෙන තිබුණේ ජූනි 16 වැනිදා. ඉන් දෙදිනක් ගතවෙද්දී හුන් සෙන් පාර්ශ්වය, පටිගත කර තිබූ එම ඇමතුම සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා. එමෙන්ම, හුන් සෙන් එය එරට නිලධාරින් 80 පමණ පිරිසකට ද යොමුකර තිබූ බව ද සඳහන්. ෂිනවත්‍රා අගමැතිනිය අර්බුදයට ලක්වූයේ, මේ හෙළිදරව්ව හේතුවෙන්. මෙම පෞද්ගලික සංවාදය හෙළිදරවු කිරීම ගැන ඇයගේ මතය වූයේ, එය හිටපු කාම්බෝජ නායකයා සිය ජනප්‍රියත්වය උදෙසා කළ දෙයක් බවයි. හුන් සෙන් සමඟ මෘදු ස්වරයෙන් සංවාදයේ යෙදෙන ඇය දුක්මුසු ස්වභාවයකින් පසු වූ බවක් හැඟෙන්නේ යැයි මාධ්‍ය වාර්තා කළා. ෂිනවත්‍රා පවුල සහ හුන් සෙන් පවුල අතර සමීප සබඳතාවක් පවතිනවා. අගමැතිනිය මෙවැනි දුරකතන ඇමතුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්තයට ප්‍රශ්නගත කාරණා වූයේ, ඇය හුන් සෙන්ට "අන්කල්" යනුවෙන් ඇමතීම, හමුදාව සම්බන්ධයෙන් විවේචනාත්මක මතයක් පළවීම වැනි කාරණා.

මේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් හා සමාව අයදිමින් ඇය කියා සිටියේ ,පළමුව එය තම පෞද්ගලික දුරකතනයෙන් ලබාගත් පෞද්ගලික ඇමතුමක් බවයි. එසේම, එය ලබා ගත්තේ තම පෞද්ගලික අභිලාෂයක් වෙනුවෙන් නොව දශක ගණනාවක් තිරසර විසඳුමකින් තොරව වරින්වර ඇවිළෙන ගැටුම් නිමාකර සාමය උදාකිරීම පිණිස බවයි. එබැවින් එය රට වෙනුවෙන් ගත් ඇමතුමක් බව ඇය පැවසුවා.

"දැන් , මේ සංවාදය ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. කරුණාකරලා මං කියන්නෙ මොනවද කියලා හොඳට සවන් දෙන්න. මට ඕන කළේ, මේ යුද ගැටුම් නිසා සිදුවන ජීවිත විනාශය අවසන් කරලා සාමය උදාකිරීම පමණයි. එහි අන් කිසිදු වුවමනාවක් නෑ. එවැනි කාරණයක් සාකච්ජා කළ යුතු ස්වරයෙන් මං එය කළා. හරියට ඇහුම්කන් දෙන්න, එවිට වැටහෙයි මං වැරැදි දෙයක් කර නැති බව..."

කෙසේවුවද , මේ සම්බන්ධයෙන් ඇයගේ ධුරය අත්හිටුවීම සිදුවූ අතර, වැ.බ. අගමැති වශයෙන් පුම්තම් වෙචයචායි පත්කර තිබෙනවා. සභාග රජයේ ඇතැම් හවුල්කාර පක්ෂ වෙතින් ද ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරියට බලපෑම් එල්ල වූ බව මාධ්‍ය වාර්තා කළා.

ඇයට මෙම ඉරණම අත්වූයේ බලයට පත්වී වසරක් ගතවීමටත් පෙර. ඇයගේ පියා වන තක්ෂින් ෂිනවත්‍රාගේ මෙන්ම නැන්දණිය (පියාගේ සොයුරිය) යිංග්ලක් ෂිනවත්‍රාගේ පාලන තන්ත්‍රයන් ද නිසි කලට පෙරළා දැමුණේ හමුදා කුමන්ත්‍රණ මඟින්. එවැනි කුමන්ත්‍රණයක් නොවුණ ද, එසේ බලන කල ඇය එවැනි තුන්වැන්නියයි.

පෙටොන්ටාන් ෂිනවත්‍රා උපත ලබන්නේ 1986 අගෝස්තු 21 වැනිදා. ඒ, තායිලන්තයේ දානපති ෂිනවත්‍රා පවුලේ බාලම දරුවා ලෙසයි. ඇයට ආදරයෙන් ඇමතූ සුරතල් නාමය, උංග් ඉංග්. විදුලි සංදේශ, දේපළ වෙළෙඳාම්, හෝටල් කර්මාන්ත වැනි ව්‍යාපාර ජාලයක හිමිකරුවන් වන ෂිනවත්‍රා පවුල සිටින්නේ බිලියනපතියන් අතර, පෙටොංග්ටාන්ගේ පියා, තක්ෂින් ෂිනවත්‍රා එරට දේශපාලනයට අවතීර්ණ වූයේ,

" තායිලන්තය වෙනුවෙන් " යන අරුත් ඇති Pheu Thai Party (PTP) පක්ෂය බිහිකරමින්. ඉක්මනින්ම දේශපාලනයේ ද ප්‍රබල චරිතයක් වූ ඔහු 2001 වසරේ දී අගමැති තනතුරට පත්වූ අතර 2006 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකරන තුරු එම ධුරය දැරුවා. අනතුරුව රටින් පිටවූ ඔහු මොන්ටෙනිග්‍රෝ රාජ්‍යයේ පුරවැසිකම ලබාගත් බව සඳහන්. පෙටොන්ටාන්ගේ මව ද ධනවත් ව්‍යාපාරික කාන්තාවක්. PTP පක්ෂය විපක්ෂයේ සිටිය දී කෙටිකලක් ඇයද පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙනගියා.

පෙටොන්ටාන් මූලික අධ්‍යාපනය ලැබුවේ, ශාන්ත ජෝෂප් කන්‍යාරාමයේ. අනතුරුව ඈ එරට රජවරු දෙදෙනෙක්ම බිහිකළ, බැංකොක් හි Mater Dei පාසලට ඇතුළත්ව පාසල් අධ්‍යාපනය අවසන් කළා. පියා අගමැතිව සිටියදීම මැක්ඩොනල්ඩ් අවන්හලක සේවයට එක්වීමත් සමඟ ඇය දෙසට වැඩි අවධානයක් යොමුවූවා. ඇය එහි සේවයට ගිය පළමු දිනයේ මාධ්‍ය

ඇමතූ අගමැති ෂිනවත්‍රා පැවසුවේ, වෙහෙස මහන්සියෙන් වැඩකිරීමට දරුවන්ට හුරු කළ යුතු බවයි.

තායිවානයේ චුලාලොංග් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව හා මානව ජීව විද්‍යාව යන විෂයයන් හැදෑරු ඇය, පියා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකෙරෙන විට ද සරසවි සිසුවියක වූවා. එවක සිය පියාට එරෙහිව විශ්වවිද්‍යාලය තුළ ද ආචාර්ය හා ශිෂ්‍ය යන දෙපාර්ශ්වයෙන්ම එල්ල වූ විරෝධයේ පීඩනය දරාගැනීමටත් ඇයට සිදුවුණා. කුමන්ත්‍රණය හේතුවෙන් ඇයට ද ආරක්ෂිත නිවස්නයක කලක් ගතකිරීමට ද සිදු වූ අතර, අධ්‍යාපනය අත්නොහැරි ඇය 2008 වසරේ දී උපාධිධාරිනියක ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටවුණා. අනතුරුව එක්සත් රාජධානියේ සරේ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය (MSc) ලැබුවේ, ජාත්‍යන්තර හෝටල් කළමනාකරණය වෙනුවෙන්.

2019 වසරේ දී ඇගේ විවාහය සිදුවූයේ පිටාකා සුක්සවාට් සමඟ.

ගුවන් නියමුවෙක් වූ ඔහු ද පසුව ව්‍යාපාර ක්ෂේත්‍රයටම එක්වුණා. මෙම යුවළට දියණියක හා පුතෙක් සිටිනවා. 2023 දී මහමැතිවරණයට තරග කරන විටත් පෙටොන්ටාන් ගැබිනියකව සිටියා.

පියා බිහිකළ දේශපාලන පක්ෂයෙන් ඇය දේශපාලන පිටියට අවතීර්ණ වූයේ, 2021 වසරේ දී. ඒ වන විට ඇය පවුලේ ව්‍යාපාරවලට අයත් හෝටල් කළමනාකරණයේ යෙදී සිටියා. SC Asset Corp Pcl හි වැඩිම කොටස් අයිතිය තිබුණේ ද ඈ නමින්. 2022 දී ඇය PTP පක්ෂයේ නායකත්ව වගකීමට උරදෙනවා. ඊළඟ මහමැතිවරණය ඉලක්ක කරමින් PTP පක්ෂය, 2023 වසරේ දී අගමැති අපේක්ෂකයන් තිදෙනෙක් නම් කළ අතර ඉන් එක් අයෙක් වූයේ ඇයයි. හමුදා පාලනය අවසන් කිරීම ඇතුළු පොරොන්දු ගණනාවක් ලබා දුන් PTP පක්ෂය මහමැතිවරණයේ දී ජයග්‍රාහකයා වුව ද ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබා ගැනීමට අපොහොසත් වූවා. ඒ නිසා ඔවුන්ට සිදුවූයේ, හමුදාවේ සහාය හිමිවූ එක්සත් තායි ජාතික පක්ෂයේ (RTSC) හා තවත් සුළු පක්ෂ කිහිපයක ආධාරයෙන් ආණ්ඩුව පිහිටුවීමටයි. අගමැති තනතුරට පත්කෙරුණේ, ශ්‍රීතා තවිෂින්. අමාත්‍ය මණ්ඩල පත්කිරීමක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක අධිකරණය ඇය වරදක් කර ඇතැයි තීන්දු කළා. මේ ප්‍රශ්නගත අවස්ථාවේ පෙටොන්ටාන් සිටියේ අගමැති ශ්‍රීතා සමඟ. කෙසේ වුවද, එම පත්වීම අත්හිටුවමින් ව්‍යවස්ථාදායක අධිකරණය ලබා දුන් තීරණයත් සමඟ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගනිමින් එරට ළාබාලම අගමැති වශයෙන් 37 හැවිරිදි පෙටොන්ටාන් පත්වුණා.

ඇය එරට 31 වැනි අගමැති වනවා. එම පත්වීම වජිරලොංකොන් රජු විසින් ද අනුමත කරනු ලැබුවා.

මැතිවරණය ව්‍යාපාරයේ දී, ආර්ථිකය ඔසොවා තැබීම, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ, බාත් 10000 ( ඇ.ඩො.290 පමණ)සහන අවැසි පවුල්වලට ලබා දීම, මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම, කෘෂිකර්මය වැනි අංශ ඔස්සේ ෂිනවත්‍රා අගමැතිනිය ලබා දුන් පොරොන්දු එලෙසම තිබිය දී ඇයට ධුරයෙන් නික්ම යාමට සිදුවුණා. ඇය නැවත එම ධුරයට පත්වනු ඇති ද යන්න අනාගතයේ තීරණය වනු ඇති.