'සතුට බෙදන ජීවිත ගැන' Tourist Family

'Tourist Family' මනුෂ්‍ය වටිනාකම් (Human Values) සම්බන්ධයෙන් විශිෂ්ට සිනමා කෘතියකි.
අගෝස්තු 4, 2025

'Tourist Family' දම්ළ සිනමාපටය සිත්ගත් අපුරු කතාවකින් සමන්විතයි. ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට සංක්‍රමණය වූ සරණාගත පවුලක් පිළිබඳ එහි කියැවෙයි. ලංකාව දරුණු ආර්ථික අර්බුදයට හසුවීම නිසා මෙම කුටුම්බය බෝට්ටුවෙන් අසල්වැසි ඉන්දියාවට පලා යයි. මොවුන් යාපනයේ ජීවත් වූ ලාංකික දමිළ ජාතිකයන්ය. සිංහල බස කතා කරන සිංහලයන්ට වඩා මොවුන් දම්ළ ජාතිකයන් වීම නිසාම තමිල්නාඩුවේ වාසය කරන්නට අමතර වාසියක් බවයි මොවුන්ගේ අදහස.

නමුත් ඔවුන් දමිළ බස කතා කළ පමණින් හෝ දමිළ ජාතිකයන් වූ පමණින් අනන්‍යතාවයක් නොමැතිව තමිල්නාඩුවේ නොහඳුනන නගරයක ජීවත් වීම එතරම් පහසු කාර්යයක් බවට පත්වන්නේ නැත. අනන්‍යතාවය සඟවාගෙන ඉන්දියානු රජයේ ඇස්වලට වැලි ගසා සංක්‍රමණික පවුලක් සේ දිවී ගෙවීම අසීරුය. මෙම කුටුම්බය කෙසේ නම් තම අනන්‍යතාවය සඟවා ගෙන තම ජීවිතය සරි කරගනීද? යන්න 'Tourist Family' සිනමාපටය තුළ නිරූපණය වේ.

මනුෂ්‍ය වටිනාකම් (Human Values) සම්බන්ධයෙන් විශිෂ්ට සිනමා කෘතියක් බවයි 'Tourist Family' සිනමාපටය සම්බන්ධයෙන් පවතින මගේ අදහස මෙම යුගයේ මනුෂ්‍ය වටිනාකම් දුර්වල වී ඇති නිසාම සිනමාපටය විසින් යෝජනා කරන ඇතැම් අදහස් ප්‍රේක්ෂකයාට වඩාත් වැදගත් වේ. විශේෂයෙන් පවුල නමැති ආයතනයේ ස්වභාවය පිළිබඳ තොරතුරු රැසක් සිනමාපටයේ නිරූපණය වෙනවා. අව්‍යාජබව සහ ව්‍යාජබව අතර වෙනස, කළගුණ සැලකීම, අනෙකාට උදවි කිරීම, අනෙකා අවබෝධ කර ගැනීම යන සාධක සිනමාපට⁣ය තුළින් ඉස්මතු කරන කාරණා කිහිපයකි. සිනමාපටයේ පවතින අනෙක් වැදගත් කාරණාව බවට පත්වෙන්නේ ස්ථානයකින් තවත් ස්ථානයකට විතැන් වීම නිසා සිදුවන "හුරුපුරුදුකරණය" කාරණාව සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයාව නව කථිකාවතකට ප්‍රවේශ කිරීම. විශේෂයෙන් මෙම සංක්‍රමණික පවුල තමිල්නාඩු පරිසරයට සහ අවකාශයට හුරුපුරුදු වීම සහ පරිවර්තනය වන්නේ කිනම් ආකාරයෙන්ද? යන අදහස නිරූපණය කිරීම වැදගත්ය.

සිනමාපටයේ නළු නිළියන්ගේ රඟපැම වඩාත් කැපී පෙනෙනවා. යථාර්ථවාදී රංගන පෙළහරක් මෙහිදී අත්විඳින්නට ලැබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ 'Abishan Jeevinth' විසිනි. නළු එම්.සසිකුමාර්, නිළි සිමිරන්, මලයාලම් නළු මිතුන්, නළු යෝගී බාබු ඇතුළු සිනමාපටයේ සියලු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් විසින් සිනමාපටයේ නිරූපණය කරන චරිතවලට ජීවය සපයනවා.

ඔවුන්ගේ රංගනයේ අපූරුබව නිසාම සිනමාපටය දෙවරක් නරඹන්නට පොළඹවන්නේ නිරායාසයෙන්මයි. එය සිනමාපටයේ වටිනාකම පොහොසත් කරන ප්‍රධාන සාධකයකි. 'ටුවරිස්ට් ෆැමිලි' දමිළ සිනමාපටය ජීවිතය පිළිබඳ ගෙතූ අපුරු ආඛ්‍යානයකි. මනුසත්වග පිළිබඳ කියාපාන සිනමාත්මක ආලංකාරිකයකි.