වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මහ මඟ ලිංගික හිංසන

අපි කවුරුත් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නවුන් වෙමු. ඒ නිසා ගැහැනු අප කවුරුත් එහිදී සිදුවන අතවර ජීවිතේ එක් වරක් හෝ අත්විඳ ඇති අය වෙමු.
එක් වරක් මා දේශනයක් කරමින් සිටියදී මා කීවේ ලෝකයේ සෑම ගැහැනු ළමුන් තිදෙනකුගෙන් අයෙක් හිංසනයට ගොදුරු වී ඇති බවයි. එහෙත් එහි සිටි විදුහල්පතිනියක් වහා මගේ අදහසට විරුද්ධ වෙමින් එය වැරදි අදහසක් බව කීවාය. එවිට මම එහි සිටි පහෙළාස් දෙනාට කඩදාසි කැබලි පහළොවක් දී කීවේ ඔබ කවදා හෝ හිංසනයකට ගොදුරු වී ඇත්නම් මෙහි හරි ලකුණත් එසේ නොමැති නම් වැරදි ලකුණත් යොදන්නැයි කියාය. අවසානයේ කොළ කැබලි පහළොව මම එකතු කළෙමි. එයින් 14ක තිබුණේ හරි ලකුණය.
ලෝක සංඛ්‍යාලේඛනවලට වඩා ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන වෙනස්ය. ලංකාවේ සිටින සෑම ස්ත්‍රියක්ම පාහේ පුංචිම ගැහැනු දරුවාගේ සිට පොදු ප්‍රවාහනයේ ලිංගික ගොදුරු බවට පත් ව ඇත.
එක්කෝ බස් එකේ පොල්ලක් අල්ලා සිටින ගැහැනියගේ අතින් අල්ලයි. නැත්නම් හිරවී යන බස් එකක ඇඟට හේත්තු වෙයි. නැතහොත් තට්ටම් මිරිකයි. ඉඳගෙන ගියොත් පිරිමින්ට ඇත්තේ පුදුම නිදිමතකි. නිදිමරගාතේ මෙන් ගැහැනුන්ගේ උරහිසට කඩාවැටේ. නැතහොත් අත්බැඳගෙන යන්නා සේ දක්වා හිමිහිට පපුව අතගාන්නට සැරසෙයි. මේ ආදී විවිධ ක්‍රම මඟින් පිරිමි සිය ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමට නොදන්නා ගැහැනියක භාවිතා කරයි. වරක් 280 මහරගම හොරණ බසයක ගැහැනියක් සිය පස්ස මිරිකුවා යැයි වයසක පිරිමියෙකුට බැණ වදින විට ඔහු කීවේ “කෑගහන්න එපා සෙල්ලමට කළේ” යනුවෙනි. සෙල්ලම් කරන්නට ගැහැනු සෙල්ලම් බඩුද?
මෙය අතිශය පහත් අනීතික ක්‍රියාවක් වුව ද එයට විරුද්ධ ගැහැනිය කතා කළ විට බොහෝ විට ඉතිරි වන්නේ එසේ අසාධාරණයට ලක් වූ ගැහැනිය පමණි. වෙනත් කිසිවෙකු සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. හිංසකයා පවසන්නේ බස්වල යනවා නම් මෙහෙම තමයි. තමුසෙලා කාර් එකක් අරන් යනවා ඇඟේ ගෑවෙන්න බැරි නම් වැනි කතාය. බොහෝ විට හිරවී තෙරපී යන බස් රථයක මෙය වෙනත් අයෙක් දකින්නේ ද නැත.
අපි සියලු දෙනාම මේ වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙමු. ගැහැනියකට එවැනි හිංසනයක් පිළිබඳ බොරු කියන්නට කිසිම වුවමනාවක් නැත. ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. අපට ද අපේ දරුවන්ට ද මෙම හිංසනයේ උරුමය ඉතිරි නොකරන්නට නම් එම අවස්ථාවේම එයට විරුද්ධ විය යුතුය.
ශිෂ්ටසම්පන්න සමාජයක් උදෙසා ගැහැනුන් හිංසනයට ලක් වූ ගැහැනිය වෙනුවෙන් පෙනී සිටිය යුතු අතර පිරිමින් හිංසනයට විරුද්ධව පෙනී සිටිය යුතුය. පොලීසියකට පැමිණිලි කළ විට ඒ අදාළ අංශ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. හිංසනයට විරුද්ධ හඬක් නොනැඟෙන තුරු සමාජයේ හිංසනය පවතිනු ඇත. එම නිසා එයට දුටු දුටු තැන විරුද්ධ වෙමු.
උපාලි බණ්ඩාර වීරසේකර