උදෑසනට රුලංවලින් රසවත් කෑම

දරුවන්ට විශේෂයි
අගෝස්තු 18, 2021

 

රුලං එහෙමත් නැත්නම් සැමොලිනා කියන්නේ පොඩි දරුවන්ට දියහැකි පෝෂණයෙන් පිරුණු අමතර ආහාරයක්. පහසුවෙන්ම දිරවීමට හැකි රුලං මිශ්‍ර ආහාර දරුවාට අගනා පෝෂකයක්. රසවත්බව නිසා දරුවන් ආසාවෙන් කන්නත් කැමැති‍යි.

මාස 6 සිට ඉහළට මූලික ආහාර පුරුදු කළාට පසුව පුංචි බබාලට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි රුලං හරියාකාරව කවාගන්නට හැකි නම් බබාලගෙ බරට යහපත් බලපෑමක් අැතිෙවනවා. සිඟිත්තන්ගේ බර අඩුයි කියලා මැසිවිලි නගන අම්මලාට මෙය දරුවන් වෙනුවෙන් හොඳම තෝරාගැනීමක්.

යකඩ හා පොටෑසියම්වලින් පිරි රුලං දරුවාගේ ශරීරයේ හිමොග්ලොබීන් ප්‍රමාණය වර්ධනය කිරීමට වගේම හදවතේ නීරෝගී ක්‍රියාකාරිත්වය සඳහා වැදගත් වෙනවා. ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින් B, E ඇතුළු පෝෂණීය ගුණාංග රැසක් පිරි රුලං මිශ්‍ර ආහාර දරුවාගේ බර වැඩිකරගැනීමට උදව් වෙනවා .

ඉතාමත් පහසුවෙන් දිරවීමේ හැකියාව පවතින බැවින් දරුවාට මලබද්දය වැනි තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුයි.

පොඩි දරුවන්ට විතරක් නෙමේ වැඩි හිටියන්ටත් මෙය අගනා ආහාරයක්. ඒ කොලොස්ටරෝල් හා සෝඩියම් අඩු ප්‍රතිශතයක් පවතින බැවිනි. ඒ නිසා අපි කාටත් ගුණ දෙන පෝෂණය පිරුණු රුලංවලින් සාදාගත හැකි කෑම වර්ග කිහිපයක් මෙලෙස ගෙන එනවා. මේවා උදෑසන සකසා පවුලේ සියලුදෙනා සමඟ රස විඳින්න.

 

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනි ගුරුසිංහ

 

 

රුලං ලැවරියා

 

අවශ්‍ය දේවල්

 

රුලං පිටි කෝප්ප 2ක්

රස අනුව ලුණු

අවශ්‍ය පමණ උණු වතුර

 

පැණි පොල් සඳහා

 

පොල් බෑයක පොල්

වතුර කෝප්ප 1/4ක්

සීනි ග්‍රෑම් 200ක්

ලුණු තේ හැඳි 1/4ක්

කහ කුඩු තේ හැඳි 1/4ක්

වැනිලා තේ හැඳි 1/2ක් හෝ

එනසාල් කුඩු

 

සාදන ආකාරය

 

සීනි, වතුර කෝප්ප කාල සමඟ එකතුකර ළිප තබා පැණි සාදාගන්න. එයට පොල් සහ වැනිලා එකතුකර පොල්පැණි සාදාගන්න.

 

දැන් අපි ඉඳිආප්ප

මිශ්‍රණය සාදා ගනිමු.

 

රුලං පිටි රෙදි කඩක ඔතා හුමාලයෙන් තම්බගන්න. තම්බාගත් පිටි කැට කඩා කුඩුකර හොඳින් හලාගන්න. මෙය කලින් කර තබාගන්න.

තම්බාගත් රුලං පිටි කෝප්ප 2කට අවශ්‍ය පමණ ලුණු එකතුකරගන්න. වතුර ළිප තබා උණුවී නටන්න පෙර බුබුළු දමන විටදි ළිපෙන් ඉවතට ගන්න. මේ විදියට ලෑස්ති කරගත් උණු වතුර ටික ටික ලුණු මුශ්‍ර පිටි සමඟ එකතුකර අනාගන්න. ඉඳිආප්ප මිරිකරගන්න පුළුවන් පදම එනතුරු වතුර එක් කරන්න.

දැන් සාදාගත් මිශ්‍රණය ඉඳිආප්ප වංගෙඩියට එක් කරන්න.

බේකිං පේපර් එකක් මතට ටිකක් ලොකු රවුමක් වනසේ ඉඳිආප්ප මිශ්‍රණය වක්කරන්න. දැන් ඒ මතට සාදාගත් පැණි පොල් තබා බේකිං පේපර් එකේ කොන් දෙකෙන් අල්ලා ලැවරියා රවුමේ කොන් එකට සිටින සේ අලවගන්න.

එසේ සාදාගත් ලැවරියා ලොකු ඉඳිආප්ප වට්ටියක් මතට ප්‍රවේසමෙන් තබා හුමාලයෙන් තම්බාගන්න.

********************************************

රුලං තෝසේ

අවශ්‍ය දේවල්

 

රුලං පිටි කෝප්ප 1 ½ක්

යෝගට් කෝප්ප 1 ½ක්

පාන්පිටි මේස හැඳි 3ක්

බේකිං සෝඩා තේ හැඳි 1/4ක්

රස අනුව ලුණු

තෙල් හෝ බටර් ටිකක්

 

සාදන ආකාරය

 

තෙල් සහ බටර් හැර ඉහත සඳහන් සියල්ල එකට එකතුකර කලවම් කරන්න. තෝසේ බැටර් එක ඝනකම් වගේ හැඟෙනවා නම් තව යෝගට් එකතුකරන්න. නැතිනම් වතුර ස්වල්පයක් එකතුකරන්න.

දැන් සාදාගත් තෝසේ මිශ්‍රණය විනාඩි 20ක් පමණ තබන්න. ඊට වැඩි වුණත් කමක් නැහැ. මුකුත්ම වෙන්නේ නෑ, පෑන් එකක් ළිප තබා එයට සාදාගත් තෝසේ මිශ්‍රණයෙන් පුරවා හැන්දක් එක්‌ කරන්න.

ඒ හැන්දෙන්ම මිශ්‍රණය වටේට විහිදිලා යන විදියට හැන්දේ යටි පැත්ත මිශ්‍රණය මත තබා වටේට කරකවන්න.

තුනිවට මිශ්‍රණය විහිදුවා හදන තොසේ හරිම ක්‍රිස්පීයි. දැන් තෝසේ එක උඩ දුඹුරු පැහැ ගැන්විගෙන එද්දී බටර් හෝ තෙල් පුංචි හැන්දකින් තොසේ එක පුරාම ගාන්න

එතකොට හොඳ ක්‍රිස්පී එකට තෝසේ එක හැදෙනවා. මේ විදියට තොසේ සියල්ලම හදාගන්න. දැන් උණු උණුවෙම සම්බාරු සහ පොල් චට්නි සමඟ තෝසේ රස බලන්න.

**************************

රුලං පෑන් කේක්

අවශ්‍ය දේවල්

 

ලොකු කෙසෙල් 1ක්

(පොඩි ඒවා නම් දෙකක්

ගන්න)

බිත්තර 1ක්

රුලං කෝප්ප 1 1/2ක්

බටර් ග්‍රෑම් 50ක්

බේකිං පවුඩර් තේ

හැඳි 1/2ක්

සීනි මේස හැඳි 2ක්

කිරි කෝප්ප 1/2ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්

සාදික්කා කුඩු තේ

හැඳි 1/4ක්

සාදන ආකාරය

කෙසෙල් ගෑරිප්පුවක් මඟින් පොඩිකරගන්න. බටර් දියකරගන්න. බිත්තරය ගසාගන්න. රුලං පිටි, කුරුඳු කුඩු, සාදික්කා කුඩු, බේකිං පවුඩර් එකට එකතු කරන්න. දැන් කෙසෙල්, පිටි මිශ්‍රණය, බටර්, බිත්තර සියල්ල සමඟින් කිරි එකතුකර මිශ්‍රණය හදාගන්න.

ඔබ ගන්නා කෙසෙල් ප්‍රමාණය අනුව කිරි ප්‍රමාණය අඩු වැඩි විය හැකියි. පෑන් කේක් මිශ්‍රණයේ ඝනකම අනුව තව කිරි අවශ්‍ය යැයි හැඟේ නම් එක් කරන්න..

නොන්ස්ටික් පෑන් එකක් ළිප තබා ඒ මතට මෙම සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් හැන්දකින් එක් කරන්න. හැන්දෙන් රවුම් ආකාරයට මිශ්‍රණය විහිදුවන්න. දෙපැත්ත රන්වන් පාට වූ විට ගන්න. ඒ විදියට ඉතුරු මිශ්‍රණයෙන් හදන්න. පැණි සහ කෙසෙල් පෙති සමඟින් පිළිගන්වන්න.

 

**************************

රුලං ෆ්ලැට් බ්‍රෙඩ්

අවශ්‍ය දේවල්

 

රුලං පිටි ග්‍රෑම් 500ක්

ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක්

ඔලිව් තෙල් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 1ක්

ඊස්ට් ග්‍රෑම් 7ක්

රස අනුව ලුණු

අර්තාපල් අල ග්‍රෑම් 500ක්

ග්‍රේට් කරගත් මොසරැල්ලා

චීස් ග්‍රෑම් 200ක්

 

සාදන ආකාරය

 

අල තම්බා පොඩි කරගන්න.

කිරි යන්තම් රත් කරගන්න.

ඉඩ ඇති භාජනයකට කිරි ටික එකතුකර, එයට සීනි සහ ඊස්ට් දමා කලවම් කර විනාඩි තුනක් පමණ තබන්න.

රුලං පිටි හා ලුණු එකතුකර කලවම් කරගන්න. දැන් කිරි මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් කලවම් කරන්න. පිටි සියල්ල එකතුකර ලී හැන්දකින් කලවම් කර අවසන්වූ පසු, තෙල් ටික ටික එකතු කරමින් අතින් අනන්න.

අතේ නොඇලෙන පදම එනතුරු අනන්න. ඇලෙන ගතිය වැඩියි වගේනම් තව රුලං පිටි මේස හැන්දක්, දෙකක් එකතු කරන්න.

දැන් සාදාගත් පිටි මෝලිය පිරිසුදු රෙද්දකින් වසා පැයක් පමණ තියන්න. ඊස්ට් ක්‍රියාකාරිත්වය හොඳ නම් පැය බාගෙත් ඇති.

පොඩි කරගත් අල එකට

ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් එකතු කරන්න.

දැන් පිපුණු පිටි මෝලිය ඉඩ ඇති ලෑල්ලක් මතට ගෙන රෝල් කර කොටස් හතරකට වෙන් කරගන්න.

අතේ පිටි ටිකක් ගාගෙන ඒ එක කොටස බැගින් අරන් බෝල කරගන්න.

අල සහ චීස් මිශ්‍රණයෙන් බෝල හතරක් සාදා පැත්තකින් තියන්න.

දැන් පිටි බෝලයක් ගෙන තුනීකර ඒ මතට අල චීස් බෝලයක් තබන්න.

ඉන්පසු වටේටම එකතුකර චීස් බෝලය වසාගන්න.

ඉන්පසු අතින් හිමීට තුනීකරන්න.

ඒ විදියට හතරම හදාගන්න.

අවන් එකේ තැබිය හැකි ට්‍රේ එකක් ගෙන ඒ මතට බේකිං පේපර් එකක් එලා සාදාගත් ෆ්ලැට් බ්‍රෙඩ් තබන්න.

ඉන්පසු අතට ඔලිව් තෙල් ටිකක් අරන් ඇඟිලි මඟින් පාන් එක මත තැනින් තැන ගාන්න. වැඩි ලස්සනට වැඩි රසට බිත්තර කහමද ටිකක් උඩින් ගාන්න. ඒක අවශ්‍යම නෑ..

විනාඩි අටකට විතර කලින් රත්කරගත් අවන් එකේ සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 20ක් පමණ බේක් කරගන්න.

 

************************

චීස් මිශ්‍ර රුලං පෑන් කේක්

අවශ්‍ය දේවල්

 

රුලං කෝප්ප 1 1/2ක්

ක්‍රීම් චීස් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 2ක්

බිත්තර 1ක්

කිරි කෝප්ප 1ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

 

සාදන ආකාරය

 

රුලං, සීනි, බේකිං පවුඩර්, ක්‍රීම් චීස්, බිත්තරය එකතුකර හොඳින් කලවම් කරන්න. එයට කිරි ටික ටික එකතු කරමින් පෑන් කේක් බැටර් එක සාදාගන්න.

නොන්ස්ටික් පෑන් එකක් ළිප තබා පෑන් කේක් මිශ්‍රණයෙන් ටික ටික වක් කර අඩු ගින්දරේ පෑන් කේක් සාදාගන්න. දරුවන් කැමැති විදියට පිළිගන්වන්න. චොකලට් සෝස්, ස්ට්‍රෝබෙරි සෝස් හෝ පලතුරු සමඟින් පිළිගැන්විය හැකියි.

 

ස්ට්‍රෝබෙරි සෝස්

සාදාගැනීමට

 

ස්ට්‍රෝබෙරි ගෙඩි 5ක් පමණ ගෙන පුංචි කොටස්වලට කපාගන්න. එයට සීනි මේස හැඳි 1ක් එකතුකර වතුර කෝප්ප කාලක් ද එකතුකර උණු කරන්න.

දැන් එය නිවෙන්න හැර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

ඔබට තිබෙන පලතුරු උපයෝගී කරගන්න. ක්‍රීම් චීස් අවශ්‍යම නොවේ.

 

*********************

රුලං පොල් රොටි

රුලං පිටි ග්‍රෑම් 600කට පොල් බෑයක පොල් රස අනුව ලුණු එකතුකර කලවම් කරගන්න. එයට වතුර ටික ටික එකතුකර අනාගන්න.

අතේ නොඇලෙන පදම එනතුරු අනන්න. දැන් හොඳින් රෝලිං පින් එකක් මඟින් තුනී කර රවුම් කටර් එකකින් රොටි රවුම් කපාගන්න. තැටියට එකතුකර දෙපැත්ත පුලුස්සා කෑමට ගන්න.

******************************

රුලං බනනා බ්‍රෙඩ්

අවශ්‍ය දේවල්

 

ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්

(බර ග්‍රෑම් 400ක් විතර)

රුලං ග්‍රෑම් 225ක්

දුඹුරු සීනි ග්‍රෑම් 160ක්

බටර් ග්‍රෑම් 110ක්

බිත්තර 2ක්

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

ලුණු ස්වල්පයක්

තියෙනවා නම් චොකලට් චිප්ස් ග්‍රෑම් 30ක් පමණ

 

සාදන ආකාරය

 

කෙසෙල් ගෙඩි ලෙල්ල අයින්කර ගෑරිප්පුවකින් පොඩි කරගන්න.

බටර් ටික මයික්‍රෝවේව් අවන් එකේ විනාඩියක් තබා දිය කරගන්න. නැත්නම් ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න. දියකරගත් බටර් හා කෙසෙල් එකතුකරන්න.

එයටම සීනිත් එකතුකර කලවම් කරන්න.

එයට ගසාගත් බිත්තර සහ වැනිලා එකතුකරන්න.

රුලං පිටිවලට ලුණු පිංච් එක සහ බේකිං පවුඩර් එකතුකර කලවම් කරන්න.

දැන් කෙසෙල් මිශ්‍රණයට පිටි මිශ්‍රණය ටික ටික එකතුකරන්න. එයටම තියෙනවා නම් චොකලට් චිප්ස් එකතුකරන්න. නැතත් කමක් නැහැ. බීට් කරන්න අවශ්‍ය නෑ. හැන්දකින් මේ හැමදේම කලවම් කරන්න පුළුවන්. බේකිං පේපර් එකක් දමා සකස් කරගත් පාන් තැටියට මිශ්‍රණය එක් කරන්න.

පාන් තැටියක් නොමැති නම් කේක් තැටියක් උපයෝගී කරගන්න.

දැන් විනාඩි 8කට කලින් රත්කරගත් අවන් එකේ සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 35ක් බේක් කරගන්න.