අනෝමාගෙන් නැවුම් රසය පිරි පෝෂණීය කෑම

ජනවාරි 17, 2022

 

සකසුරුවමයි, පෝෂණයයි ගෘහණියකගේ ජීවිතය කැඩපත වගෙයි. කටට රසට උයන්න පුළුවන් නම් ඇයට හදන්නට හැකි පෝෂණය පිරි කෑම බීම වර්ග ඕනෙ තරම්. දරුවන්ගේ පෝෂණය හා ප්‍රතිශක්තිය ගැන සිතන අම්මලාට මිල අධික කෑම බීම වර්ග වෙළෙඳපොළෙන් ගන්නත් මේ කාලේ සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ නිසා අප සිතුවා ඔබට එවැනි කෑම බීම වර්ග නිවෙසේ ම සදාගන්න වට්ටෝරු කිහිපයක් ඉදිරිපත් කරන්න.

ඒ සඳහා අප මෙවර කැඳවා ගෙන එන්නේ එවැනි කෑම බීම වර්ග සාදන්නට හැකි දක්ෂ සූපවේදිනියකි. සමාජ මාධ්‍ය හරහා වඩාත් ජනප්‍රිය වුණු Anoma's Kitchen ගැන බොහෝ දෙනෙක් දැන් දන්නවා. අනෝමා විජේතුංග කියන්නේ දේශීය මෙන්ම විදේශීය කෑම බීම රසට උයන්න පුළුවන් දක්ෂ සූපවේදිනියක්.

අප කළ ඇරැයුමකට අද ඇය තරුණී පාඨක ඔබට රසට ගුණට වගේම අරපිරිමැස්මෙන් යුතුව අලුත්ම තාලේ කෑම වර්ග කිහිපයක් හදාගන්න කියලා දෙනවා. අනෝමා හදන කෑම තරමක් වෙනස්. ඒ වගේම අපට ඉතාම පහසුවෙන් අඩු මුදලකට හදාගන්නත් පුළුවන්. ඔබත් ඇය හදන මේ කෑම බීම සාදා රස විඳලාම බලන්න.

 

 

අර්තාපල් කළුපොල් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් අර්තාපල් අල ග්‍රෑම් 200ක්

බී ලුනු ගෙඩි 1ක්

ඉඟුරු, සුදුලූනුු පේස්ට්

මේස හැඳි 1ක්

කුරුඳු කැබැල්ලක්

එනසාල්, කරාබුනැටි 3 බැගින්

සියඹලා ඉස්ම තේ හැඳි 2ක්

බැදපු තුනපහ කුඩු තේ හැඳි 3ක්

බැදපු මිරිස් කුඩු තේ හැදි 1-2ක්

කහ කුඩු, උළුහාල් තේ හැඳි 1/4ක්

උකු පොල්කිරි කෝප්ප 1/4 - 1/2ක්

දිය කිරි කෝප්ප 1/2ක්

ලුණු,

තෙල් මේස හැඳි 1ක්

රම්පෙ, කරපිංචා

ගාගත් පොල් මේස හැඳි 3ක්

හාල් තේ හැඳි 1ක්

 

සාදමු

මුලින්ම පොල් සහ හාල් රන්වන් පාට වනතුරු කබලේ බැද ගන්න. ඉන්පසු එය සිහින් වන සේ අඹරා ගන්න. තම්බාගත් අලවලට බැදපු තුනපහ කුඩු, බැදපු මිරිස් කුඩු, ලුණු, කහ, සියඹලා ඉස්ම සහ අඹරා ගත් හාල් පොල් මිශ්‍රණය ද දමා කලවම් කරන්න.

බඳුනක් ළිප තබා රත් වූ පසු තෙල් දමා ඉඟුරු සුදුලූනු, ලූනු, රම්පෙ, කරපිංචා, එනසාල්, කරාබුනැටි, උළුහාල් දමා හොද සුවඳක් එනතුරු බැදගන්න.

ඉන්පසු තුනපහ කලවම් කරගත් අල මිශ්‍රණය දමා හොඳින් හැඳි ගා තෙලෙන් තත්පර කිහිපයක් තම්බුණාට පසු දෙවැනි කිරි දමා අඩු ගින්දරේ හොඳින් උයා ගන්න. පොල්කිරි බාගෙට හිඳී ගිය පසු මිටි කිරි දමා මූඩියෙන් වසා විනාඩි 7-8ක් උයන්න. ඉන්පසු මුඩිය ඇර හොඳින් දියර ගතිය හිඳී උකු වී එනවිට ළිපෙන් බාගන්න.

****************************

රස දෙකේ කිරි පුඩිම

 

අවශ්‍ය ද්‍රව්‍ය

පොඩි ටින් කිරි ටින් 1ක්

වතුර ටින් 1 1/4ක් (ටින් කිරි ටින් එකෙන් ම මැනගන්න)

බිත්තර 3ක්

ජෙලටින් මේස හැඳි 1 1/2ක්

වතුර කෝප්ප 1/4ක්

ස්ට්‍රෝබෙරි ජෙලටින් මේස හැඳි 2ක්

උණු වතුර මේස හැඳි 3ක්

වැනිලා තේ හැඳි 1ක්

බනානා එසන්ස් බිංදු 3ක් පමණ

 

සාදමු

මුලින්ම බිත්තර සුදුමද හා කහමද වෙන් කර ගන්න. කහමදවලට ටින් කිරි එකතු කරන්න. එයට කිරි ටින් එකෙන්ම වතුර ටින් එකක් දමන්න. වතුර කෝප්ප 1/4 භාජනයකට දමා එයට ජෙලටින් දමා පෙඟෙන්න තබන්න.

කහමද කිරි මිශ්‍රණය ළිපේ තබා හොඳින් රත් වී දුම යන විට (උතුරන්න කලින්) ළිපෙන් බා ගන්න. පෙඟෙන්න තැබූ ජෙලටින්වලට උණු කිරි හැඳි දෙක තුනක් දමා ජෙලටින් ටික දියකර ගෙන නැවතත් ජෙලටින් උණු කිරි භාජනයකට දමා හොඳින් දියකරන්න.

මෙම මිශ්‍රණය එක සමාන කොටස් දෙකකට වෙන් කර ගන්න. ස්ට්‍රෝබෙරි ජෙලටින්වලට උණු වතුර දමා දිය කර ගන්න. ඉන්පසු වෙන්කරගත් එක කිරි මිශ්‍රණයකට එය දමා හොඳින් මිශ්‍ර වෙන සේ හැඳි ගාන්න. එයටම වැනිලා දමන්න.

අනෙක් කිරි මිශ්‍රණයට බනානා එෙන්ස් දමා කලවම් කරන්න. දැන් මේ කිරි දෙවර්ගයම නිවෙන්නට තබා බිත්තර සුදුමද හොඳින් බීට් කර ගන්න. හිම කැටියක් මෙන් ගසා ගත් බිත්තර සුදු මද කොටස් දෙකකට වෙන්කර නිවුණු කිරි මිශ්‍රණ දෙකටම දමා කිරි සහ බිත්තර සුදුමද හොඳින් මිශ්‍රවන තුරු කලවම් කරන්න. දැන් හතරැස් හැඩ වීදුරු භාජනයකට කහ පාට කිරි මිශ්‍රණය දමා ශීතකරණයේ පැය භාගයක් පමණ තබා එළියට ගෙන ප්‍රවේසමෙන් රෝස පාට කොටස උඩින් වත් කර රැයක් පමණ මිදෙන්න තබා කෑමට ගන්න.

***********************

මුං ඇට තෝසෙ

 

අවශ්‍ය දේවල්

මුං ඇට ග්‍රෑම් 150ක්

හාල් මේස හැඳි 2ක්

ලුණු තේ හැඳි 1/2ක්

අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්

අමුමිරිස් කරල් 2ක්

කරපිංචා ඉති 2ක්

වතුර කෝප්ප 1ක් පමණ

ආප්ප සෝඩා තේ හැඳි 1/2ක්

 

සාදමු

මුං ඇට සහ හාල් රැයක් පෙඟෙන්න තියන්න. උදේට මුං ඇට සහ හාල්වල වතුර පෙරාගෙන බ්ලෙන්ඩර් කෝප්පයකට දමන්න. එයටම අමුමිරිස්, ඉඟුරු සහ කරපිංචා දමා හොඳින් අඹරා ගන්න. වතුර ටික ටික

දමමින් තොසේ මිශ්‍රණය සේ උකුවට සදා ගන්න. ඉන්පසු එයට ලුණු සහ ආප්ප සෝඩා දමන්න. හොඳින් කලවම් කර මිනිත්තු 5ක් පමණ තබා තෝසෙ සාදා ගන්න.

දරුවන්ට පෝෂණ ගුණය වැඩි ආහාරයක් ලෙස මෙය සාදා දීමේ දී පොඩියට කපා ගත් කැරට්, බෝංචි, නිවිති වගේ එළවළු තෝසෙ මිශ්‍රණයට දමා කලවම් කර තෝසෙ සදා ගන්න.

***********************

ගෙදර හදන ක්‍රීම් චීස්

 

නැවුම් එළකිරි ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඉතාම හොඳින් අපිට ගෙදරදීම ක්‍රීම් චීස් හදන්න පුළුවන්. (කඩෙන් ගන්න කිරිවලිනුත් හදන්න පුළුවන්) එහෙම හදා ගත්තාම චීස් කේක් වගේ ගොඩාක් කෑම ජාති හදන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

නැවුම් එළකිරි ලීටර් 1ක්

දෙහි හෝ ලෙමන් යුෂ මේස හැඳි 2ක් හෝ 3ක්

ලුණු තේ හැඳි 1/2ක්

 

සාදමු

 

එළකිරි පතුළ ඝනකම ඇති භාජනයකට දමා රත් වනතුරු හොඳින් හැඳි ගාන්න. කිරි නටා ගෙන එන විට ළිපේ ගින්දර ටිකක් අඩුකර මිනිත්තු පහක් පමණ හැඳි ගා ළිපේ තබා ගන්න. දැන් ළිප නිවාගන්න. සදා ගත් දෙහි යුෂ මේස හැන්ද බැගින් දමා හැඳි ගාන්න. එවිට කිරි කැටි ගැසෙන්න පටන් ගන්නා අයුරු ඔබට දැක ගත හැකියි. ඉතිරි දෙහි යුෂ දමා කිරි සම්පූර්ණයෙන්ම කැටි ගැසෙන තුරු කලවම් කරන්න. ඉන්පසු මූඩියෙන් වසා විනාඩි 10ක් පමණ තබන්න.

සැදී ඇති චිස් එකතු කර ගැනීමට පිරිසුදු රෙදි කොටසක් භාජනයකට උඩට දමා ගන්න.

විනාඩි දහයකට පසු කිරි හොඳින් කැටි ගැසී වතුර වෙන්වී ඇති සැටි දැකිය හැකියි. මෙය රෙදි කොටස උඩට වත් කරන්න. රෙදි කොටසේ හතර කොනෙන් අල්ලා කරකවා තිබෙන වතුර ඉවත් වන තුරු මිරිකන්න.

සදා ගත් චීස්වලින් ක්‍රීම් චීස් සාදා ගන්නා ආකාරය

සදා ගත් චීස් බ්ලෙන්ඩර් කෝප්පයට දමා හොඳින් ක්‍රීම් වනතුරු අඹරන්න. රස අනුව ලුණු ස්වල්පයක් දමන්න. ක්‍රීම් චීස් මිශ්‍රණය ඝන බවක් දැනේ නම්, කිරිවලින් ඉතුරු වූ වතුර ස්වල්පයක් (මේස හැන්දක් පමණ) දමා අඹරන්න. එවිට හොඳ මෘදු ගතියකින් යුතු කඩෙන් ගන්නා ක්‍රීම් චීස් විදියටම හැදී ඈති බව ඔබට පෙනේවි. පිරිසුදු භාජනයකට දමා ශීතකරණයේ තබා දවස් 3ක්-4ක් තබා ගන්න පුළුවන්. අධිශීතකරණයේ තබා ගන්නවා නම් මාසයක් පමණ තබා ගත හැකියි.

 

****************************

 රස ගුණ පිරි වැටකොළු ඔම්ලට්

 

 

අවශ්‍ය දේවල්

ළපටි වැටකොළු ග්‍රෑම් 150ක්

බිත්තර 2ක්

ලොක ලූනු

අමු මිරිස්

තක්කාලි

සුදුලූනු බික් 3ක්

ලුණු සහ ගම්මිරිස්

තෙල් තේ හැඳි 2ක්

 

සාදමු

වැටකොළු පොතු ඉවත් කර පොඩියට කපා ගන්න. ලොක ලූනු, අමු මිරිස්, තක්කාලි සහ සුදුලූනු පොඩියට කපාගන්න. බිත්තර කඩා භාජනයකට දමා ලුණු, ගම්මිරිස් දමා හොඳින් ගසා ගන්න. එයට තක්කාලි සහ අමුමිරිස් දමන්න.

තෙල් තේ හැඳි 1ක් බඳුනකට දමා රත් වන විට කපාගත් සුදුලූනු දමා ටික වේලාවක් තෙම්පරාදු කර එයට

 

 

කපාගත් වැටකොළු සහ ලොකු ලූනු දමා, වැටකොළු භාගෙට තැම්බෙන තුරු පියනෙන් වසා අඩු ගින්දරේ උයා ගන්න. ඉන්පසු එය ළිපෙන් බාගන්න. නැවතත් බඳුනට ඉතිරි තෙල් ටික දමා රත් වන විට, කලින් සාදා ගත් වැටකොළු හා බිත්තර මිශ්‍රණය දමා හොඳින් කලවම් කර, රත්වූ බඳුනට දමා තුනී කර ඔම්ලට් සාදා ගන්න. උණු උණුවෙන් කෑමට ගන්න.

 

*******************

පාන්වලින් රස කෑමක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 5-6ක් (පාන් පෙති ප්‍රමාණය අනුව එළවළු ගන්න)

බෝංචි, ගෝවා, මාළුමිරිස් හෝ කැමැති එළවළු වර්ග

ලොකු ලූනු ගෙඩි 1ක්

සුදුලූනු බික් 2ක්

අමු මිරිස් කරල් 1ක්

තක්කාලි ලොකු ගෙඩි 1ක්

මිරිස් කුඩු, කරි පවුඩර්

බිත්තර 2ක්, ලුණු, ගම්මිරිස් රස අනුව

තක්කාලි සෝස් මේස හැඳි 2ක්

තෙල් තේ හැඳි 2ක්

සාදමු

පාන් පෙති ටෝස්ට් කරගන්න.තෙල් නොදා රොටි තැටියක තබා දෙපැත්තම ටෝස්ට් කරගන්න. (හෝ ටෝස්ටර් එකෙන් ටෝස්ට් කරගන්න.) ඉන්පසු ටෝස්ට් කරගත් පාන් පොඩි කොටුවලට කපා ගන්න.

බිත්තර කඩා ලුණු, ගම්මිරිස් ටිකක් දමා ගසා ගන්න. බඳුනක් ළිප තබා තෙල් දමා රත් වූ පසු බිත්තර දමා තැම්බිගෙන එනවිට හැන්දෙන් කෑලිවලට කඩා හොඳින් තැම්බුණු පසු වෙනත් භාජනයකට දමන්න.

බිත්තර සාදා ගත් පෑන් එකට ලූනු, සුදුලූනු දමා තෙම්පරාදු කරන්න. ඉන්පසු එළවළු දමා එයත් තැම්බෙන තුරු තෙම්පරාදු කර ගන්න. ඉතුරු ලුණ, ගම්මිරිස්, කරි පවුඩර්, මිරිස් කුඩු දමා හොඳින් කලවම් කර තක්කාලි දමා වසා තම්බා ගන්න. ටිකකින් තක්කාලි සෝස් ද දමා කලවම් කර කපා ගත් පාන් දමන්න. ඉන්පසු එළවළු සමඟ හොඳින් මිශ්‍රවන සේ කලවම් කර, සාදා ගත් බිත්තර දමා හැඳි ගා උණු උණුවෙන් මේසයට යවන්න.