වැඩි පලතුරු නාස්ති නොකර ජෑම් හදමු

අමතර ආදායමකටත් කදිමයි
මාර්තු 21, 2022

 

ගහ කොළ මලින් ඵලින් පිරුණු සොඳුරු වසත් සමය අත ළඟටම ඇවිදින්. ඉතිං මේ කාලයේ හැදෙන බොහොමයක් පලතුරු ගස් යට ඉදී කුණුවී යනවා. ඒ වැඩි පලතුරුවලින් ප්‍රයෝජනයක් ගෙන අතට අමතර ආදායමක් ද උපයාගත හැකි නම් ඔබ දිනුම්.

වැඩිපුර හැදෙන පලතුරු තෝරාගෙන ඒවායින් ජෑම් වර්ග සාදා ගන්නා අන්දමයි මේ. ගෙදර අයට රස විඳින්නට වගේම විකුණන්නටත් පුළුවන්. එසේ නම් අද අපි පහසුවෙන්ම මේ විදිහට ජෑම් හදමු.

 

 

අන්නාසි ජෑම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු අන්නාසි ගෙඩි 1ක් (ග්‍රෑම් 500ක පමණ)

සීනි ග්‍රෑම් 500ක්

සුවඳ කුඩු තේ හැඳි 1ක් (එනසාල්)

ලුණු කුඩු තේ හැදි 1/2ක්

 

සාදන ක්‍රමය

පළමුව අන්නාසි ගෙඩිය පොතු ඉවත්කර ඉතාමත් සිහින්ව කපාගන්න. නැතිනම් බ්ලෙන්ඩර් කරගන්න. එයට සීනි එකතුකර හොඳින් කලවම් කර ළිපේ තබා උණුකර ගන්න. ළිපෙන් බා එනසාල් කුඩු ස්වල්පයක් ඉසින්න. හොඳින් කලවම් කර අවසානයේ බෝතලයකට දමා ඇසුරුම්කර ගන්න.

 

ගස්ලබු ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉදුණ ගස්ලබු ග්‍රෑම් 500ක පමණ ගෙඩියක්

සීනි ග්‍රෑම් 500ක්

ලුණු තේ හැඳි 1/2ක්

 

සාදන ක්‍රමය

පළමුව ගස්ලබු ගෙඩියේ ලෙලි සහ ඇට ඉවත්කර එය කෑලි කපා බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු භාජනයකට දමා එයට සීනි සහ රස පදමට ලුණු එකතුකර හොඳින් උණුකර ගන්න. තලපයක් සේ සෑදුණු පසුව ළිපෙන් බා ගන්න. දැන් භාජනයක අසුරා ගැනීමෙන් කල්තබා ගත හැකියි.

 

 

ස්ටෝබෙරි ජෑම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

ස්ටෝබෙරි ග්‍රෑම් 500ක්

සීනි ග්‍රෑම් 400ක්

ලුණු තේ හැඳි 1/2ක්

 

සාදන ක්‍රමය

ස්ටෝබෙරි ගෙඩි ටික සෝදා පොඩියට කපා ගන්න. (බ්ලෙන්ඩර් කරන්න එපා) එය භාජනයකට දමා සීනි, අවශ්‍ය පරිදි ලුණු එකතුකර ගන්න. මිශ්‍රණය හොඳින් කලවම්කර ළිප තබා තම්බා ගන්න. මෙය විනාඩි 30ක් පමණ මෙලෙස උණුකර ගත යුතුයි. ඉන්පසුව ළිපෙන් බා බෝතලයක අසුරා තබා ගන්න.

 

 

දිවුල් ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු දිවුල් ගෙඩි 2, 3ක් (ග්‍රෑම් 500ක් පමණ)

සීනි ග්‍රෑම් 500ක්

ලුණු කුඩු තේ හැදි 1ක්

වතුර කෝප්ප 2ක්

සුවඳ කුඩු තේ හැඳි 1/2ක් (එනසාල්)

 

සාදන ක්‍රමය

පළමුව දිවුල් ගෙඩිවල මද සූරාගෙන එයට වතුර සහ සීනි එකතුකර බ්ලෙන්ඩර්කර ගන්න. මේ සමඟම පදමට ලුණු ද එකතුකර ගන්න. දැන් ළිප මත තබා හොඳින් උණුකර ගන්න. මිශ්‍රණය හොඳින් ඝන වූ පසුව ළිපෙන් බා එනසාල් කුඩු ස්වල්පයක් එකතුකර බෝතලයක අසුරා ගන්න.

 

 

පේර ජෑම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

පේර ග්‍රෑම් 500ක් (හොඳින් ඉදුණු ගෙඩි)

සීනි ග්‍රෑම් 500ක්

වතුර කෝප්ප 2 1/2ක්

දෙහි ඉස්ම කෝප්ප 1/2ක්

 

සාදන ක්‍රමය

පළමුව පේර ගෙඩි සියල්ල කුඩා කැබැලිවලට කපාගන්න. ඉන්පසුව එයට වතුර

කෝප්ප 2ක් දමා හොඳින් තම්බා ගන්න. එලෙස තම්බාගත් පේර ටික හොඳින් හැන්දකින් පොඩිකර ගන්න. එය පෙරා එහි වතුර ටික පමණක් අරගෙන එයට සීනි එකතුකර ගන්න. එය හොඳින් ළිපේ තබා ඝන වනතුරු උණුකර ගන්න. එයට දෙහි ඉස්ම එකතුකර මිශ්‍රණය හොඳින් තලපයක් වන තෙක් උණුකර ගන්න. දැන් ළිපෙන් බා බෝතලයක අසුරා ගන්න.

 

 

මාමලේඩ් ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

ලෙමන් ගෙඩි 3 - 4ක් (ග්‍රෑම් 300ක්)

සීනි ග්‍රෑම් 500ක්

වතුර කෝප්ප 2ක්

සුවඳ කුඩු තේ හැඳි 1/2ක් (එනසාල්)

ලුණු තේ හැඳි 1/2ක්

 

සාදන ක්‍රමය

ලෙමන් ගෙඩි ටික ගෙන ශුද්ධකර කුඩා කැබැලිවලට කපාගන්න. ඉන්පසුව එයට වතුර කෝප්ප 2ක් දමා හොඳින් තම්බා ගන්න. එයට එනසාල් කුඩු ස්වල්පයක් සහ ලුණු කුඩු එකතුකර ඒ වතුර ටික හිඳෙනතුරු තම්බා ගන්න. ඉන්පසුව එයට සීනි ග්‍රෑම් 500ක් එකතුකර නැවතත් හොඳින් තැම්බෙන්නට හරින්න. හොඳින් ඝන වී තලපයක් ලෙස සෑදුණ පසු ළිපෙන් බා බෝතලයක අසුරා ගන්න.

 

 

ඇපල් ජෑම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඇපල් ග්‍රෑම් 500ක්

සීනි ග්‍රෑම් 400ක්

ලුණු තේ හැඳි 1/4ක්

 

සාදන ක්‍රමය

ඔබ මේ සඳහා රතු ඇපල් තෝරා ගන්නේ නම් වඩාත් සුදුසුය. පළමුව ඇපල්වල පොතු ඉවත්කර සිහින්ව කපාගන්න. එය විනාඩි 20ක් පමණ ළිපේ තබා තම්බා ගන්න. ඉන්පසුව එය හොඳින් නිවෙන්නට හැර භාජනයකට දමා හැන්දකින් පොඩිකර ගන්න. දැන් එයට සීනි ටික එකතුකර නැවත ළිපේ තබා තලපයක් වන සේ හැඳි ගා ගන්න. රස අනුව ලුණු එකතු කරන්න. දැන් හොඳින් උකු වූ මෙම මිශ්‍රණය ළිපෙන් බා ගන්න. කැමැති නම් රතු පැහැති කලරින් ස්වල්පයක් මිශ්‍රකර ගන්න. දැන් බෝතලයකට අසුරා ගත හැකියි.