පොඩිත්තන්ට කටට රසට පෝෂණීය උදේ කෑම

පෙබරවාරි 6, 2023

 

දරුවන්ගේ පෝෂණය ගැන දැන් වෙනදාටත් වඩා වැඩියෙන් හිතන්න වෙලා. අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසෙන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වා ගැනීම මවගේ වගකීමක්. ඒ නිසා පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර හැකි සෑම විටෙකම දරුවන්ට ලබා දීම වැදගත්.

 

පාසල් යන දරුවන්ගේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වන ශක්තිය ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු පෝෂ්‍ය ගුණයෙන් පිරි මේ ආහාර වට්ටෝරු ඔබට වැදගත් වේවි. මේ ආහාර හැකි අයුරින් සකසා දීමෙන් දරුවන්ගේ සෞඛ්‍ය රැක ගැනීමටත් ඔබට පුළුවන්. දරුවන්ට ආහාර සැකසීමේදී පෝෂ්‍ය ගුණය මෙන්ම ආහාරයේ රසය, නෙත් පිනවන පෙනුම ද ඉතාමත් වැදගත්. මේ නිසා මවක ලෙස දරුවා කැමැති ලෙසින් ආහාර සැකසීමට තරම් ඔබ උපක්‍රමශීලි විය යුතුයි.

පැණි කිරිබත්

කිරිබත් කන්න කැමැති පොඩ්ඩන්ට මෙන්ම අකැමැති පොඩ්ඩන්ටත් රසවත් ලෙස සැකසූ මේ කිරිබත හොඳින් ගැළපේවි. රසය මෙන්ම ගුණයෙන් ද පිරිපුන් මේ පෝෂණීය කිරිබත දරුවාගේ උදෑසන ආහාරය සඳහා පහත දැක්වෙන ආකාරයෙන් සකසා ගත හැකියි.

 

සුදු කැකුළු හාල් ග්‍රෑම් 300ක්

කිතුල් හකුරු ග්‍රෑම් 125ක්

උකු පොල්කිරි අඬු කෝප්ප 2ක්

රටඉඳි ගෙඩි 10ක්

වියළි මිදි ස්වල්පයක්

කඩල ග්‍රෑම් 50ක්

ඇඹුල් කෙසෙල් ගෙඩි 2ක්

කජු ස්වල්පයක් (තිබේ නම්)

රස අනුව ලුණු

 

 

පළමුවෙන්ම හාල් ටික හොඳින් සෝදා දියකිරි මඳක් වැඩියෙන් දමා අවශ්‍ය පමණට ලුණු එකතුකර බත් එක බෙරි බත් ලෙසට පිසගන්න. කඩල ටික ද හොඳින් තම්බා ගන්න.

සිහින්ව ග්‍රේට් කරගත් හකුරුවලට පොල්කිරි දමා හොඳින් දියකර ගන්න. අනතුරුව හකුරු මිශ්‍ර පොල්කිරි බත් එකට දමා හොඳින් මිශ්‍ර කරන්න.

රටඉඳිවල ඇට ඉවත්කර තරමක් ලොකු කැබැලිවලට කපා ගන්න. කෙසෙල් ගෙඩි ද කැබැලිවලට කපා ගන්න. පසුව කපා ගත් රටඉඳි, කෙසෙල්, වියළි මිදි, තම්බාගත් කඩල යන සියල්ල බත් එකට දමා හොඳින් මිශ්‍ර කරන්න. කිරි හිඳෙන තෙක් හොඳින් කූරු ගාමින් කිරිබත් එක පිසගන්න. අනතුරුව පියන වසා මඳ ගින්දරේ විනාඩි පහක් තබන්න. අවසානයට සිහින්ව කැබැලිකරගත් කජු එකතුකර ගන්න.

ලුණු රස බලා අවශ්‍ය නම් ලුණු එකතු කරගන්න. ළිපෙන් ඉවතට ගත් කිරිබත ඔබ කැමැති හැඩයකට සකසා ගන්න.

පැණි රසයෙන් යුතු මේ කිරිබතට ඔබේ දරුවන් වැඩි කැමැත්තක් දක්වනවාට කිසිම සැකයක් නැහැ.

 

-------------------------

රටඉඳි රොටී

කුරහන් රොටී පෝෂ්‍ය ගුණයෙන් පිරි ආහාරයක් බව ඔබ දන්නවා. එයට රටඉඳි එකතු කිරීමෙන් රොටියේ රස මෙන්ම පෝෂණීය බවද වැඩි වේ. මේ කුරහන් රොටී කන්න ඔබේ දරුවන් කිසිම අකැමැත්තක් නොදක්වාවි. රසයෙන් පිරි මේ කුරහන් රොටි ඔබේ දරුවන්ටත් සකසා දෙන්න.

 

 

කුරහන් කෝප්පයක්

රටඉඳි ග්‍රෑම් 125ක්

පමණ ගා ගත් පොල්

ස්වල්පයක්

තල ඇට ස්වල්පයක්

ලුණු කුඩු ස්වල්පයක්

 

 

පළමුවෙන්ම රටඉඳි වැසෙන ප්‍රමාණයට උණුවතුර ටිකක් දමා පෙඟෙන්නට තබන්න. රටඉඳි හොඳින් නිවුණ පසුව ඇට සහ නැටි ඉවත්කර එහි ඇති වතුරේම හොඳින් දියකර ගන්න. (මඳක් කැබැලි ඉතිරිවන ලෙසට)

ඉන්පසුව කුරහන් කෝප්පයකට ලොකු බඳුනකට දමා එයට දියකර ගත් රටඉඳි යුෂ, පොල්, තල ඇට ස්වල්පයක් සහ අවශ්‍ය පමණට ලුණු එකතු කරන්න. පසුව සියල්ල හොඳින් මිශ්‍ර කරමින් හා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමමින් පිටි මිශ්‍රණය අනා ගන්න.

දැන් අනාගත් රොටී මිශ්‍රණයෙන් බෝල සාදා කෙසෙල් කොළයක අවශ්‍ය හැඩයට තුනී කරගන්න. රොටිය මත හොඳින් වතුර ආලේප කරන්න. අනතුරුව රොටී තැටියක් ළිප තබා රොටිය පුලුස්සා ගන්න. (මෙම රොටිය දෙපැත්ත දමා මඳක් පුලුස්සා ගැනීම ප්‍රමාණවත් වේ. වෙනත් රොටී මෙන් වැඩි වේලාවක් පුලුස්සා ගැනීමට අවශ්‍ය නැත.)

මේ රොටී කෙසෙල් සමඟ වුවද ආහාරයට ගත හැකියි.

 

--------------------------------

කව්පි කඩල මසාලා

ධාන්‍ය වර්ග ක්‍රියාශීලි දරුවන්ට ශක්තිය දෙන්න සුදුසුම ආහාරයක්. ඒත් බොහොමයක් දරුවන් තැම්බූ ධාන්‍ය ආහාරයට ගන්න අකැමැත්තක් දක්වනවා. එවැනි විටෙක මේ කව්පි මිශ්‍ර කඩල තෙම්පරාදුව දරුවන්ගේ ආහාර රුචිය වඩවන උදෑසන ආහාරයක් වනවාට කිසිදු සැකයක් නැහැ.

 

 

කඩල ග්‍රෑම් 250ක්

රතු කවුපි ග්‍රෑම් 50ක්

බී ලූනු ගෙඩියක්

සුදු ලූනු බික් 3ක් පමණ

කැරට් අලයක්

ලීක්ස් කොළ කිහිපයක්

ගලවා ගත් පොල් කැබැලි කිහිපයක්

කරපිංචා ඉති 2ක්

කෑලි මිරිස් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

අබ ඇට ස්වල්පයක්

පොල්තෙල් ස්වල්පයක්

 

 

පළමුවෙන් ම කඩල සහ කව්පි කලින් දිනයේ වතුර දමා පෙඟෙන්නට තබන්න. දැන් මෙය හොඳින් තම්බා අවශ්‍ය පමණට ලුණු එකතු කරගන්න. (ප්‍රෙෂර් කුකර් එකේ නම් විසිල් 4ක් පමණ වේලාවක් තැම්බීම ප්‍රමාණවත් වේ)

පසුව ලොකු ලූනු කුඩා කොටුවලට කපා ගන්න. කැරට් සිහින්ව ලියා ගන්න. නැතිනම් ග්‍රේට් කරගන්න. ලීක්ස් ද සිහින්ව කපා ගන්න. පොල් කැබැලි ටික ද කුරුට්ට ඉවත්කර කැබැලිවලට කපා ගන්න.

පසුව තෙල් ස්වල්පයක් ළිප තබා එය රත් වූ පසුව අබ ඇට ස්වල්පයක් දමා පුපුරවා ගන්න. එයට සිහින්ව ලියා ගත් සුදු ලූනු එකතුකර මඳක් බැදුණු පසුව කරපිංචා, කැරට්, ලොකු ලූනු, පොල් කැබැලි ආදිය එකතුකර ගන්න. දැන් අවශ්‍ය පමණට කෑලි මිරිස් එකතු කරගන්න. සැරගතිය අවශ්‍ය ප්‍රමාණයට මිරිස් ප්‍රමාණය අඩු වැඩි කරගත හැකියි.

පසුව තම්බාගත් කඩල සහ කව්පි ටික සාදා ගත් මිශ්‍රණයට එකතුකර ගන්න. බිත්තරයක් හෝ කූනිස්සන් ස්වල්පයක් එකතුකර ගැනීමෙන් මෙය වඩාත් රසවත් කරගත හැකියි. එමෙන්ම පෝෂ්‍ය ගුණයද තවත් වැඩිකර ගත හැකියි.

 

-----------------------------

රේන්බෝ පිට්ටු සහ කතුරුමුරුංගා කිරිහොදි

වර්ණ, අපේ නෙත් පිනවා සිත ද පිනවීමට සමත්. කුඩා දරුවන් වර්ණවලට දක්වන්නේ වැඩි කැමැත්තක්. ඒනිසා පිට්ටු කන්න අකැමැති දරුවෙක් වුවත් මේ රේන්බෝ පිට්ටුවල රසබලන්න වැඩි කැමැත්තක් දක්වාවි.

 

හාල් පිටි කෝප්ප 3ක්

ගාගත් පොල් කෝප්ප 2ක්

ලුණු ස්වල්පයක්

නිවිති කොළ ස්වල්පයක්

කුඩා බීට් අලයක්

කුඩා කැරට් අලයක්

නිල් කටරොළු මල් 10ක්

 

පිට්ටුව වර්ණ ගැන්වීමට අවශ්‍ය වර්ණ සකසා ගනිමු:

* කොළ වර්ණය සඳහා පළමුවෙන් ම නිවිති කොළ ටික හොඳින් බ්ලෙන්ඩ්කර පෙරා යුෂ ටික බඳුනකට දමා ගන්න.

* රතු වර්ණය සඳහා සූරා පිරිසුදු කරගත් බීට් අලය කැබැලිවලට කපා ගන්න. එම කැබැලි බ්ලෙන්ඩරයට දමා පසුව යුෂ පෙරා වෙන්කර ගන්න.

* කහ වර්ණය සඳහා පිරිසුදු කරගත් කැරට් අලය කැබැලිවලට කපා බ්ලෙන්ඩ් කරන්න. පසුව එහි යුෂ පෙරා බඳුනකට දමා ගන්න.

* නිල් වර්ණය ලබා ගැනීමට නිල් කටරොළු මල්වලට උණු ජලය ස්වල්පයක් දමා මඳ වේලාවක් වසා තබන්න. පසුව මෙම යුෂ පෙරා ගන්න.

 

පිට්ටුව හදමු:

 

දැන් හාල් පිටි ටිකට පොල් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න. පසුව පිටි කොටස් 4කට බෙදා බඳුන් 4කට දමන්න. දැන් ඉන් එක් බඳුනකට නිවිති යුෂ ස්වල්පය බැගින් දමමින් ඇඟිලිවලින් මිශ්‍ර කරමින් පිට්ටු සඳහා පිටි කැටකර ගන්න. මේ ආකාරයට ම කැරට් යුෂ, බීට් යුෂ සහ නිල් කටරොළු යුෂ යොදා ගනිමින් වෙන වෙනම වර්ණවලින් පිට්ටුවට පිටි කැටකර ගන්න.

පසුව සාදා ගත් වර්ණවලින් ටික ටික පිට්ටු බම්බුවකට දමා වාෂ්පයෙන් පිට්ටුව තම්බා ගන්න. මේ පිටි දමන විට වැඩි අලංකාරයක් එන ලෙස වර්ණ සංයෝජනය කරගැනීමට ඔබට පුළුවන්. මෙම සෑම වර්ණයක් ම ස්වාභාවික ද්‍රව්‍යවලින් සකසා ඇති බැවින් එක් එක් ආහාර ද්‍රව්‍යවල ඇති පෝෂ්‍ය කොටස් ද ඍජුවම ආහාරයට එකතු වේ. එමනිසා මෙය පෝෂ්‍ය ගුණයෙන් ද ඉතාමත් ඉහළ ආහාරයකි.

මේ සඳහා වර්ණ දෙකක්, තුනක් වුවද භාවිත කළ හැකියි. එමෙන්ම කොළ වර්ණය සඳහා මුරුංගා කොළ, මුකුණුවැන්න, ගොටුකොළ, කරපිංචා, වැල්පෙනෙල, රම්පෙ ආදී පෝෂණීය ගුණ සපිරි පලා වර්ග යොදා ගත හැකියි. පලා වර්ග ආහාරයට ගැනීමට අකැමැති දරුවන්ට පලා කොළවල ඇති පෝෂ්‍ය කොටස් ලබා දීමටත් මෙය ඔබට හොඳ විධි ක්‍රමයක්.

 

කතුරුමුරුංගා කිරිහොදි

 

සිරුර සිසිල් කරන කතුරුමුරුංගා කොළ යොදා සකසන කිරිහොදි ඉතාමත් රසවත්. පිට්ටු ආහාරයට ගැනීම සඳහා කතුරුමුරුංගා කිරිහොදි සැකසීමෙන් පිට්ටුවල රසය මෙන්ම පෝෂ්‍ය ගුණය ද වැඩිවේ.

 

මේ සඳහා:

උකු පොල් කිරි අඬු කෝප්ප 2ක්

කතුරුමුරුංගා ඉති 5-6ක්

අමු මිරිස් කරලක්

රතු ලූනු ගෙඩි5-6ක්

කුඩා තක්කාලි ගෙඩියක්

කරපිංචා ඉත්තක්

උම්බලකඩ ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

මිරිස් කුඩු ස්වල්පයක්

 

දැන් කිරිහොද්ද හදමු:

 

පළමුවෙන් ම පොල් කිරි ටික බඳුනකට දමා එයට සිහින්ව ලියාගත් රතු ලූනු, අමු මිරිස්, කරපිංචා, උම්බලකඩ සහ කොටු කපාගත් තක්කාලි ගෙඩිය එකතු කරන්න. දැන් කහ ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක් එයට එකතු කරන්න. අවශ්‍ය පමණට ලුණු එකතුකර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. පසුව මඳ ගින්නේ තබා හොඳින් හැඳි ගාමින් කිරි හොද්ද උතුරවා ගන්න.

ඉන්පසුව සෝදා ගත් කතුරුමුරුංගා කොළ ටික ඉත්තෙන් සූරා හොද්දට එකතු කරගන්න. (හොද්දෙහි ඇති උණුසුමෙන් කතුරුමුරුංගා කොළ තැම්බීම ප්‍රමාණවත් වේ.)

 

ඉදිරිපත් කිරීම - සූපවේදිනී චන්දිමා චන්ද්‍රසේකර