වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
අවුරුදු 16ට වැඩි 18ට අඩු ස්ත්‍රී දූෂණ

වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් දරුවන් ලෙස සැලකෙන බව ලංකාවේ පිළිගත් නීතිය වන අතර ලෝකයේ අනෙකුත් රටවලද නීතිමය තත්ත්වය එසේමය. නමුත් අවුරුදු 16ත් 18ත් අතර දරුවන් ලිංගික වශයෙන් දූෂණයට ලක් වූ විට නීතිමය තත්ත්වය යම් වෙනසකට භාජනය වේ.
වයෝ පූර්ණත්වයට පත්වන වයස, අවුරුදු 18 ලෙස දැක්වුණද, කැමැත්ත දීමේ වයස ලෙස වෙනත් නිර්ණායකයක් භාවිත වේ. එනම්, යම් කාන්තාවකට වයෝ පූර්ණත්වයට පත් වීමට පෙර වුවද ලිංගික කාර්යයක් සඳහා කැමැත්ත ලබා දීමේ හැකියාවක් ඇති බවයි. ඒ අනුව යම් කාන්තාවක් වයෝ පූර්ණත්වයට පත් නොවුවද, කැමත්ත ලබා දීමේ වයස පසු කර ඇති අවස්ථාවක පුරුෂයකු අතින් ස්ත්‍රී දූෂණයකට ලක් වුවහොත් එම කාන්තාව කැමැත්ත ලබා දීම නිසා ලිංගික කටයුත්ත සිදු වූ බවට විත්තිවාචකයක් ගෙන ඒමේ හැකියාව චුදිතට පවතී. ඒ අනුව බොහෝ විට කැමැත්ත ලබාදීමේ වයස සම්පූර්ණ වූ පසුව ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති වරදකරුවකු සිය දඬුවම ලිහිල් කර ගන්නේ එම කාන්තාව කැමැත්ත ලබා දීමේ වයස පසු කර සිටින නිසා ඇයගේ කැමැත්තෙන් ලිංගික සංසර්ගය සිදු වූ බව ඔප්පු කිරීමෙනි.
ලංකා නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නම් වේ. ඒ සඳහා වන දඬුවම සාමාන්‍ය ස්ත්‍රී දූෂණයක දී ලැබෙන දඬුවමට වඩා වැඩිය. එනම් අනිවාර්ය වසර 15ත් 20ත් අතර බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වේ. අනෙකුත් අවස්ථාවල දී වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් නියම කළ හැකිය. නමුත් දැරිය වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් නම් අවම දඬුවම බරපතළ වැඩ සහිත වසර දහයක සිර දඬුවමක් වේ.
මේ අනුව පැහැදිලි කරගත යුතු කරුණ වන්නේ ලංකාවේ නීතිය අනුව ගැහැනු දරුවන්ගේ කැමැත්ත දීමේ වයස ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 16 බවයි. බොහොමයක් රටවල් වයස අවුරුදු 16 කැමැත්ත දීමේ වයස ලෙස සලකන අතර සයිප්‍රසය සහ අයර්ලන්තය වයස අවුරුදු 17 ද තුර්කිය සහ වතිකානය වයස අවුරුදු 18 ද කැමැත්ත දීමේ වයස ලෙස සැලකීම විශේෂත්වයකි. මීට අමතරව වයස අවුරුදු 15 සහ 14 ද කැමැත්ත දීමේ වයස ලෙස සලකන රටවල් ද ඇත.
වයෝ පූර්ණත්වයට පත්වන වයස 18 වශයෙන් තිබියදී ලිංගික කාර්යයක් සඳහා කැමැත්ත ලබා දීමේ වයස ඊට වඩා අඩු අගයක පැවතීම බොහෝ පාර්ශ්වයන්ගේ විවේචනයට පත්ව ඇති කරුණකි. මෙම කැමැත්ත ලබා දීමේ වයස පිළිබඳ සංකල්පය බොහෝ විට ස්ත්‍රී දූෂකයන්ට වාසිදායක විත්තිවාචකයක් බවට පත් වී අවසානය.
සැබෑ ලෙසම එම ස්ත්‍රී දූෂණය සිදු වන අවස්ථාවේ කැමැත්ත නොතිබුණ ද, මෙම විත්තිවාචකය පාවිච්චි කිරීමෙන් වරද සඳහා වන දඬුවම අඩු කර ගැනීම වින්දිතයාට සිදු කරන බලවත් අසාධාරණයක් මෙන්ම සාමාජයීය වශයෙන් ඛේදනීය තත්ත්වයකි.