ලෝකයා බැහැයි කියන දේ කර පෙන්වීම ලොකුම සතුටයි

ඔක්තෝබර් 31, 2022

 

මම වචනවල බලය විශ්වාස කරමි. වචනවල වටිනාකම දනිමි. බොහෝ පුද්ගලයන් වචන පාවිච්චි කරයි.

වචනවලට ඔබව හදන්න පුළුවන්.

සෙස්සෝ සමඟ කලහ කරන්නෝ තමන් සමඟවත් සාමයෙන් දිවි නොගෙවති. ගන්නෝ හා දෙන්නෝ ලොව සිටිති. ගන්නෝ නොනිදති. දෙන්නෝ සුවසේ නිදති. නිහඬ මිනිසුන් එක්කෝ ඒ නිහඬ ලොව තුළම නර්තනයක යෙදෙනවා විය හැකිය. නැත්නම් මුළු ලොවම තම උරහිස මත තබාගෙන සිටිනවා විය හැකියි.

 

පිරීසක් සමඟ ව්‍යාජත්වයේ ගිලෙනවාට වඩා තනිවම දිවි ගෙවීම යෙහෙකි. ලොවට විපත් පමුණුවන්නෝ තෙමේම විනාශ වෙති. ප්‍රංශයේ ගිලටීනය සොයාගත් සියල්ලෝම එයින්ම මරණයට පත් වූහ. ඔබ නොමැති තැන ද ඔබගේ ගෞරවය රකින්නේ ඔබගේ සැබෑ හිතෛෂිවන්තයන් ය. එසේ නොකරන්නෝ සමහර විට සංසාර වෛරක්කාරයාගේ භූමිකාවලට පණ දෙන්නෝ වෙති.

 

ජීවිතය යනු ඔබ ඔබව සොයා ගැනීම නොවේ. ඔබව ඔබ විසින් ම නිර්මාණය කර ගැනීමයි. කිසිවකුගෙන් උපකාර නොගන්න. කිසිවෙක් මත නොරඳන්න. සෑම වේදනාවක්ම ජීවිතේට පාඩමක් කියා දේ. සෑම පාඩමක්ම ජීවිතේ සහමුලින්ම වෙනස් කරනු ඇත.

 

සෑම කෙනකුම ඔබගේ ජීවන ගමන තේරුම් ගත යුතු නැත. ඔබ මෙලොවට ආවේ ඒ සඳහා නොවේ. ජීවිතේ ලොකුම සතුට ඔබට කළ නොහැකි බවට ලොව පවසන දේ කර පෙන්වීමය.

ලොව තුන් වර්ගයක මිනිසුන් සිටිති. ඒ ලොවට යමක් දෙන්නෝ, ලොව සිදුවන දේ නරඹන්නෝ හා ලොව සිදුවන දේ දැක මවිත වන්නෝ ලෙසිනි.

ඔබට මට තෝරා ගැනීම් කීපයකි. අඳුරෙන් අඳුරට යාම, අඳුරෙන් ආලෝකය වෙත යාම, ආලෝකයෙන් අඳුරට යාම හා ආලෝකයෙන් ආලෝකය වෙත යාම වශයෙනි.

 

ඇල්බර්ට් අයින්ස්ටයින් පැවසූ පරිද්දෙන් ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ඇවසි නම් ඔබේ ඉලක්ක හඹා යන්න. ඔබේ සිහින ඉටුවීමේ කාලය ගැන සිතා ඒවා හඹා යාම අත් නොහරින්න. කාලය කොහොමටත් යන එකකි. සත් පුරුෂයන් ගේ බැණීමෙන් ද උගත හැකි දේ බොහෝය.

 

භාවනාව ජීවිතයට සැනසිල්ල ගෙනේ. පවිත්‍ර ජලය පානය කිරීම නීරෝගිමත් සෞඛ්‍ය සඳහා ඇවසිම වේ. ප්‍රබල ජීවිතයක් ගොඩ නඟා ගත යුතුයි.

 

එක් සම්පූර්ණ දවසක් "මම" යන්න නොපවසා ඉන්න. අමිල නිහඬතාව ඉගෙන ගන්න. වයසට යත්ම සම රැලි වැටෙන අතර උද්‍යෝගය ගිලිහෙත්ම ආත්මය රැලි වැටේ. ඒ නිසා දුක්මුසුව සිටීමේ පුරුද්ද හලා දමන්න. යම් වැඩක්,කිරීමේ දී, අමතරව සැතපුමක් යන පුද්ගලයා බවට පත් වන්න.

සාමූහිකව වැඩ කිරීමේ කලාව ඉගෙන ගන්න. නිතර සිනා සපිරි වතකින් වැඩ කරන්න. කරන වැඩේ ප්‍රීති ප්‍රමෝදයෙන් කරන්න.

ජීවිතයේ වේගය අඩු කරන්න. ඔබ දන්නා ආකර්ෂණීයම පුද්ගලයා බවට ඔබම පත්වන්න. වැඩට යාමේදී පා ගමනින් ද යන්න. ඒ අතර සොබාදහම් මහිමය විඳින්න. නිසල විලක්, පෙත් මඟක් දෙස බලා සිටීමෙන් සිත සතුටු කරන්න.

 

ඔබ වැඩි වැඩියෙන් මිනිසුන් හට සේවය කරත්ම ඔබ වැඩි වැඩියෙන් ලබනු ඇත.

තනි අතකට වඩා දෑත ශක්තිමත්ය. සෑම ශ්‍රේෂ්ඨ මිනිසකුම පාහේ පරාද වී ඇත. හාවඩ් විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණයකින් සනාථ වී ඇත්තේ සුබවාදීව සිතන මිනිසුන් තාරුණ්‍යයේ නවතින බවයි.

 

පරිපූර්ණ ජීවිත නොමැත. පරිපූර්ණ අවස්ථා මඟින් ඒවා පරිපූර්ණ කරගත යුතුය.

ඔබ සතු සිහින ලියා ඒවා හඹා යන්න. මෙලොව පවතින්නේම සිහින දකින්නන් හා ඒවා හඹා යන්නන් මතය.

 

 

මට හිතෙන හැටි

වචනවලට තියෙන්නේ හරි පුදුමාකාර බලයක්. බර වචන හා සැහැල්ලු වචන පවතිනවා. තමන්ගෙ ශබ්දකෝෂය හදා ගද්දී, අසන්නාට කිසියම් ආකාරයක ගැම්මක් ඇති වන වචන පාවිච්චි කළ යුතුයි. අප්‍රමාණ, අති දැවැන්ත, සුධවල, මහා පරිමාණ, සුවිසල්, වැනි වචන තමන්ගෙ වදන් මාලාවට එකතු කරගත යුතුයි.

මම වචනවල බලය විශ්වාස කරමි. වචනවල වටිනාකම දනිමි. බොහෝ පුද්ගලයන් වචන පාවිච්චි කරයි. වචනවලට ඔබව හදන්න පුළුවන්. ඔබව මානසිකව බිඳ දමන්න පුළුවන්. වචනවලට ඔබේ ආත්මය සුව කළ හැකියි. වචනවලට සදහටම ඔබට හානි කළ හැකියි.

 

ඒ නිසා මම හැම විටම මගේ ජීවිතේ ධනාත්මක වචන භාවිත කිරීමට උත්සාහ කරමි. මම කොහේ ගියත්, වචන කථා කරන යම් මොහෙතක දී,

ඔවුන් එය විපත්ති ලෙස හඳුන්වයි. මම එය අවස්ථාවක් ලෙස හඳුන්වමි.

ඔවුන් එය දුර්වලකමක් ලෙස හඳුන්වයි. මම එය ශක්තිය ලෙස හඳුන්වමි.

ඔවුන් මට මුකුත් නෑ කියනවා. මම මාව වෙනස් කළ හැකියි කියලා කියනවා.

පස්සේ බලන්නම්, පස්සේ කරන්නම්, සමහර විට පුළුවන් වෙයි යන්නට හැකියි යන්නත්, සමහරවිට යන්නට අනිවාර්යයෙන්ම යන්නත්, යෙදිය හැකි නම් ඔබ ධනාත්මකව සිතන පතන ඒ අනුව හැසිරෙන සමාජය පිළිගන්නා පුද්ගලයකු බවට පත් වේවි.

 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්