හබීගෙ අතින් රාත්‍රී කෑම වේලක්

අගෝස්තු 11, 2021

 

 

ගෙදර මුළුතැන්ගෙය ගෘහණියගේ ආධිපත්‍ය පැතිරුණු රජ දහනයි. බොහෝ දෙනා කියන්නේ කෑම හැදෙන්නේ බිරියගේ අතින් කියායි. ඒත් අපි දන්නා තවත් ඇත්තක් තිබේ. සමහර නිවෙස්වල කෑම සැකසෙන්නේ ආදරණීය සැමියාගේ අතිනි. තාත්තාගේ අතිනි. තාත්තා සකසන කෑම අම්මා හදන කැමවලට වඩා රසයි කියන දරුවෝ ද හිඳිති. මේ කොහොම වුණත් තාත්තා එහෙමත් නැත්නම් සැමියා බිරියට අසනීප වූ විටක හෝ කෑම සකසන අවස්ථා ද වේ. හැමදාමත් තමන්ගේ ආදරණීය බිරිය සකසන කෑමවල රස විඳින ආදරණීය සැමියන්ට පුළුවන් තමන්ගේ අතින් රසම රස කෑම වේලක් සකසා තමන්ගේ ආදරණීය බිරියටයි දරුවන්ටයි රස විඳින්න අවස්ථාවක් සලසා දෙන්න. ඉස්පාසුවක් නැතිව සැමියාගේ වැඩවලටයි, ගෙදර වැඩටයි, දරුවන්ගේ වැඩවලටයි වෙහෙසෙන බිරියට විවේකයක් දෙන්න කැමැති ආදරණීය සැමියන් වෙනුවෙන් අද තරුණී රසාර කෑම අතිරේකය වෙන්වෙනවා. බොහෝවෙලාවට රාත්‍රී කෑම වේල සැකසීම පහසුයි. ඒ නිසා සරල, පහසු පෝෂණය සහිත කෑම වේලක් රාත්‍රීයට සකසා ගෙදර අැත්තන් වෙනුවෙන් පිළිගන්වා පවුලේ ආදරණීය බැඳීම වැඩි දියුණු කරගන්න මෙන්න අනඟි අවස්ථාවක්. මේ රස කෑම අතිරේකය ඔබට ගෙන එන්නේ පවුලේ සෙනෙහස තව තවත් දලු ලා වැඩෙන්නට මං සලසා දෙන්නයි. එසේ නම් මේ රස කෑම අතිරේකය සැමියාගේ අතින් තියා මමත් මේ වෙනස දවසකටවත් අතිවිඳින්න කැමැතියි කියන්න.

ඡායාරූප හා ඉදිරිපත් කිරීම -

සූපවේදිනී

තිලානි විතානගේ

 

 

 

තක්කාලි රසැති බත්

 

අවශ්‍ය වන්නේ

 

කීරී සම්බා අවශ්‍ය පමණට

ඉදුණු තක්කාලි ගෙඩි 3ක්

තළාගත් සුදු ලූනු

සිහින්ව ලියාගත් අමුමිරිස්, ලීක්ස්, කැරට් හා බී ලූනු

පදමට ලුණු, අමු තුනපහ කුඩු ස්වල්පයක් හා මිරිස් කුඩු ස්වල්පයක්

මාගරින් මේස හැඳි 2ක්

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම හාල් සෝදා අවශ්‍ය ප්‍රමාණයට වතුර කෝප්ප 1/2ක් විතර අඩුවෙන් වතුර දමා ඒකටම තුනපහ කුඩු හා මිරිස් කුඩු එකතුකර ළිපේ තබන්න (අවශ්‍ය නම් රයිස් කුකර් එකේ වුවද පුළුවන්) ඒ අතරේ තක්කාලි ගෙඩි ටික වතුර කෝප්ප 1/2ක් දාලා බ්ලෙන්ඩ් කර යුෂ ගන්න (පෙරන්න අවශ්‍ය නෑ) බත් එකේ වතුර හිඳෙනකොට ඒකට තක්කාලි යුෂ එකතුකර බත පිස ගන්න.

භාජනයක් ළිපේ තියා මාගරින් එකතුකර ඒක රත් වෙනකොට සුදු ලූනු, අමුමිරිස් හා බී ලූනු දමා බැදෙන්න හරින්න.

ඒකටම ලීක්ස් හා කැරට් එකතුකර පදමට ලුණු දමා මිශ්‍ර කරන්න.

දැන් ඒ තෙම්පරාදුව කලින් හදා ගත්ත තක්කාලි බත් එකට දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න.

 

--------------------------

කරපිංචා ඔම්ලට්

අවශ්‍ය වන්නේ

 

සෝදා පිරිසුදු කරගත් නැවුම් කරපිංචා කොළ මිටක්

බිත්තර 2ක්

ලියාගත් බී ලූනු, අමුමිරිස් හා තක්කාලි

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

පදමට ලුණු

 

හදන්නේ මෙහෙමයි

 

බිත්තර භාජනයකට දමා හොඳින් ගසාගෙන එයට පදමට ලුණු එකතුකර පසෙකින් තබා ගන්න. දැන් නන්ස්ටික් පෑන් එකක් ළිපේ තියා ඒකට බටර් හෝ තෙල් ස්වල්පයක් දමා රත්කර එයට ගසාගත් බිත්තර එකතු කරන්න. ඒක උඩින් ලියාගත් අමුමිරිස්, බී ලූනු, කරපිංචා කොළ සමඟ තක්කාලි ටිකත් එකතුකර සාමාන්‍ය ඔම්ලට් හදන විදිහට ටික වේලාවක් ළිපේ තබා පරිස්සමෙන් අනිත් පැත්ත හරවා බැද ගන්න (පියනකින් වහන්න අවශ්‍ය නෑ) අවසානයට ඔම්ලට් එක උඩට ගම්මිරිස් ඉසින්න.

 

---------------------

සොසේජස් ඩෙවල්

 

අවශ්‍ය වන්නේ

 

අවශ්‍ය වන්නේ

පෙති කපාගත් සොසේජස් කරල් කිහිපයක්

අබ ස්වල්පයක්

ලියාගත් මාළුමිරිස් කරලක්

කපාගත් සුදු ලූනු, බී ලූනු හා තක්කාලි

සෝයා සෝස් හා තක්කාලි සෝස් මේස් හැන්ද බැගින්

කෑලි මිරිස් ස්වල්පයක්

පදමට ලුණු

කැමැති තෙල් වර්ගයක්

 

හදන්නේ මෙහෙමයි

 

භාජනයක් ළිපේ තියා තෙල් දමා රත්වන විට ඒකට අබ දමා පුපුරුවා සුදු ලූනු, මාළුමිරිස්, බී ලූනූ හා තක්කාලි දාන්න. ඒකටම සොසේජස් පෙති එකතුකර ටික වෙලාවක් තෙම්පරාදු කරන්න. දැන් සෝයා සෝස්, තක්කාලි සෝස් හා කෑලි මිරිස් එකතුකර ලුණු පදම බලා අවශ්‍ය නම් තව එකතුකර හැන්දකින් හොඳින් කලවම් කර ළිප ඕෆ් කරන්න.

 

---------------------

සෝයා මීට් කරිය

අවශ්‍ය වන්නේ

 

රසකාරක නැති සෝයාමීට් පැකට් එකක්

ලියාගත් අමුමිරිස්, බී ලූනු හා කරපිංචා

කුඩාවට කපා ගත් හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක්

බැදීමට තෙල්

උකු පොල් කිරි කෝප්ප 1/2 ක් (පිටි කළ පොල්කිරි වුවද කමක් නෑ)

අමු තුනපහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2 බැගින්

සියඹලා හෝ ගොරකා පේස්ට් (තියෙනවා නම්)

කුරුඳු පොත්තක්

කහ කුඩු ස්වල්පයක්

සෝයා සෝස් මේස හැන්දක්

පදමට ලුණු

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම වතුර ටිකක් භාජනයකට දමා ඒක උතුරනකොට සෝයා මීට් ටික දමා ළිප ඕෆ් කරන්න. ඒක ටිකක් නිවුණාට පසු සෝයාමීට් අතින් මිරිකා වතුර ඉවත් කර භාජනයකට දාන්න. භාජනයක් ළිපේ තියා තෙල් දමා රත් වූ පසු සෝයාමීට් එකතුකර රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්න ටිෂූ එකකට දමා තියන්න.

දැන් බැදපු සෝයාමීට් ළිපේ තියන්න පුළුවන් භාජනයකට දමා ඒකට කහ, තුනපහ කුඩු, මිරිස් කුඩු, සෝයා සෝස් අනෙක් සියලුම දේවල් හා පොල්කිරි එකතුකර අඩු ගින්දරේ පිසින්න.රස බලා ලුණු එකතුකර හොද්ද ටිකක් හිඳෙනකොට ළිප ඕෆ් කරන්න.

---------------------

බෝංචි හදමු

අවශ්‍ය වන්නේ

සෝදා පිරිසුදු කර කෑලි කපාගත් බෝංචි

කහ කුඩු හා අමු තුන පහ කුඩු ස්වල්පය බැගින්

පදමට ලුණු

පොල් කිරි හෝ වතුර මේස හැඳි 3ක්

තෙල් මේස හැන්දක්

ලියාගත් බී ලූනු, අමුමිරිස් හා තක්කාලි

 

හදන්නේ මෙහෙමයි

භාජනයකට ඉහත සියලුම දේවල් දමන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයට දමා ඇතිළිය ළිපේ තබන්න. හැන්දෙන් එහා මෙහා කරමින් විනාඩි කිහිපයක් පිස ගන්න. කොළ පැහැය තියෙද්දීම ළිප ඕෆ් කර වෙනත් භාජනයකට මාරු කරන්න. බෝංචි උයනකොට හෝ තෙල් දානකොට පැහැය රැක ගන්න ඕනේ නිසා තුනපහ කුඩු පාවිච්චි කරන්නේ බොහෝම පොඩ්ඩයි. ඒ වගේම බෝංචි එක හදලා ඉවර වුණු ගමන්ම වෙනත් භාජනයකට මාරු කරන්න ඕනේ. නැත්නම් භාජනයේ රස්නෙටත් බෝංචිවල කොළ පැහැය මැකෙනවා.

 

---------------------

 කුරුඳු කෝපි

අවශ්‍ය වන්නේ

 

කෝපි කුඩු තේ හැඳි 2ක්

ලොකු කුරුඳු පොත්තක්

වතුර කෝප්ප 5ක්

අවශ්‍ය නම් ඔබේ රස අනුව සීනී

 

හදන්නේ මෙහෙමයි

 

කුරුඳු පොත්ත කැබලිවලට කඩා එයට වතුර එකතු කර භාජනයකට දමා මඳ ගින්නේ උතුරුවා ගන්න. උතුරනකොට කෝපි ටික දමා ළිප ඕෆ් කරන්න. දැන් කෝප්පවලට පෙරා අවශ්‍ය නම් සීනි එකතුකර උණුවෙන්ම පානය කරන්න. රස වගේම සුවඳවත් පානයකි.

--------------------

 

මාරි බිස්කට් මිල්ක්ෂේක්

 

අවශ්‍ය වන්නේ

(එක් වීදුරුවක් සඳහා)

 

මාරි බිස්කට් 5ක් (කැබලි කඩා ගන්න)

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක්

කොකෝ පවුඩර් තේ හැඳි 2ක්

සීනි ඔබේ රස අනුව

වැනිලා බිංදුවක්

වැනිලා අයිස් ක්‍රීම් ටිකක් හා

අයිස් කැට කීපයක්

 

හදන්නේ මෙහෙමයි

 

අයිස්ක්‍රීම් හැර ඉතිරි සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කරන්න. මිල්ක්ෂේක් එක උස වීදුරුවකට දමා උඩින් වැනිලා අයිස්ක්‍රීම් එකතු කර රස විඳින්න.