සුදු ඇඳගත් හැමෝම සිල්වත් ද?

අගෝස්තු 4, 2025

අද සමාජයේ ආගම දහමට නැඹුරු වීම වැඩියෙන් දකින්න ලැබෙනවා. හැබැයි ඒ අය පිට ඔපේට පෙන්නන දෙයක් ද හදවතින්ම කරන දෙයක් ද කියලා ගැටලුවක් තියෙනවා. මොකද හයියෙන්ම සාදුකාර දෙන්නේ වැඩියෙන්ම පවු කරන මිනිස්සු කියලයි කියන්නේ. ගොඩාක් වෙලාවට අපි දකිනවා අපි වැඩ කරන තැන්වල, ආශ්‍රය කරන තැන්වල ඉන්න අයගේ ගොඩාක් අය ඕනෑවට වඩා තමන් ආගමට ළැදියි කියලා පෙන්වන්න උත්සාහ කරනවා.

 

හැබැයි ඒ ගොඩක් අයගේ හිත් හරි කිලිටියි. ඒ අය ඒ කිලිටි වහගන්න ගොඩාක් වෙලාවට කාර්යාලවල, තමන් වැඩ කරන තැන්වල, බැංකුවේ, සල්පිලේ, කඩපිලේ හැමතැනම දීපු දාන ගැන කතා කරනවා. ලොකු ලොකු දේවල් එයාලට කරන්න ඕනේ. අපි දන්න විදිහට බෞද්ධ කෙනෙක් නම් පන්සලකට ගිහින් මල් පූජා කරලා පහන් පත්තු කරලා, හඳුන්කූරු පත්තු කරලා සාමාන්‍ය ආගමික වතාවත්වල යෙදෙනවා. මනස කිලිටි අය ඊට වඩා ලොකු දේවල්වලටයි අවධානය දෙන්නේ. මොකද ඒකෙන් ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන් නිසා. එයාලට ඕනෙ ලොකු කප්රුක් පූජාවල්, නෙළුම් මල් පූජාවල්, පිච්ච මල් පූජාවල් වගේ දේවල්.

 

ඒ විදිහට බෞද්ධ කටයුතුවල යෙදෙන සමහර අය ආධාර කොළ ගහලා ගෙවල් ගානේ යනවා. සමහර විට හතර පස් දෙනෙක්ම ඇවිත් කියනවා අපි අහවල් පන්සලේ බුදු පිළිමයක් විවෘත කරනවා, අපිට ආධාර කරන්න කියලා. ඒක හොඳ දෙයක්. හැබැයි ඊට වඩා හොඳ නැද්ද දුප්පත් ඉස්කෝලෙකට ටොයිලට් එකක් හදලා දෙන එක. සමහර පාසල්වල වැසිකිළි, කැසිකිළි පහසුකම් නැහැ. ඒවා හදලා දෙන්න පුළුවන්. උසම පිළිම කිය කියා අනෙක් පන්සලට වඩා ලොකුම පිළිම හදනවට වඩා එහෙම පිනක් කරන එක ලොකු දෙයක්.

 

මිනිස්සුන්ගේ ඇතුළාන්තය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් එයාලගේ චර්යාව දිහා බලපුවාම. කාට හරි ඉඩ දෙනවද, කාටහරි උදවු කරනවද, කාටහරි ආධාර කරනව ද එහෙම නැහැ. සමාජයේ කැපී පෙනෙන දේවල් තමයි කරන්න යන්නේ. සමහර අය ලවුඩ් ස්පීකරයෙන් නම කියවෙනවට ආසයි. ඝන්ටාර කුලුනක් හදලා දීලා පින්වත් උපාසක මහතා කිව්වම ඊට වඩා දෙයක් නැහැ. හැබැයි තුන්සිය හැටපස් දවසෙම කළේ කසිප්පු පෙරපු එක. හාමුදුරුවොත් ඉතින් හොඳ කියනවා. හැබැයි හාමුදුරුවන්ට දොස් කියන්නත් බැහැ. මොකද හාමුදුරුවෝ ඕනෙම කෙනෙක්ට පිරිත් නූල් බඳින්න පේ වෙලා ඉන්නවා. හැබැයි හොඳ නරක කියලා දෙන්න පුළුවන්. කාර්යාලවල වුණත් අනිත් අයට බණින, අනිත් අය යන එන තැන් හොයන, ඒ අයගේ නිවාඩු ගැන ප්‍රශ්න කරන, වැඩ කරනවද නැද්ද කියලා හොයන, කේලම් කියන ඒ අයගේ මූණේ හිනා පොදක්වත් නැහැ. තව කෙනෙක් දිහා හිනාවෙලාවත් බලන්නේ නැහැ. මේකට ගැහැනු පිරිමි භේදයක් නැහැ. සමහර පිරිමිත් ඉන්නවා චීත්ත ඇඳගෙන වගේ හොයන්නේ අනුන්ගේ දේවල්. ගැහැනුන්ගේ අඩුපාඩුමයි හොයන්නේ. කවුරු හරි ගැහැනු කෙනෙක්ට අනවශ්‍ය යෝජනාවක් කරලා බැහැ කිව්වොත්, අනිත් අයට කියන්නේ එයා මාත් එක්ක අරහෙ ගියා මෙහෙ ගියා කියලා. ගොඩක් වෙලාවට ඒ පිරිමි අයත් ආගම ධර්මය ඔළුව උඩ තියාගෙන ජීවත් වෙන අය. උදේ ඉඳන් හවස් වෙනකම් අහන්නේ බණ. අනිත් අයට කියන්නෙත් බණ. හැබැයි කවදාවත් ඒවා පිළිපදින්නේ නැහැ.

කළු සාරියක් ඇන්දොත් ඒකටත් මොනවා හරි කියනවා. කිසිම දයාවක් තෙතමනයක් නැති අය බොරුවට පෙන්වනවා අපි හරිම පින්වන්තයි, අපි කරන්නේ පින් වැඩ විතරයි කියලා. අපි රේඩියෝ එකේ බණක් ගත්තනේ. ඒකට 20,000ක් ගියානේ. අපි පිච්චමල් මෙච්චරක් එකතු කළා. අපි නෙළුම් මල් ලොරියක්ම අනුරාධපුරෙන් ගෙනාවා. ලොරියට 10,000ක් දුන්නා. අපි කරපු කප්රුක් පූජාවට ලක්ෂ 7ක් ගියා. අපි කඨිනේ කළා. ඒකට ලක්ෂ 20ක් ගියා. සල්ලි දීලා කවදාවත් දිව්‍යලෝකේ යන්න බැහැ.

 

තමන්ට කරනවට අකමැති කිසි දෙයක් අනුන්ට කරන්න යන්න එපා. ඒ වුණාට ආගම බදාගෙන ඉන්න මිනිස්සු කරන්නෙම ඒ වගේ දේවල්. මම හිතනවා දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන හැම වැරැද්දක්ම ආවරණය වෙනවා පන්සිල් පද පහ රැක්කොත්. අපි පන්සිල් පද පහ රැක්කොත් දණ්ඩ නීති සංග්‍රහයේ එක වැරැද්දක්වත් කරන්න වෙන්නේ නැහැ.

 

සමහර අය කිරි අම්මා දානය දෙනවා. හැබැයි ඒ යන සමහර කිරි අම්මාවරු ඒකට සුදුසු නැහැ. පවුල් කඩාගෙන, විවාහ දෙක තුනක් කරගෙන, සාමාන්‍ය ජීවිතයේදී වුණත් එයාලගේ ඇවතුම් පැවතුම් හොඳ නැහැ. කිරි අම්මා දානෙට කියලා සුදු ඇඳගත්තට ඇත්තටම හිත ඇතුළෙන් පිරිසුදු වෙන්න බැහැ. නිතරම සුදු අඳින්නේ හරිම කපටි හොරු. තමන්ගේ සුදු පිරුවටෙන් එයාලගේ හැමදේම වහගන්න උත්සාහ කරනවා.

 

පන්සල්වල හාමුදුරුවරුන්ට මෙතැනදී තියෙනවා පොඩි වගකීමක්. ඒ වගේ ප්‍රසිද්ධියේ වැරදි කරන අයව ගෙන්නන එක නවත්වන්න ඕනේ. මම දන්න නාගරික පන්සලක් තියෙනවා ස්පා තුනක අයිතිකාරයෙක් ඒ පන්සලේ ප්‍රධාන දායකයා. ඒ ස්පා තුනට ඈත ගම්වලින් ගැහැනු ළමයි ගෙන්නගන්නවා. ඒවා ඇතුළේ ගොඩක් වෙලාවට වෙන්නේ ගණිකා වෘත්තිය. ඒ ළමයින්ගේ කඳුළු දුක් මහන්සිය උරා ගන්නවා. ඒ නිසා කොච්චර පින් කළත් ඒ මිනිස්සුන්ට ඉක්මනට නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතන්න බැහැ. පන්සලේ ඝන්ඨාර කුලුන හරි, පන්සල ටයිල් කළාට හරි, කඨින පූජාව කළාට හරි නිවන් දකින්න බැහැ. නිවන කියන්නේ පහසුවෙන් සල්ලි දීලා යන්න පුළුවන් ගමනක් නෙවෙයි.

 

නිවන විතරක් නෙවෙයි, පරලොව ජීවිතය සුගතිගාමී වෙන්න කියලා හිතනවා නම් මේ ලෝකයේදී ආදර්ශවත් විදිහට හැසිරෙන්න පුළුවන්නේ. අනිත් අයට බැණලා, කේලම් කියලා, කොටවලා, අනිත් අයගේ වැරදි හොයලා අපි කොහොමද අපේ පරලොව ජීවිතය යහපත් කරගන්නේ. සමහර අය ඉන්නවා තරුණ කාලේ කරන්න පුළුවන් ඔක්කොම කරලා වයසට ගියාම සිල් ගන්න යනවා. සමහර අය ඉන්නවා ගිහි ජීවිතයේ සියලුම දේවල් අමතක කරලා සිල් ගන්න යනවා. මේ දෙකම හරි යන්නේ නැහැ. හැමදේම සමබරව කරගෙන යන එක තමයි මනුෂ්‍ය ජීවිතයක වැදගත්කම. රස්සාවට ඕනාවට වඩා නැවෙන්න ඕනෙත් නැහැ. ගෙදර ඕනාවට වඩා කරන්න ඕනෙත් නැහැ. වටපිටාවේ අයට ඕනාවට වඩා කරන්න ඕනෙත් නැහැ. සමහර අය ඉන්නවා ගෙදර වැඩ මුකුත් කරන්නේ නැහැ පන්සලේමයි. හැබැයි එයා පන්සලට හොඳ වුණාට ගෙදරට බිරියක් විදිහට, මවක් විදිහට, ගෘහිණියක් විදිහට යුතුකම් ඉෂ්ඨ කරලා නැහැ.

 

මේ මොනවා කළත් අන්තිමට අපිට නිදියන්න වෙන්නේ හෘද සාක්ෂියත් එක්කනේ. ඔබ සුදු ඇඳගෙන මල් පූජා කළාට ඔබ කොච්චර කිලුටු ද කියලා දන්නේ ඔබේ හිත. සුදු ඇඳගෙන ගිහින් ඔබ කොච්චර අටපිරිකර පූජා කළත් ඔබේ හිත කිලුටු ද දන්නේ ඔබේ හිත. උදේ හවස පන්සිල් ගන්න අවශ්‍ය නැහැ. හැබැයි පන්සිල් කඩන්න එපා. තමන්ගේ වැරදි හදාගෙන ඉදිරියට යන්න. සුදු ඇඳගත් පමණින් යහපත් කෙනෙක් වෙන්නේ නැහැ.

අනෙක් අයගේ වචන පරෙස්සමින් පාවිච්චි කරන්න. වචනවලින් පුළුවන් මිනිහෙක්ගේ ආත්මය මරන්න. එක බොරුවකින් පුළුවන් මිනිහෙක්ගේ ජීවිතය විනාශ කරන්න. පවුලක් හිරගෙදරට යවන්න. ගමක් ගිනි අවුලවන්න.

 

මල් අයිති මී මැස්සන්ට. බුදුන්ට පූජා කරන්න කියලා ගස්වල තියෙන සේරම මල් කඩන්න එපා. එහෙම කළොත් එයාලට පැණි නැතිවෙනවා. මල් 10කට වඩා බුදු පිළිමයකට පූජා කරන්න අවශ්‍ය නැහැ. ගමේම තියෙන මල් කැඩුවාම කෝ සමනලුන්ට මල් පැණි. කෝ බඹරුන්ට පැණි. අපි පිනක් කියලා හිතලා කරලා තියෙන්නේ පවක්. ඒ නිසා ගහටත් මල් ටිකක් ඉතුරු කරන්න. ඇත්තටම සුදු ඇන්දේ නැතත් සුදු හිතක් තියෙන කෙනෙක් වෙන්න.

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව