කොස්වලින් හරි අපූරු කෑම

ආහාර අර්බුදයට විසඳුම් සොයමු
ජුනි 13, 2022

 

කොස් එහෙමත් නැතිනම් බත් ගස කියලා අප හැමදාමත් හඳුන්වන්නේ මිල කළ නො හැකි ශාකයකටයි. කුසගින්නේ පෙළෙන්නන්ගේ සා ගින්දර නිවන කොස් ගස මේ කාලයේ නැවතත් කරළියට ඇවිත්. ඒ අපි පත්ව ඇති ආහාර අර්බුදයෙන් මිදීමට විසඳුමක් ලෙසයි.

කොස් ගහේ සෑම කොටසක් ම අපිට ප්‍රයෝජනවත් ය. එය අවම වශයෙන් ලෙඩ රෝග 32 ට ගුණ දෙන ශාකයකි. එහෙත් අප කොස් ගසෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නවා ද? ඔබේ වත්තේ තියෙන කොස් ගහේ කොස් වාරේට හැමදාම කොස් වැඩි ප්‍රමාණයක් නාස්ති වෙනවා නේද? නිකමට කල්පනා කරලා බලන්න. මොනතරම් ප්‍රමාණයක් අපතේ යනවා ද කියලා. මේකට හේතුව කොස්වලින් විවිධ කෑම වර්ග සැකසීමට ඇති නො දන්නා කමයි. කොස් උයනවා, තම්බනවා, මලවනවා විතරයි. ඊට අමතරව කොස්වලින් වෙනත් කෑම හදන්න බැරි ද?

එහෙම හිතපු නිට්ටඹුවේ පදිංචි සූපවේදිනියක් වූ දිවානි වැලිතරගේ කළ අත්හදා බැලීම් කිහිපයකි මේ. ඇගේ එම ආහාර වට්ටෝරු බෙහෙවින්ම සාර්ථක වී ඇත. ටිකක් වෙනස් විදියට හිතුවොත් අපිට කොච්චර නම් අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් ද කියලා ඇගේ මේ ආහාර වට්ටෝරු ඔබට කියාවි.

 

උපදෙස් හා ඡායාරූප

සූපවේදිනී

දිවානි වැලිතරගේ

 

 

කොස් ඩෙවල්

 

තීරු කපා බැදගත් කොස් ග්‍රෑම් 250ක්

තරමක කැබලි කපාගත් තක්කාලි ගෙඩි 1ක්

කපාගත් මාළුමිරිස් කරලක්

කෑලි කපාගත් ලීක්ස් ස්වල්පයක් (සුදු පාට කොටස)

කපාගත් ලොකු ලූනු ගෙඩියක්

තළාගත් ඉඟුරු, සුදු ලූනු තේ හැඳි 1ක්

සීනි තේ හැඳි 1/2ක්

කෑලි මිරිස් තේ හැඳි 2ක්

කහ තේ හැඳි 1/4ක්

තක්කාලි සෝස් මේස හැඳි 1ක්

ලුණු රස අනුව

තෙල් මේස හැඳි 1ක්

 

 

 

භාජනයක් ළිප තබා එයට තෙල් එක්කර රත්වෙන්නට හරින්න. එයට ඉඟුරු, සුදුලූනු සහ ලූනු එක්කර තෙම්පරාදු කරන්න. ඉන්පසු මාළුමිරිස්, තක්කාලි සහ ලීක්ස් එක්කර බැදෙන්නට හරින්න. කෑලි මිරිස්, කහ, ලුණු, සීනි සහ තක්කාලි සෝස් එක්කර හොඳින් මිශ්‍රකර එයට බැදගත් කොස් එක්කරන්න. එය හොඳට කලවම් කරමින් මිනිත්තුවක් පමණ පිසගන්න.

 

 

කොස් කොත්තු

 

 

සිහින්ව දිග අතට තීරු කපා බෙරි නො වෙන ලෙස තම්බාගත්

කොස් මදුළු

සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස්, මාළුමිරිස්

සිහින්ව ලියාගත් ලූනු, සුදු ලූනු

කුකුළු මස් හෝ මාළු

කෑලි මිරිස්

ගම්මිරිස් කුඩු

ලුණු රස අනුව

බිත්තරයක්

තෙල් ස්වල්පයක්

 

 

බඳුනක් ළිප තබා තෙල් දමා රත්වෙන්නට හැර ලූනු, සුදු ලූනු දමා මඳක් බැදගන්න. ඉන්පසු එයට කැරට්, මාළුමිරිස් දමා තෙම්පරාදු වෙන්නට හැර කුකුළු මස් හෝ මාළු එකතුකර බැදගන්න. එයට ලුණු , කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එකතුකර හොඳට කලවම් කරන්න. ඉන්පසු බිත්තරය එම මිශ්‍රණයට එකතු කරන්න. එය ස්ක්‍රැම්බල් කර ලීක්ස් සහ කොස් එකතුකර හොඳින් මිශ්‍රකර විනාඩි කිහිපයක් කලවම් කර කෑමට ගන්න.

 

කොස්වලින් රස කැවිල්ලක්

 

පොඩියට කපාගත් කොස් කෝප්ප 2ක්

හාල් කෝප්ප 1ක් ( පැයක් පොඟවාගත්)

හකුරු කෝප්ප 1/2ක්

 

 

ඉහත ද්‍රව්‍ය සියල්ලම වතුර ස්වල්පයක් දමා පේස්ට් එකක් වෙනතුරු අඹරාගන්න. බඳුනක් ළිප තබා ගැඹුරු තෙලේ බදින්න. අවශ්‍ය පමණ තෙල් දමා රත්කරන්න. එයට මිශ්‍රණයෙන් තේ හැන්දක ප්‍රමාණයක් බැගින් තෙලට දමා රන්වන් පැහැ වෙනතෙක් බැදගන්න.

 

කොස් වණ්ඩු

 

හොඳින් පැසුණු කොස් මදුළු

බ්ලෙන්ඩ් කර සාදාගත් කොස්

පල්ප් කෝප්ප 1ක්

හාල් පිටි කෝප්ප 1ක්

ග්‍රේට් කරගත් හකුරු කෝප්ප

1/2ක්

පොල් කිරි අවශ්‍ය පමණ

ඊස්ට් තේ හැඳි 1ක්

ලුණු රස අනුව

 

 

පොල් කිරි හැර ඉතිරි ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු පොල් කිරි ටිකෙන් ටික දමමින් තරමක් උකු මිශ්‍රණයක් සාදා පැය දෙකක් පිපෙන්නට හැර කැන්ද කොළ එළාගත් කප්වලට දමා හුමාලයෙන් තම්බාගන්න.