සැණකෙළි සිරි ගෙනෙන Soca නර්තනය

අගෝස්තු 4, 2025

මේ ගෙවෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක ශරීර සෞඛ්‍ය ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්. ඒ නිසා නිදන්ගත රෝගවලින්ද අඩුවක් නැහැ. ඒ නිසා සෞඛ්‍යසම්පන්න දිවියක් ගෙවීම සඳහා ශාරීරික ව්‍යායාමයෙහි වැදගත්කම මින් පෙර කිසිදාකට වඩා වර්තමානයේ කතාබහට ලක් වන මාතෘකාවක් බවට පත් වෙලා.

ඉතින් අද සමාජයේ කාර්යබහුල ජීවන රටාවත් සමඟ ඔබේ සුවතාව පිරිහීමට ඕනෑවටත් වඩා අවස්ථා තිබෙන බව රහසක් නොවේ. ස්ථුලබව අඩුකර ගැනීමට මෙන්ම දියවැඩියාව, කොලෙස්ටරෝල් බහුලතාව අඩු කර ගැනීමට ශාරීරික ව්‍යායාමය අතිශයින් වැදගත් වන්නේ ඒ නිසයි.

 

ඒ සියලුම ගැටලුවලට සහායක් වන Zumba නර්තනයට ඔබ දැනටත් අවතීර්ණව ඇති නිසා එයින් ශරීරයට ලැබෙන පිටිවහල ගැන ඔබට අවබෝධයක් ලැබී ඇති. අද කතා කරන්නේ zumba නර්තනය සමඟ මුසු වුණු Soca (සෝකා) නර්තනය ගැනයි.

 

සෝකා සංගීතය ආරම්භ වූයේ ට්‍රිනිඩෑඩ් (Trinidad)හිය. එය ට්‍රිනිඩෑඩ්හි ආරම්භ වුවත්, මෙම සංගීත වර්ගය කැරිබියන් රටවල් පුරා සහ ගෝලීය නර්තන විලාසයක් ලෙසත් යෝග්‍යතා ව්‍යායාම් සහිත නර්තනයක් ලෙස ව්‍යාප්තව ඇත. ගෝලීය නර්තනයට Zumba fitness උදාහරණයයි. Soca නිර්මාණය කිරීමට හේතු වූයේ කැලිප්සෝ සංගීතය නවීකරණය කර, එය තරුණ ප්‍රේක්ෂකයන්ට වඩා ආකර්ෂණිය බවක් ගෙන දීමටයි.

මෙම සංගීතය වේගවත් රිද්මයකට (එනම් BPM ස්පන්දන 116 - 160 අතර) සකසා ඇත. සෝකා නර්තනයේ ස්වභාවය කානිවල් සැණකෙළි වාතාවරණයක් එක් කරන නිසා එය විනෝදජනක බවකින් යුක්තයි.

 

සෝකා මූලික නර්තන පියවර

 

පළමුව ඉඟටිය රෝල් කරමින් සෝකා පැති පියවර අනුගමනය කරයි. එහිදී 8 වාරයක් චලනය කිරීම සිදු කරයි. මෙම විලාසය ගෲවි (Groovy) හෙවත් වේගවත් සෝකා චලන ලෙස හඳුන්වයි. ඉන්පසු සිතින් 1-4 දක්වා ගණන් කරමින් ඔබගේ දකුණු පාදය දකුණු දෙසට තබන්න. දැන් 1-3 දක්වා ගණන් කරමින් වම් පාදය දකුණට ගෙන දකුණු පාදය හමුවන සේ දෙවරක් Bounce කරන්න. නැවත සිතින් 1 - 4 දක්වා ගණන් කරමින් වම් පාදය නැවත වමට තබන්න. දැන් දකුණු පාදය වම් පාදයට හමුවන සේ වමට තබන්න. මේ ගණන් කිරීම තුළින් සංගීත රිද්මයේ කාලයට අනුගත ලෙස නර්තනය පහසුවෙන් කළ හැකියි.

මෙයට දෙඅත් එක්කරන ලෙස (diagonally) පිටතට තල්ලු කිරීම හෝ අත් වැනීමක් කිරීමෙන් ව්‍යායාමය වඩා ලස්සනක් සහ ව්‍යායාමයේ තීව්‍රතාව වැඩි කරගත හැකිය.

 

උපදෙස් -

සුම්බා, ලතින් අමෙරිකානු

සහ බෝල්රූම් ආචාර්ය

නලින්ද ප්‍රසාද් සුබසිංහ