වෛවාහික දූෂණය ගැන

අප්‍රේල් 28, 2025

දූෂණය යනු කුමක්දැයි අප දනිමු. ස්ත්‍රියකගේ කැමැත්තකින් තොරව පුරුෂයෙකු විසින් බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයේ යෙදීම දූෂණයයි. ස්ත්‍රියගේ කැමැත්ත සහිතව මෙය සිදු වුවත් එම ස්ත්‍රිය වයස අවුරුදු 16ට අඩු නම් එය දූෂණයකි. එවැනි අවස්ථාවක ඇය ගැබ් ගතහොත් ප්‍රශ්නය වඩා දුරදිග යන්නේ ලංකාවේ එවැනි කලලයක්වත් ගබ්සා කිරීමේ අයිතියක් නීතියට අනුව නැති නිසාය.

එවැනි අවස්ථාවක ගැබ් ගැනීම වළක්වන පෙත්තක් ඔබ වහා ෆාමසියකින් ලබා ගත යුතු වෙයි.

දූෂණය සිදු වන්නේ අප නොදන්නා නොහඳුනන පිරිමියෙක්ගෙන් යැයි සිතීම වැරදිසහගතය. බොහෝ විට කුඩා දරුවන් දූෂණය කරන්නේ තමාගේ පවුලේම කෙනෙකි. සීයා හෝ බාප්පාය. ඇතැම් විට තාත්තාමය. මෙය සමාජ ඛේදවාචකයකි.

 

වෛවාහික දූෂණය යනු කුමක්ද?

විවාහක සැමියා සිය බිරිය දූෂණය කිරීමයි. මෙය විය හැකිද? ඔව්. එය විය හැකිය.

බිරිය යනු සැමියාගේ ලිංගික වහලියක් නොවේ. බිරිය හා සැමියාට ලිංගිකව එක් වීමේ නීත්‍යනුකූල අවසරය පැවතුන ද එය දෙදෙනාගේම කැමැත්ත ඇතිව සිදු විය යුත්තකි. බිරිය එසේ එක් වීම ප්‍රතික්ෂේප කරනවා නම් බලහත්කාරයෙන් ඇය සමඟ ලිංගිකව එක්වීම වෛවාහික දූෂණයයි. පිරිමි එසේ සිදු කරන්නේ බිරියගේ ලිංගිකත්වය තමා සතු අයිතියක්ය යන මතවාදය අනුවය. ඇගේ ලිංගේන්ද්‍රිය සැමියාගේ දේපොළක් නොවේ. ඇගේ ශරීරය ඇගේය.

මෙයට විරුද්ධව නීති ඇත. ඔබව දූෂණය කිරීමේ අයිතියක් ඔබේ සැමියා සතුව නැත.

ඇය ඔබ ප්‍රතික්ෂේප කරනු ඇත්තේ ඇයි?

 

එදින ඇයට මාසික ඔසප් වීම සිදු වී අපහසුවෙන් සිටින දිනයක් විය හැකිය.

ඇය යම්කිසි ශාරීරික අසනීපයකින් පෙළෙන දවසක් විය හැකිය.

ඇය යම්කිසි මානසික පීඩනයකට ගොදුරුව සිටින දවසක් විය හැකිය.

එසේම එම අවස්ථාව ඇය අකමැති අවස්ථාවක් විය හැකිය. සැමියා බීමතින් ගඳ ගසමින් සිටින අප්‍රසන්න අවස්ථාවක් විය හැකිය.

ඇයට සතුටෙන් සහ කැමැත්තෙන් ලිංගිකව එක්වීමට නොහැකි ඕනෑම අවස්ථාවක එම කාර්යය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ඇයට ඇත. සැමියෙකුට එය මානුෂිකව තේරුම් ගැනීම දුෂ්කරය යනු එම පුද්ගලයාගේ ආකල්පවල පවතින බරපතළ ප්‍රශ්නයකි. එවැනි අවස්ථාවල ගැහැනියගේ පිහිටට නීතිය ඇත. එහෙත් ලංකාවේ ගැහැනු පුරුදු වී සිටින්නේම දුක් ඉහිලීමට බැවින් ඇය නීතියේ සරණ සොයන්නට මැළි වෙයි. අනිත් අතට නීතියේ පවතින බොහෝ අඩුපාඩු සහ නීතිය පසිඳලීම පිළිබඳ විශ්වාසයක් නැතිකම, එවැනි ආයතනවල සිටින නිලධාරීන්ගේ පසුගාමී ආකල්ප යන මේ සියලු දේ ගැහැනියගේ ආරක්ෂාව දුර්වල කරයි.

එහෙත් ලංකාවේ සිටින සියලු බිරියන් දැන සිටිය යුතු නීතියක් වන්නේ වෛවාහික දූෂණයට විරුද්ධව ඔබට කටයුතු කළ හැකි බවයි.

ඔබේ ශරීරයේ අයිතිය ඔබගේය. ඔබ අකමැති විටක ලිංගිකත්වය ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් ලිංගික හිංසනයෙන් තොරව ජීවත් වීමේ අයිතියත් ඔබ සතුව ඇත.

සංජීවනී රූපසිංහ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය