කටු අනෝදා ගැටෝ

ජුනි 16, 2021

 

කටු අනෝදා පලතුරක් වගේම රෝග රැසකට ගුණදෙන දිවඔසුවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. හොඳින් ඉදුණු කටු අනෝදා ගෙඩියක රස බලන්න බොහෝ දෙනෙක් කැමැතියි. නමුත් මේ රසට ඇතැම් දරුවන් අකැමැති වෙන්න පුළුවන්. ඉතිං ඔවුන්ට මේ කටු අනෝදා පලතුරක් විදිහට දෙන්න හැකියාවක් නැතිනම් මේ වගේ රසම රස ගැටෝ එකක් විදිහට හදලා දුන්නොත් ඔවුන් හරිම ආසාවෙන් රසවිඳීවි.

 

මේ සදහා පළමුවෙන්ම වැනිලා ස්පොන්ච් කේක් එකක් සාදාගත යුතුයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය.

මඳ උණුසුම් කිරි කෝප්ප 2 ක්

විනාකිරි තේ හැඳි 4 ක්

(විනාකිරි නැතිනම් දෙහි යුෂ)

එළවළු තෙල් හෝ දියකරගත්

බටර් කෝප්පයක්

වැනිලා තේ හැඳි 2 ක්

සිනි කෝප්ප 2 ක්

පිටි කෝප්ප 4 ක්

බේකිං පවුඩර් තේ හැඳි 4 ක්

බේකිං සෝඩා (ආප්ප සෝඩා)

තේ හැඳි 1/2 ක්

කිරි පිටි මේස හැඳි 8 ක්

 

සාදන ක්‍රමය

මෙහිදී පළමුවෙන්ම කිරි කෝප්ප දෙකට විනාකිරි තේහැඳි හතර දමා මඳවේලාවක් තබන්න. ඉන්පසු එයට දියකරගත් බටර් කෝප්පය දමන්න. වැනිලා සහ සීනිද එකතුකර සීනි දියවනතුරු හොඳින් හැඳිගාන්න. එලෙසින් ඔබ සාදාගත්තේ බටර් මිල්ක් මිශ්‍රණයයි. ඉන්පසු පිටි, බේකිං පවුඩර්, බේකිං සෝඩා සහ කිරිපිටි මේස හැඳි අට එකතුකර හලාගන්න.

දැන් ඉහත මිශ්‍රණයට එය එකතුකර ගන්න. හැන්දකින් මෙම මිශ්‍රණය ඉහළට ඔසවන විට නොකැඩෙන ආකාරයට තිබිය යුතුය. එම පදමට පැමිණ නැතිනම් තව කිරි කෝප්ප භාගයක් පදම එනතුරු එකතු කරන්න.

දැන් රවුම් තැටියක් ගෙන ඒ මත බටර් තවරා ගෙන ඉහත මිශ්‍රණය දමා කලින් රත්කරගත් අවන් එකක සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 45 - 50 ක් බේක් කරගන්න. පසුව හොඳින් බේක් වූ කේක් එක ගෙන නිවෙන්නට තබන්න.

 

දැන් අනෝදා ක්‍රීම් සාදමු

 

ඒ සඳහා

හොඳින් ඉදුණු කටු අනෝදා ඇට ඉවත් කළ පසු

කෝප්ප 2 ක් පමණ

කෝන් පිටි මේස හැඳි 3 ක්

සීනි මේස හැඳි 11 ක්

වතුර කෝප්ප දෙකක්

විපිං ක්‍රීම් කෝප්ප 3 ක්

පොල්කිරි ක්‍රීම් මේස හැඳි 4 ක් (ඒ සඳහා පොල් ගා මිරිකා ශීතකරණයේ තබා මිදුණු පසු උඩින් එන යොදය ගන්න)

දැන් පළමුව ඇට ඉවත් කර ගත් කටු අනෝදා කෝප්ප දෙක ගෙන එයට සීනි හැඳි තුනක් දමා හොඳින් කලවම් කරගන්න. එයට කෝන් පිටි ද එකතු කරන්න. අවශ්‍ය නම් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මෙලෙසින් සාදාගත් කටු අනෝදා ක්‍රීම් එකෙන් කෝප්ප 1/2 ක් ගෙන එයට සීනි මේස හැඳි 4 ක් එකතු කරන්න. එයටම වතුර කෝප්ප දෙකක් ද එකතුකර සිරප් එකක් සාදා ගන්න.

දැන් මෙසේ සාදාගත් සිරප් එකෙන් කෝප්ප 3/4 කට ඉහත කෝන්පිටි දමා සකස් කරගත් මිශ්‍රණය දමා ළිප තබා හැඳිගාන්න. මෙය උකු මිශ්‍රණයක් ලෙස එනතුරු හැඳිගාන්න. පසුව එය ළිපෙන් බා නිවෙන්නට තබන්න. අවශ්‍ය නම් එයට ළා පැහැති වර්ණකයක් එකතු කරගත හැකිය. ඉන්පසු විපිං ක්‍රීම් කෝප්ප තුනට සීනි මේස හැඳි 4 ක් සහ පොල්කිරි ක්‍රීම් මේස හැඳි 4 දමා තරමක් උකුවනතුරු මිශ්‍රකර ගන්න.

දැන් කේක් එක ගැටෝ එකක් ආකාරයට සකස් කරගනිමු.

ඒ සඳහා කලින් සකස් කරගත් කේක් එක ගෙන කොටස් තුනකට වෙන්කර ගන්න. ඉන්පසු එහි වටේ කොටස් කපා ඉවත්කර ගන්න. දැන් බේස් බෝඩ් එකක් ගෙන ඒ මත විපිං ක්‍රීම් ස්වල්පයක් තවරා පළමුවැනි තට්ටුව තබන්න. ඉන්පසු ඒ මත විපිං ක්‍රීම් තවරන්න. ඒ මත අනෝදා ක්‍රීම් එකද දමන්න. දැන් දෙවැනි තට්ටුව තබා එහි උඩටද පෙරසේ පළමුව විපිං ක්‍රීමුත් දෙවනුව අනෝදා ක්‍රීම් එකත් තවරන්න. ඉන්පසු තෙවැනි කේක් තට්ටුව තබන්න. කේක් එක උඩට විපිං ක්‍රීම් තවරා උඩින් ඔබට කැමැති ආකාරයකින් හැඩකර ගන්න.

 

 

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය