වෙල්යායක් අසල සිඟිති දියණියක් දමා ගියේ ඇයි?

අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්ත ගන්න පුළුවන්
අගෝස්තු 4, 2025

වෙල්යායක් අසල කුඹුක් ගහක් යට දින දෙකක් වයසැති සුරතල් සිඟිත්තියක තම මව විසින් අතහැර දමා ගිය පුවතක් පසුගිය සතියක මාධ්‍ය සහ සමාජමාධ්‍ය කැළඹූ පුවතක් විය.

මේ මවට තම කුසෙන් බිහි වුණු දැරිය හදා වඩා නොගන්නට දහසකුත් එකක් හේතු තිබෙන්නට ඇති. ඒ මව මොනතරම් අසරණ තත්ත්වයක සිටියත් ඒ කිසිවක් සාධාරණය කළ හැකි හේතු නොවන්නට ද පුළුවනි.

කෙසේ වෙතත් මෙවැනි කාරණා අනාරක්ෂිත ලිංගික එක්වීමක ප්‍රතිඵලයක් ලෙස සිදු වූ අනපේක්ෂිත ගැබ් ගැනීමක් බව නම් ඉඳුරාම පැහැදිලිය.

පෙර සූදානම

ලිංගිකව එකතුවීම පෙර සූදානමකින් යුතුව කිරීම අතිශය වැදගත් වේ. එය මූලික අවශ්‍යතාවකි. ලිංගිකව එක්වීමට හදිසි අවශ්‍යතාවක් තිබීම විනා ඉන්පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙක් නොසිතයි.

හැඟීම් දැනීම් ඇතත් එය පාලනයකින් තොරව ප්‍රකාශ කිරීමට යෑම මෙහි ඇති මූලිකම ගැටලුවයි. අනවශ්‍ය ගැබ් ගැනීමකට මුල පුරන්නේ ඒ අනුවයි. අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇති වුවහොත් මාස නවය පුරාවටම මව පසු වන්නේ තැති ගැනීමකිනි. මොහොතක් මොහොතක් පාසා කුසහොත් දරුවා ප්‍රතික්ෂේප කරයි. අනවසරයෙන් ගබ්සා කිරීමට නොයෙකුත් දෑ කරයි. අවසානයේ අකමැත්තෙන් වුවත් තාත්තෙක් නොමැති දරුවෙක් මෙලොවට බිහිකරන්නට කරයි. දකුණු ආසියාතික මිනිසුන් බොහෝ විට මෙවැනි ගැටලුවලට සානුකම්පිත පිළිතුරු වෙනුවට ලබා දෙනුයේ කටුක පිළිතුරුයි. මෙලොවට බිහිකළ දරුවා ප්‍රතික්ෂේප කරන්නේ සිත් පිත් නොමැති නියාවෙනි.

 

ආරක්ෂිත දිනවලදී එක්වීම

තාක්ෂණය මෙතරම්ම දියුණු කාලයක වුවත් අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලද නිමක් නොමැත. ඩිම්බ චක්‍රයේ ආරක්ෂිත දින යැයි සිතා නිවැරදි දැනුම්වත් වීමකින් තොරව එකතු වීම තරම් අනාරක්ෂිත ක්‍රියාවලියක් තවත් නොමැත. මන්ද ශුක්‍රාණුවක් සජීවීව දින 3ක් පමණ ගර්භාශය තුළ සක්‍රිය විය හැකියි. අප එකතු වන්නේ ආරක්ෂිත දිනයකදී වුවත් ඩිම්බ මෝරන දිනය ළඟදී ඇත්නම් සමහර විට ඩිම්බය ශුක්‍රාණුව හා සම්බන්ධ විය හැකියි.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා සෑම විටම අනපේක්ෂිත ගැබ් ගැනීමක් ඇතිවිය හැකිය. ඔබගේ ඩිම්බ මෝචනය සිදුවන කාල වකවානුවේදී ලිංගික එක්වීමකින් වැළකී  සිටියද ඩිම්බ මෝචනය සිදුවන කාලයේ වෙනස්කම් සිදුවිය හැකි නිසා ඔබ බලාපොරොත්තු නොවන කාලයකදී වුවද මේරූ ඩිම්බ තිබිය හැක.

 

ඔසප් සමයේදී පවා ගැබ් ගැනීම්

ඔසප් වීමේදී උපත් පාලන ක්‍රම භාවිත නොකර සිටීමට ඔබ අදහස් කරයි නම් එය  හොඳ අදහසක් නොවේ. ඔබේ ඔසප් කාලය තුළ පවා, ගැබ් ගැනීමට  අවස්ථා තිබේ. (විශේෂයෙන් ඔබේ ඔසප් වීම අක්‍රමවත් නම්). ඔබගේ ඔසප්වීම අක්‍රමවත් නම්  ඔබගේ වඩාත්ම සරු දිනයන් පුරෝකථනය කිරීමට අපහසු විය හැක. එසේම, ඔබගේ ඔසප්  චක්‍රය කෙටි නම් ඔබගේ  ඔසප් කාලය තුළ ලිංගික එක්විමකදී ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි විය හැක. මෙහිදී හොඳින් මතක තබාගතයුතු කරුණ වන්නේ ශුක්‍රාණු පිටවීමෙන් පසුව පැය 120ක කාලයක් වනතුරු සජීවී වන අතර ඔබේ ඔසප් වීම අවසන් වන විට ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි විය හැකිය.

එබැවින්, ඔබ ගැබ් ගැනීමට අකමැති නම් සැමවිටම විධිමත් උපත් පාලන ක්‍රම භාවිත කළ යුතුවේ.

තවත් සමහරු කාන්තා ලිංගික අවයවයෙන් බාහිර ලිංගික එකතුවීමෙන් හා යට ඇඳුමක් සහිතව එකතුවීමක් වුවද ගර්භාශයෙන් පිටත ගලන ගර්භාශ තරලය නැත්නම් යෝනි තරලය හරහා ශුක්‍රාණුවක් ඩිම්බයක් කරා යා හැකියි.

 

ශුක්‍රාණු පිටතට මුදා හැරීම

ගැබ් ගැනීමකට සුදානම් නොමැති අවස්ථාවකදී ලිංගික එකතුවිමකින් පසුව ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය (පුරුෂ ලිංගේන්ද්‍රිය) පිටතට ගැනීම හෙවත් “ඉවත් කිරීමේ ක්‍රමවේදය” පිළිබඳව දෙවරක් සිතා බැලීම වැදගත් වේ. මන්ද, එය වඩාත් ඵලදායි උපත්පාලන  ක්‍රමයක් නොවන බැවිනි. නමුත් ඇයි? මෙහිදී කාලය ඉතාම වැදගත් වන අතර නියමිත කාලය ඇතුළතදී  ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය  පිටතට ගැනීම සෑම විටම පහසු නොවේ. එමෙන්ම පිරිමි පුද්ගලයා  ඕනෑවට වඩා උද්යෝගිමත් වීම නිසා පාලනය කරගත නොහැකි වුවහොත් යෝනිමාර්ගය තුළට ශුක්‍රාණු මුදාහැරීමක් වුවහොත් ගැබ්ගැනීමක් සිදුවිය හැකිය. තවද ලිංගික උද්දිපනයේදී  ලිංගයෙන් පිටවන තරලයේ ශුක්‍රාණු තිබිය හැකි බැවින් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. 

එවිට පිළිසිඳ ගැනීමක්ද සිදුවීමට පුළුවනි. මෙය වෛද්‍යවරුන් සායනවලදී නිරන්තරයෙන් අත්දකින තත්ත්වයකි. මෙවැනි විටෙකදී අදාළ කාන්තාව සමඟ සිටි පිරිමියා තමා අතින් එවැන්නක් සිදුවුණාදැයි පිළිනොගන්නා අවස්ථාද තිබේ. එසේම කන්‍යාභාවය තිබීම දරුවෙක් පිළිසිඳ ගැනීමට බාධාවක් නොවේ. කන්‍යාපටලයේ ඇති සිදුර හෝ සිදුරුවලින් ශුක්‍රාණු ගර්භාශය හරහා ගමන් කිරීමක් සිදුවේ. එබැවින් ලිංගික එකතු වීමකදී තමන් පෙර සූදානම් වීමකින් එකතු වීම තමන්ගේත්, තමන්ගේ අනාගතයේත්, බාහිර සමාජයටත් උපදින දරුවාටත් කරන මහඟු යුතුකමකි.

 

යෝනි මාර්ගය ජලයෙන් සේදීම

අනාරක්ෂිත ලිංගික එකතුවිමකින්  පසුව ජලය හෝ වෙනත් දියර වර්ග භාවිතා කර යෝනි මාර්ගය සේදීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු නොවේ. මන්ද, යෝනි මාර්ගයේ තැන්පත්වී ඇති ශුක්‍රාණු ඒවනවිටත් ගර්භාශය ඇතුළතට ගමන් කර තිබිය හැකි බැවිනි. එසේම,  යෝනි මාර්ගය සේදීමෙන් ගැබ් ගැනීම් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවීමද  සිදු නොවේ. 

 

අනුගමනය කළ යුතුම උපත් පාලන ක්‍රම

ඔබට ගැබ්ගැනීම් ඵලදායී ලෙස වළක්වා ගැනීමට අවශ්‍ය නම් සහතික කළ උපත් පාලන ක්‍රම භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.

එසේ නම් අනාරක්ෂිත ලිංගික එක්වීම් වීම්, අනපේක්ෂිත ගැබ් ගැනීම්...ආදී සියල්ලෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු හොඳම පිළිතුර වන්නේ උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීමයි.

ඔබ සහ ඔබගේ ලිංගික සහකරු /සහකාරිය ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග පරීක්ෂාවක් කර ඇත්නම් හෝ ඔබගේ ලිංගික සහකරු/කාරියගේ ලිංගික ඉතිහාසය පිළිබඳව ඔබ හොඳින් හඳුනනවා නම් හැර අනාරක්ෂිත ලිංගික එක්වීම් සැමවිටම ඔබව ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සඳහා අවදානමට ලක්කරයි. එබැවින් ලිංගික එක්වීමකදී විධිමත් උපත් පාලන ක්‍රමවේදයක් හෝ කොන්ඩම් භාවිත කිරීම නිර්දේශ කරමු.

අනාරක්ෂිත ලිංගික එකතුවීම්  අනපේක්ෂිත ගැබ්ගැනීම් සහ HIV වැනි ලිංගාශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. විශ්වාසදායක උපත් පාලන ක්‍රම තෝරා ගැනීමෙන් සහ කොන්ඩම් භාවිත කිරීමෙන් ඔබට මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා විය හැකිය.  එසේම ඔබගේ අනාගතය සහ සෞඛ්‍ය යහපත් කරගත හැකිය.

උපත් පාලන ක්‍රමයක් නොවූ ප්‍රොස්ටිනෝ

ප්‍රොස්ටි⁣නෝ 2 යනු උපත්පාලන ක්‍රමයක් නොවේ. එය භාවිත කළ යුත්තේ උපත් පාලන පෙති දිනපතා නොගෙන හෝ කොන්ඩම් එක ඉරුණොත්, කැඩුණොත් පමණි.

එසේම නිතර නිතර ප්‍රොස්ටිනෝ ⁣භාවිතය අනාගතයේ බොහෝ රෝගවලට කාන්තාව පත්වීමට ඉඩකඩ ඇති අවස්ථාවකි. පසුකාලීනව ඇයට දරුවන් අවශ්‍ය කාලයේදී වුවද දරුවන් නොලැබී යෑමට මෙය ප්‍රධාන සාධකයක් විය හැකියි.

උපදෙස් :
ස්ත්‍රී රෝග හා දරුඵල සම්බන්ධ
විශේෂඥ වෛද්‍ය
සුදත් ගුණතිලක