වර්ෂ 2025 ක්වූ August 04 වැනිදා Monday
නෑනණ්ඩිට ගහන්ඩ බෑනේ ඉතින්...

විසිඅටවැනි දින සටහන
2016 අගෝස්තු 10 අඟහරුවාදා
හෙට තඹුත්තේගම සයිට් එකට යන්ඩ තියෙන එක පිටින් දාලා ඔෆිස් එකෙන් කලින් පැනගත්තා. පොත අත්සන් කරන්ඩ ගියාම දෙවැනියා කණ්ණාඩි කුට්ටමට යටින් රැව්ව රැවිල්ලක් මාව පුච්චල දාන්ඩ වාගෙ. එයාගෙ රැවිල්ල මං නෙමේ තඹේකට මායිම් කළේ. ලොක්කගෙන් අවසරේ හම්බුණාට පස්සෙ දෙවැනියට බාල්දු වෙන්නෙ කවුද අනේ?
එන ගමන් ළමයි දෙන්න ගන්ඩ මහගෙදර ගියාම නෑනණ්ඩිත් නෑ ළමයි දෙන්නත් නෑ.
" අපි එනකොට ඇන්ටි හිටියෙ නෑ. යතුර තිබුණෙ මල් පෝච්චිය යට. "
බෝඩිංකාර කෙල්ලෙක් කිව්වා. නෑනණ්ඩි ළමයි දෙන්නවත් එක්කගෙනම කොහේ හරි යන්ඩැති කියල හිතුණත් මොකට ගියාද කොහේ ගියාද කියලයි මට හිතා ගන්ඩ බැරි වුණේ. දවසක් වාගෙ දුව වැටිලා බෙහෙත් දාන්ඩ ඩිස්පැන්සරියට ගිහින්ද කියලත් මට බය හිතුණා. වැටිලා නරක තැනක් එහෙම වැදිල නම් මොන දෙයියන්ට කියන්න ද? ඊයේ රෑ දැකපු නරක හීනෙ මතක් වෙද්දි කඩා වැටෙන්ඩ තරම් හයියෙන් හෘදය වස්තුව ගැහෙන්ඩ පටන් ගත්තා. මං ගෙදෙට්ට ආවා නෙමෙයි ඉගිල්ලුණා. දෙතුන් පාරක්ම පාර අයිනෙ තියෙන ගල් ගෙඩිවල කකුල පැටලිලා වැටෙන්ඩත් ගියා. මාපටැඟිල්ලෙ නියපොත්තකුත් බාගෙට කැඩිලා ලේ පෙර පෙරයි ගෙදරට ආවේ. ගෙදර ඇවිත් බලද්දි යතුර මල් පෝච්චිය යට. දොර ඇරියම ළමයි ගේ ඇතුළේ.
" ඔයාලා ඇයි තනියම ? නැන්දා කෝ ? "
" බත් කෑවට පස්සෙ අපිව ගෙනත් ඇරලලා නැන්ද ගමනක් ගියා."
" නැන්ද අපිට බූන්දි ගේනවා කිව්වා. "
පුටු ඇන්ද උඩ නැඟල වැටෙන්ඩ ඔන්න මෙන්න වාගෙ ඉඳගෙන දුව අත්පුඩි ගහනවා.
" බූන්දි ? බූන්දි කියන්නෙ මොන මළ ජරාවක්ද ? වෙනදටත් ඔය ජරාවල් කනවද ? "
" ඇයි නංගි නැන්දා රටකජුත් ගේනවා කිව්වා නේද?"
ළමයින්ගෙන් අහලා වැඩක් නෑ. කාමරේට ගියාම කොට්ට ඔක්කෝම බිම ගොඩ ගහලා. රැක් එකේ තිබුණ සාරි ටික මේසෙට පොරෝලා. මුළු ගේම නිකම් යකුන් කෙළි පිටිය වාගේ.
"මොනවද හැබෑට මේ කරලා තියෙන්නෙ ? මුළු ගේම වනසලා. දෙන්න හෝම්වර්ක් කළාද ? "
" තනියෙන් කරන්ඩ බැරි එව්වා තියෙන්නෙ "
කුස්සිය පැත්තට යනකොට පුතා හොර බළලා වාගෙ හැංගි හැංගි ඇවිත් දොර රෙද්දට මුවා වුණු විදිහෙම්ම මං දැනගත්තා හොඳ හොඳ සෙල්ලම් ටික කුස්සියෙ තමා කියලා. ආයි මොනවද… උදේ ඉතුරු බතුත් එක්ක රයිස් කුකර් එකේ කෑලි බෑලි ඔක්කොම බිම. බත් ටික සී සී කඩ. ඒ උඩට වතුරත් හළලා. අපාය පරාදයි.
හිතේ තරහ නිමෙන්ඩත් එක්ක පේර කෝට්ටක් කැඩෙනකම්ම පුතාට ගැහැව්වා. හැබැයි ඒක කෝට්ටක් කිව්වට ඉරට්ටක් විතර ඇති. දුන්න පාරවල් වැඩිපුරම වැදුණේ කොල්ලගෙ කලිසමට මිසක් තට්ටමට නෙමේ. මට ඕෙන වුණේ ගහන්ඩ මිසක් රිදවන්ඩ නෙමේ. පව්, පුතාට ගහනකොට වැඩිපුර ඇඬුවෙ දුව.
රෑට ඉක්මනින් උයලා කවලා දෙන්නවම නිදි කෙරෙව්වා. බිත්තර කිරි හොද්දෙ මගේ කහමදෙත් දෙන්නගෙ බත් එකටමයි ඇනුවේ. බිත්තරවලටනෙ දෙන්න ආසම ඉතින්. කහ මදේ කිව්වොත් දෙන්නටම වෙන මුකුත්ම ඕෙන නෑ. නින්ද යනකල් දෙන්නගෙ පිටේ මාරුවෙන් මාරුවට කුඹි දිවවෙව්වා. නයි ගෙනිච්චා. ඔළුගෙඩි දෙකේ එළෝ කෝටියක් ඉරිත් ඇන්දා තරහ පිට කරන්ඩ කියලා නෑනණ්ඩිට ගහන්ඩ බෑනෙ ඉතින් මට. පව් මගෙ අහිංසකයො දෙන්නා.