වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
නෝට්ටුවලින් සෙල්ලම් දාලා මාට්ටු වෙන්න එපා
පසුගිය කාලයේ සල්ලිවලින් සෙල්ලම් කරන වෙනත්ම කලාවක් නිර්මාණය විය. ඒ මුදල් නෝට්ටුවලින් විසිතුරු මල් කලඹ සකස් කිරීමයි. මෙය බැලූ බැල්මට හරිම නිර්මාණශීලි තිළිණයකි. එවැනි තිළිණයක් ලබන්නා ද පුදුමයට පත්කරවයි. නමුත් අප රටේ භාවිත කරන මුදල් නෝට්ටු භාවිත කරමින් මෙවැනි කටයුත්තක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එසේම මෙලෙස මුදල් නෝට්ටු භාවිතා කරමින් මුදල් නෝට්ටුවලට හානි කරන පුද්ගලයන් පිළිබඳ මහ බැංකුව නිරතුරුවම අවදියෙන් සිටියි.
මෙලෙසින් මෙවැනි මල් කලඹක් සකස් කර තම පෙම්වතියට තිළිණකර තිබුණේ බදුල්ල ප්‍රදේශයේ තරුණයෙකි. පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සකස් කළ මේ මල් කලඹ නිර්මාණයකර තිබුණේ රුපියල් දහසේ, පන්සියයේ සහ සීයේ නෝට්ටු විශාල ප්‍රමාණයක් යොදා ගනිමිනි. මල් කලඹේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වූ අතර, ඒ සියලු මුදල් නෝට්ටු රෝල්කර එකට අලවා මෙය නිර්මාණයකර තිබුණි.
මෙලෙස මෙය නිර්මාණය කළ තරුණයා සොයා පොලිසිය විසින් ඔහුට දඬුවම් නියම කරනු ලැබූ අතර මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට දඬුවම් පමුණුවන ලෙස ද උසාවිය විසින් නියෝගකර තිබේ. මෙලෙසින් මුදල් නෝට්ටු විකෘති කිරීම නිසා ඒවා නැවත භාවිතයට ගැනීමට නොහැකි වෙයි. එයින් රජයට විශාල පාඩුවක් සිදුවන අතර, මෙවැනි මුදල් නැවතත් ජනතාව අතර භාවිතයට ගැනීමේදී ගැටලු රාශියක් නිර්මාණය වෙයි.
මෙලෙසින් විකෘති වූ මුදල් රැගෙන ආ ගනුදෙනුකාරියක් හා බැංකු නිලධාරිනියක අතර දැඩි සංවාදයක් ද මට දැකගැනීමට හැකි විය. එයද මෙවැනි මුදල් විකෘති කිරීමක් නිසා මුහුණ දුන් ගැටලුවකි.
“මැඩම් මේ රුපියල් පන්දහසේ නෝට්ටු දෙක අපට භාර ගන්න බැහැ. මේ නෝට්ටු තුනෙන් දෙකක්ම ඩැමේජ් වෙලානේ...”
“ඇයි ගන්න බැරි මේ සල්ලි දැන් මම ගත්තේ ඔයාලාගේම බැංකුවේ මැෂින් එකෙන්නේ...”
“මේ එක නෝට්ටුවක සීල් එකක් ගහලා. අනෙක් නෝට්ටුවේ හාට් එකක් ඇඳලා... දැන් මේ වගේ නෝට්ටු භාර ගන්න එපා කියලා අපට දැනුම් දීලා තියෙන්නේ.”
“එතකොට මම දැන් මේ නෝට්ටුවලට මොකද කරන්නේ? මේ රුපියල් දස දහසේ පාඩුව භාර ගන්න ඕනේ මම ද? ඔයාලාගේ ඔය මැෂින්වලින් වැඩක් නැහැනේ. ඔයාලාගෙන් ගත්තු සල්ලි ඔයාලාම භාර ගන්න බැහැ කියනවා. මේක පුදුම බැංකුවක්නේ.”
මේ පසුගිය දිනක ගම්පහ ප්‍රදේශයේ බැංකුවක ඇති වූ සංවාදයකි. මෙවැනි සංවාද හා ගැටලු බැංකුවල මෙන්ම බස් රථවලදී ද අපට බොහෝවිට දකින්නට ලැබෙයි. ඇතැම්විට ඔබට ද මේ ගැටලුවටම මුහුණදීමට සිදුවන අවස්ථා තිබේ. බස් රථයක හිටගෙන ගමන් ගන්නා විට කොන්දොස්තර මහතා විසින් ටිකට් එක සමඟ ඉතිරි මුදල් ලබා දෙයි. එසේ ලබාදෙන විට මෙවැනි පළුදු වූ නෝට්ටු ද ඒ සමඟ ඔබ වෙත පැමිණීමට හැකියාව තිබේ. ඔබ මෙලෙසින් පළුදු වූ මුදල් නෝට්ටුව දකින්නේ තවත් මුදල් ගනුදෙනුවකට එම මුදල් පසුම්බියෙන් ගන්නා විටය. මෙලෙසින් හානි වූ මුදල් නෝට්ටු ප්‍රතික්ෂේප කිරීම රැල්ලක් මෙන් නැගී ආවේ 2017 වසරේදීය. එම වසරේදී මහ බැංකුව විසින් මෙලෙසින් පළුදු වූ මුදල් නෝට්ටු වාණිජ බැංකුවලට ලබාදී අලුත් නෝට්ටු ලබා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලදි. පසුව මෙම නියෝගයට නැගුණු මහජන විරෝධය හමුවේ එය තවත් මාස තුනක් දීර්ඝ කරන ලදි. මේ තීරණය හේතුවෙන් වඩාත් අසරණ වූයේ මෙවැනි වැරැදි නොකරන සාමාන්‍ය ජනතාවය. ඔවුන්ට පාඩු සිදු වන්නේ සමාජයේ වැරැදි කළ පුද්ගලයකුගේ වරදකටය. මේ වනවිට මෙලෙසින් හානි වූ මුදල් නෝට්ටු භාර ගැනීම සම්පූර්ණයෙන්ම වාණිජ බැංකු විසින් නවතා තිබේ. මෙසේ හානි වූ මුදල් නෝට්ටුවක් සඳහා පාඩුව තමා විසින් විඳ ගැනීම හැර විකල්පයක් නොවේ. මහ බැංකුව විසින් මෙවැනි මුදල් නෝට්ටුවක් භාර ගැනීම සිදු කරනු ලබන්නේ සානුකම්පිතව සොයා බැලීමකින් අනතුරුවය. මෙලෙස මුදලක් හානි වී ඇත්තේ සිතා මතා කරන ලද හානියක් නිසා නම් ඒ සඳහා මහ බැංකුව විසින් කිසිම ගෙවීමක් නොකරයි. ඇතැම් විට කිසියම් අනතුරක් හෝ ස්වභාවික හානියක් නිසා මුදල් ඉරී යෑම හා පළුදුවීම සිදු වෙයි. මෙවැනි අවස්ථාවක එම මුදල් පරික්ෂා කර බලා ඒ සඳහා නව මුදල් නෝට්ටු නිකුත් කිරීමට මහ බැංකුව තීරණය කරන බව අප කළ විමසුමකදී එහි උසස් නිලධාරියකු විසින් සඳහන් කරන ලදි.
මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව මුදල් නෝට්ටු විකෘති කිරීම පිළිබඳ නීති මාලාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මුදල් නෝට්ටුවක් හිතාමතා විකෘති කිරීම, කැපීම, සිදුරු කිරීම හෝ මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, ලිවීම ඒ මත යමක් ඇලවීම, ඇඳීම, මුද්‍රා තැබීම හෝ නෝට්ටුවක කොටසක් වාණිජමය ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම, නෝට්ටුවක අනුකරණයකින්, ව්‍යාජ නෝට්ටුවක් සෑදීම දඬුවම් ලැබිය හැකි වරදකි.
මේ කුමන නීති පැනවීමක් කළත් අප සමාජයේ මෙවැනි වැරැදි කරන පුද්ගලයන් ඉඳහිට හෝ හමුවෙයි. සාමාන්‍යයෙන් මුදලක් විකෘති කිරීම හිතාමතා සිදු කරන පිරිස ඉතා අවමය. මේ වන විට එය නැති තත්ත්වයට පත්වී තිබේ. නමුත් කිසියම් අතපසුවීමකින් මුදල් මත පෑන් ඉරක් ඇඳීම හෝ නිල මුද්‍රාවක කොටසක් සටහන් වී තිබීම වැනි දෙයක් සිදු වන අවස්ථා තිබේ. මෙවැනි සිදුවීම් පිළිබඳ මහ බැංකුව පරික්ෂා කර බලා ඒ සඳහා අලුත් නෝට්ටුවක් නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ සානුකම්පිතවය. එසේම ඇතැම් ස්වාභාවික විපත් හේතුවෙන් එනම් ගින්නකින් හෝ ගංවතුර වැනි දෙයකින් මුදලක් හානි වන්නේ සිතා මතා කරන වරදකින් නොවේ. එවැනි අවස්ථාවකදී ද මහ බැංකුව විසින් ඒ සඳහා නව මුදල් නිකුත් කිරීම සිදු කරනු ලබයි.
මෙලෙසින් මහ බැංකුව විසින් මෙවැනි පියවරක් අනුගමනය කිරීමට හේතුව වන්නේ මුදල් නෝට්ටුවල ජීව කාලය (Life time) වැඩිකර ගැනීමටයි. මුදලක් හානි නොකර හොඳින් පාවිච්චි කළහොත් එය දීර්ඝ කාලයක් ජනතාව ප්‍රයෝජනයට ගත හැකි වෙයි. නමුත් කිසිම සැලකිල්ලක් හෝ ප්‍රවේශමක් නොමැතිව මුදල් පරිහරණය කළහොත් එම මුදල් ඉතා ඉක්මනින් හානි වී යයි. මෙසේ වූ මුදල් ඉක්මනින් හානි වූ විට නැවත මුදල් අලුතින් මුද්‍රණය සඳහා රජයට අමතර වියදමක් දැරීමට සිදු වෙයි. මෙසේ වැයවන මුදල පවා වක්‍රාකාරව දැරීමට සිදු වන්නේ මහජනතාවටය. ඒ නිසා මුදල් විකෘති කිරීම හෝ හානි කිරීමෙන් සිදුවන පාඩුව පොදුවේ සමාජයේ සෑම පුද්ගලයකුට දැරීමට සිදුවනු ඇත.
මුදල් පරිහරණය අවම කරමින් බැංකු කාඩ්පත් ගනුදෙනු සඳහා ජනතාව යොමු කිරීමේ අරමුණ වි ඇත්තේ ද මෙලෙසින් මුදල් මුද්‍රණය සඳහා වැයවන පිරිවැය අවමකර ගැනීමයි. නමුත් ඇතැම් විට මෙසේ මුදල් නිකුත් කරන ටේලර් යන්ත්‍ර මඟින් පවා සිදුවන ගනුදෙනුවලදී ගැටලු ඇති කරයි. ඇතැම් විට මෙසේ ටේලර් යන්ත්‍රයකින් ලබාගත් මුදල් බැංකුවකට ලබාදුන් විට එම මුදල් ගණනය කරන යන්ත්‍ර Cash Counting machine ඇතැම් මුදල් නෝට්ටු ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙසේ සිදුවන්නේ එම නෝට්ටුවල පවතින අඩුපාඩු හේතුවෙනි. එහෙත් එවැනි අවස්ථාවකදී පවා එහි පාඩුව හෝ වගකීම අපටම භාර ගැනීමට සිදුවෙයි. මෙවැනි පසුබිමක මුදල් නෝට්ටු භාවිතයේදී අපට වඩාත් ප්‍රවේශම්කාරීව කටයුතු කිරීමට සිදුව තිබේ.
අප මුදලක් අතට ගන්නා විට එය හොඳින් ගණනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම මුදල් නෝට්ටු පරික්ෂා කිරීම ද වැදගත්ය. මෙය ප්‍රායෝගිකව තරමක අසීරු කටයුත්තකි. කිසියම් කටයුත්තකට සාප්පුවකට හෝ සේවා ස්ථානයකට ගිය අවස්ථාවක අපට ලැබෙන මුදල එකින් එක පරීක්ෂා කිරීමට කාලයක් ගතවෙයි. නමුත් පවතින තත්ත්වය මත මෙවැනි කාලයක එසේ පරික්ෂා නොකළොත් අපට නොසිතන පාඩු සිදු වෙයි.