මැරෙන කල් පෝලිමේ ඉන්නෙ නැතුව නැතිවුණු උප්පැන්නය ගන්නේ මෙහෙමයි

නොවැම්බර් 14, 2022

පළමුව උප්පැන්න සහතිකයක් ගෙන්වා ගැනීම සඳහා ඉල්ලුම් කරන පුද්ගලයා ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහා online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියට පිවිස පෝරමය පිරවීමට හැකියාව ලැබේ. මෙය භාෂා ත්‍රිත්වයෙන්ම ඇතුළත් කර ඇති නිසා ඔබ කුමන භාෂාවක් භාවිත කරන්නකු වුවත් පහසුවෙන්ම එම තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබේ.

අපට අත්‍යවශ්‍යයෙන්ම සිදු කර ගත යුතු දේවල් නිසි වේලාවට, නිසි කාලයේදී, නිසි පරිදි සිදු කර ගන්න කාලය, ශ්‍රමය වැය කරමින් ඒ ඒ ස්ථානවලටම යන්න අවශ්‍ය ද? ඒ ඒ ස්ථානවලට නොයා පහසුවෙන් ඒ දේවල් කර ගන්නේ කොහොමද? ස්මාර්ට් ජංගම දුරකතනයක් අත රැඳි ඔබ එසේ රස්තියාදු විය යුතු ද? නැහැ. ඒ සියල්ල දැන් ඔබට පහසුවෙන්ම කර ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. නමුත් තවමත් ඒ ගැන හරි හැටි දැනුම්වත් නැති අයත් ඉන්න පුළුවන්.

 

අද අපි කතාබහ කරනු ලබන්නේ ඔබට සෑමවිටම අත්‍යවශ්‍ය උප්පැන්න සහතිකය ගැනයි. අස්ථාන ගතවූ උප්පැන්නය නැවත ඔන්ලයින් ක්‍රමය හරහා ලබා ගැනීමේ පහසුකම මේ වන විට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සකසාදී තිබෙනවා.

හැමදේම ඔන්ලයින් කර ගැනීමේ පහසුකම ඇති වර්තමානයේ උප්පැන්න සහතිකයකුත් ඔන්ලයින් ගන්න පුළුවන් ද? මොකක්ද මේ උප්පැන්න සහතිකයත් ඔන්ලයින් ගෙන්වගන්න පුළුවන් කියන කතාව? ඔන්ලයින් උප්පැන්න සහතිකේ ඇත්තම විස්තරයයි මේ.

 

තිබෙන සහ අලුත් උප්පැන්නයක් ගෙන්වීමේ වෙනස

 

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කාලයේ පුවත් සංසරණය වුණේ උප්පැන්න සහතික ගෙන්වා ගැනීම මාර්ගගත ක්‍රමයෙන් සිදු කර ගැනීමේ පහසුකම සලසා ඇති බවටය. මේ පුවත දුටු සැනින් බොහෝ දෙනා වැරදි වැටහීමක් ඇති කර ගෙන තිබුණේ උප්පැන්න සහතිකය සම්බන්ධ සියලු කටයුතු නිවසේ සිටම කර ගත හැකියි කියාය. නමුත් එය අලුතෙන් උප්පැන්නයක් සාදාගන්නා අයකුට නම් වලංගු කාරණාවක් නොවේ. කෙසේ වෙතත් උප්පැන්නයක් තිබෙන කෙනකුට යළි උප්පැන්නයේ පිටපතක් ලබා ගැනීම නම් පහසුවෙන්ම ඔන්ලයින් මාර්ගය ඔස්සේ නිවසේ සිටම කර ගත හැකිය.

 

පළමුව උප්පැන්න සහතිකයක් ගෙන්වා ගැනීම සඳහා ඉල්ලුම් කරන පුද්ගලයා ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහා online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියට පිවිස පෝරමය පිරවීමට හැකියාව ලැබේ. මෙය භාෂා ත්‍රිත්වයෙන්ම ඇතුළත් කර ඇති නිසා ඔබ කුමන භාෂාවක් භාවිත කරන්නකු වුවත් පහසුවෙන්ම එම තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබේ. මෙහිදී අයදුම්පත්‍රයක් බාගත කිරීමට ද අවශ්‍ය නොවේ. එහි ඇත්තේ ඔන්ලයින් තොරතුරු ඇතුළත් කළ හැකි පෝරමයක් පමණි. එහි ඇති පළමු පෝරමයේ ඔබගේ විස්තර ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙවැන්නේදී උපතක් ද, විවාහයක් ද, මරණයක් ද යන වග සඳහන් කළ යුතුය. එහි සඳහන් පියවරයන් අනුගහනය කරමින් ඉදිරියට යන ඔබට උප්පැන්න සහතිකය ගෙන්වා ගැනීමේ පසුව සඳහා ක්‍රම දෙකක් ද අන්තර්ගත කර ඇත.

1. Speed post ක්‍රමය

2. ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ලබා ගැනීම

 

කෙසේ වෙතත් මෙම පහසුකම සැලසෙන්නේ උප්පැන්න සහතිකයක් ඇති අයකුට උප්පැන්න සහතිකය ගෙන්වා ගැනීම සඳහා පමණි.

 

උදා - ඔබ කොළඹ ඉපදී තිඹිරිගස්යාය ප්‍රදේශයට අයත් පුද්ගලයකු වුවත් මේ වන විට ඔබ ජීවත් වන්නේ යාපනය ප්‍රදේශයේ නම් යළි උප්පැන්නයක් ගෙන්වා ගැනීමට කොළඹටම පැමිණිය යුතු නොවේ. ඔබ ඉහත වෙබ් අඩවියට පිවිස ඔබේ තොරතුරු ඇතුළත් කර ඉල්ලීමක් කිරීමෙන් යාපනයේ සිටියත් නිවෙසටම උප්පැන්නය ගෙන්වා ගැනීමේ පහසුකම මෙමඟින් සැලසේ.

 

උප්පැන්නය ගැන තොරතුරු දැන සිටිය යුතුම ද?

 

ඔබට උප්පැන්න සහතිකයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඔබ උප්පැන්නය පිළිබඳ තොරතුරු දැන සිටිය යුතුම නොවේ. උප්පැන්න සහතික අංකය, විස්තර ආදිය නොදන්නා අයකුට වුව ද තමන් සතු තොරතුරු සපයා උප්පැන්නය ගෙන්වා ගැනීමේ පහසුකම මෙමඟින් සලසා තිබේ. කෙසේ වෙතත් අප සතුව උප්පැන්නයක පිංතූරයක් හෝ තිබේ නම් එය මේ සමඟ යැවීමෙන් මෙම කාර්යය වඩාත් පහසුවෙන් කර ගත හැකි බවද සිහි තබා ගත යුතුය.

 

ගෙවීම් කළ හැක්කේ කෙසේද?

 

ඔන්ලයින් ක්‍රමයට උප්පැන්න සහතිකය ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ඒ සඳහා වන ගෙවීම් අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ ද ඔන්ලයින් ක්‍රමයටමය. එය ඔබගේ වීසා හෝ ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීමේ හැකියාව පවතී. බැංකු වෙත ගොස් මුදල් තැන්පත් කිරීමට මෙහිදී හැකියාවක් නැත.

 

දින 14කින් ඔබේ අතට

ඔබ විසින් කරන ලද මෙම ඉල්ලීම ඉදිරිපත් කර දින 14ක් ඇතුළත ඔබට ශ්‍රී ලංකාවේ කොහේ සිටියත් ඔබේ උප්පැන්නය ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. මේ සියලු ක්‍රියාදාමයන් මීට පෙර සහතික කළ උප්පැන්න සහතිකයක් නැවත ලබා ගැනීමට වලංගු වේ.

 

අලුතින්ම උප්පැන්න සහතිකය ලබා ගන්නේ කොහොමද?

 

ඔබ අලුතින්ම උපතක් ලියාපදිංචි කරනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත ගොස් ඊට අදාළ වැඩපිළිවෙළ අනුව කටයුතු කිරීම අනිවාර්ය වේ. එහිදී නිවසක සිදු වන උපතක්, ග්‍රාමීය රෝහලක සිදු වන උපතක්, ප්‍රාදේශීය රෝහලක, මහ රෝහලක, පෞද්ගලික රෝහලක, වත්තක හා විදේශයකදී සිදු වන උපතක් ආදී විවිධ උපත් ලියාපදිංචියේදී ඊට අදාළ වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වේ.

 

නිවසක සිදු වූ උපතකදී උපත සිදු වී දින 07ක් ඇතුළත ග්‍රාම නිලධාරිවරයා වෙත ඒ බව දැනුම් දිය යුතුය. ග්‍රාම නිලධාරිවරයා ඒ බව ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දෙයි. රෝහලක නම් රෙජිස්ට්‍රාර්වරයා වෙතත්, වත්තක නම් වතු අධිකාරිවරයා විසින් රෙජිස්ට්‍රාර් වෙතත් භාර දෙයි. විදේශයක උපත සිදු වී ඇති නම් එරටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් උපත ලියාපදිංචිය කරයි. විදේශයක නොවන උපත් ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උප්පැන්න පිළිබඳ ප්‍රකාශය රෙජිස්ට්‍රාර්වරයා වෙතින් ලබා ගත හැකි අතර, සම්පූර්ණ කළ ප්‍රකාශය ඔහුට භාර දිය යුතුය.

 

උප්පැන්නයක් අලුතින් ලියාපදිංචියේදී

 

අනිවාර්යයෙන්ම ඒ බව දැනුම් දිය යුත්තේ මව, පියා, භාරකරු හෝ උපතේදී ළඟ සිටි අයෙකි. උපත සිදු වී මාස 3ක් ඇතුළත නොමිලයේ උපත ලියාපදිංචි කර ගත හැකිය. උපත සිදු වී තුන් මසකට පසු උපත ලියාපදිංචි කරන විට කල් ගත වූ උපත් ලියාපදිංචියට අදාළ තොරතුරු ලබා ගත යුතුය. මෙසේ දැනුම් දෙන්නා වෙත නොමිලේ උප්පැන්න සහතිකය නිකුත් කරයි.

 

මීට අමතරව නාම සංශෝධනයන් ඇතුළු අනෙකුත් දේවලට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍ය ලියකියවිලි අතර ප්‍රධානතම සහතිකය වන උප්පැන්න සහතිකය අස්ථාන ගතව ඇත්නම් අදම මෙම මාර්ගගත ක්‍රමය අනුව අයදුම් කරන්න. එවිට ඔබට දින කිහිපයකින් ඔබේ ගැටලුවට නිසි පිළිතුර ලැබෙනු ඇත.