ගුරුවරුන් දත යුතු ළමා හිංසනය

මැයි 19, 2025

 

දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම සිදු නොකළ යුතු බවට මේ වන විට අන්තර්ජාතික වශයෙන් පිළිගෙන තිබේ. ඒ වෙනුවෙන් දිනයක් වෙන් කර ඇති අතර අප්‍රේල් මස 30 වැනි දින “දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් නැවැත්වීමේ දිනය”ලෙස ළමා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන විසින් ලොව පුරා සමරන ලදී.

 

1959 නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය එළි දක්වා 1989 වර්ෂයේ සිට අත්සන සඳහා විවෘත කරන ලදි. එය 1990 සැප්තැම්බර් 02 දින සිට බලාත්මක විය. එම ප්‍රඥප්තියේ 19 වැනි වගන්තිය අනුව දරුවකු මවුපියන් හෝ භාරකරුවන්ගේ රැකවරණය යටතේ සිටියදී කිසිදු ආකාරයක කායික මානසික පීඩාවන්ට පරිභවයන්ට, වෙනස්කම් කිරීම්වලට භාජනය නොකළ යුතු බව දක්වා ඇත. එමෙන්ම කිසිදු දරුවකු වදහිංසාවකට හෝ කෲර දණ්ඩනයකට ලක් නොකළ යුතු බවත්, මෙම ප්‍රකාශනයට පාර්ශ්වයන් වන රාජ්‍ය පාර්ශ්වයන් පිළිගෙන ඇත.

1991 ජූලි මස 12 වැනි දින ශ්‍රී ලංකාව, එක්සත් ජාතින්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට පාර්ශ්වයක් වී ඇත. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මඟින් 308 (අ) යනුවෙන් වගන්තියක් එකතු කරන ලදී. එයින් අරමුණු කරන ලද්දේ දරුවන් කෲර හා අමානුෂික දණ්ඩනයන්ට බඳුන් කිරීම වැළැක්වීමයි. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් පාසල්වල ගුරුවරුවන්ට අවශ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් විටින් විට චක්‍රලේඛ මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

 

දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධ ධනාත්මකව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ යුනිසෙෆ් ආයතනය මගින් මවුපියන්ට හා වැඩිහිටියන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇත. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මඟින් සාමාන්‍ය ජනතාව මේ සම්බන්ධව දැනුවත් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීම දක්නට ලැබේ.

 

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2001 වර්ෂයේ ලබා දුන් වැදගත් නඩු තීන්දුවකි. හේවා මද්දුමගේ කරුණාපාලට එදිරිව ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන (SC/FR /97/ 2017 ) නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කරන ලද්දේ අගතියට පත් 15 හැවිරිදි දරුවා කන් ඇසීමේ ආබාධයකට ගොදුරු වන පරිදි ගුරුවරයෙක් කනට එල්ල කළ පහර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය අනුව කාෘර අමානුෂික දඬුවමකට භාජනය කිරීමක් බවය. ඉන් අනතුරුව 2001 සහ 2016 වර්ෂවලද දණ්ඩ නීති සංග්‍රහයට යම් යම් සංශෝධන ගෙන එමින් දරුවන් සම්බන්ධ නීති තව තවත් ශක්තිමත් කිරීමට ක්‍රියා මාර්ග ගෙන ඇත.

 

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණුවලට අනුව 2030 වර්ෂය වන විට සියලු රටවල් දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම නවතා දැමීම සඳහා වන ප්‍රතිපත්තිමය තීරණයට එළඹිය යුතු බවට දක්වා ඇත. කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 199 අතරින් දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීම නවතා දැමීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට පිළිගෙන ඇත්තේ රටවල් 65ක් පමණි.