රසට කන්න සරල ආහාර

අප්‍රේල් 21, 2021

සිංහල අලුත් අවුරුද්ද පැමිණෙනවා කියන්නෙ කැවිලි පෙවිලිවලින් දසතම සුවඳ විහිදුවන කාලවකවානුවක්. ඒ නිසාම පසුගිය දින කිහිපය පුරාවටම ඔබේ කුසට නොසෑහෙන තරම් තෙල්, මිරිස් වගේම පැණි රසත් ඇතුළු වූවාට කිසිදු සැකයක් නැහැ. ඇතැම් විට මේ වන විට අධික තෙල්, මිරිස්, සීනි, පැණි වගේ දේ්වල් නිසා කෑම කන්නත් ඔබට තරමක් අපහසු ඇති. තරුණී අප හැමදාමත් ඔබ ගැන උනන්දුවෙන් පසුවන නිසාම මෙවර තරමක් සැහැල්ලු ආහාර වට්ටෝරු කිහිපයක් ඔබවෙත තිළිණ කරනවා. එළවළු සහ පලතුරු, සුප්, මැල්ලුම් වගේම පෝෂණීය බත් වර්ග ඊට ඇතුළත්.

 

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

ප්‍රදීකා විජේසූරිය

 

යෝගට් මිශ්‍ර බත

 

අවශ්‍ය ද්‍රව්‍ය

සම්බා හාල් ග්‍රෑම් 500 ක්

කැරට් අලයක්

ලොකු ලූනු ගෙඩියක්

තක්කාලි ගෙඩියක්

අමු මිරිස් කරල් දෙකක්

ඉඟුරු ස්වල්පයක්

සුදුලූනු බික් 2 - 3 ක්

වියළි මිදි ග්‍රෑම් 100 ක්

යෝගට් එකක්

කුරුඳු, රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ

බිත්තර දෙකක්

ලුණු

බටර් ස්වල්පයක්

 

සාදන ක්‍රමය

මෙහිදී පළමුව බත උයාගත යුතුය. බත තැම්බීමට වතුර එක්කරන විට එයට ලුණු ස්වල්පයක් ද එක්කර බත උයාගන්න. දැන් කැරට්, ලොකු ලූනු, තක්කාලි සහ අමුමිරිස් කුඩාවට කපාගන්න. ඉඟුරු සහ සුදුලූනු අඹරා ගන්න. ඉන්පසු බඳුනක් ළිප මත තබා එයට බටර් දමන්න. එය රත්වන විට ඉඟුරු සහ සුදුලූනු එකතු කරන්න. දැන් එයට කුරුඳු, රම්පෙ, කරපිංචා එකතු කරන්න. බිත්තර ද එකතුකර හොඳින් කලවම් කරන්න. ඉන්පසු කුඩාවට කපාගත් එළවළු එකතුකර මඳගින්නේ පිසගන්න.

දැන් පිසගත් බත එකතුකර හොඳින් කලවම් කරන්න. පසුව එයට සෝදාගත් වියළි මිදි සහ යෝගට් එක එකතුකර කලවම් කරන්න. තවත් ස්වල්ප වේලාවක් ළිප මත තබා පසුව ළිපෙන් බා අමුත්තන්ට පිළිගන්වන්න.

*************************

බටර් සමඟ වට්ටක්කා සුප්

 

පෝෂණ ගුණය සපිරි වට්ටක්කා සුප් ගෙදර හැමෝටම ගුණදායක පානයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

වට්ටක්කා ග්‍රැම් 500 ක්

පිටි කිරි හෝ කල්කිරි අවශ්‍ය පමණ

එළවළු තම්බාගත් වතුර කෝප්පයක්

සුදු ලුනු බික් 5 - 6 ක්

ලුණු රස අනුව

ගම්මිරිස් ඇට කීපයක්

ලොකු ලූනු ග්‍රෑම් 100 ක්

සැල්දිරි ග්‍රෑම් 75 ක්

බටර් අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

පළමුව වට්ටක්කා පොතු හැර කැබලි කපා එයට ලුණු සහ ගම්මිරිස් එකතු කර

බඳුනක් මත තබා තම්බා ගන්න. දැන් එසේ තම්බාගත් වට්ටක්කා ගෙන බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු බඳුනක් ළිප තබා එයට සුදුලූනු සිහින්ව කපා එකතු කර රන්වන් පැහැවනතුරු එහා මෙහා කරගන්න.

පසුව එයට බටර් එකතුකරන්න. දැන් සිහින්ව කපාගත් ලොකුªලූනු, පිටිකිරි හෝ කල්කිරි, එළවළු තම්බාගත් වතුර සහ සැල්දිරි දමා කලවම් කරන්න. මෙයටම බ්ලෙන්ඩ් කරගත් වට්ටක්කා එකතුකර අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් ද එක්කර හොඳින් හැඳිගා ළිපෙන් බා ගන්න.

************************

එළවළු මිශ්‍ර කජු කරිය

එළවළු මිශ්‍ර කරගනිමින් සාදන කජු ව්‍යාංජනය වෙනස්ම රසයක් ගෙනදේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කජු ග්‍රෑම් 150 ක්

බෝංචි ග්‍රෑම් 100 ක්

කැරට් ග්‍රෑම් 150 ක්

කඩල ග්‍රෑම් 250 ක්

මිරිස් කුඩු මේස හැන්දක්

තුනපහ කුඩු මේස හැඳි ½ ක්

කහ ස්වල්පයක්

රම්පෙ, කරපිංචා

රතුලූනු ගෙඩි 2 - 3 ක්

අමුමිරිස් කරල් දෙකක්

මිටිකිරි කෝප්ප 1 ¼ ක්

ලුණු අවශ්‍ය පමණ

සුදුලූනු බික් 6 - 7 ක්

 

සාදන ක්‍රමය

පළමුව කඩල රැයක් පොඟවා තබා තම්බා ගන්න. ඉන්පසු කජු ගෙන බඳුනකට දමා එයට උණුවතුර එකතුකර පැය භාගයක් පමණ වසා තබා පසුව සෝදා දිය බේරා ගන්න. දැන් බෝංචි සහ කැරට් කපාගන්න. ඉන්පසු බඳුනක් ළිප තබා එයට කිරි ස්වල්පයක් දමා රත්වන විට සිහින්ව කපාගත් ලූනු, සුදුලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා දමා ගන්න. එයටම කපාගත් එළවළු දමා මඳගින්නේ පිසගන්න. තම්බාගත් කඩල ගෙන තරමක් තළා එය ද ඉහත මිශ්‍රණය එකතු කරන්න. කජුද එකතු කරන්න. පසුව දියකිරි සහ ඉතිරි මිටි කිරි ද එකතුකරන්න. මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු සහ අවශ්‍ය පමණ ලුණු ද එකතුකර මඳගින්නේ පිසගන්න.