උපන්දිනය සමරන්නට ලිට්ල් පෝනි කේක් එකක්

මාර්තු 6, 2023

 

දියණිය හෝ පුතණුවන් වේවා තමන්ගේ ආදරණීය දරුවන්ගේ සෑම උපන් දිනයක්ම මවුපියන්ට හරිම වැදගත්. ඒ නිසාම තමන්ට හැකි ආකාරයට, තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් එය ලස්සන සැමරුම් දිනයක් කරගන්නටයි සැමවිටම උනන්දු වන්නේ,

 

විශේෂයෙන්ම දරුවා වඩාත් ප්‍රියකරන අන්දමේ කේක් එකක් තමන්ගේ අතින්ම සකසා දෙන්නට බොහොමයක් මවුවරුන් හරිම කැමැතියි. හැබැයි උනන්දුව, කැපවීම තිබෙනවා නම් එය එතරම් අමාරු කටයුත්තකුත් නෙවෙයි.

බලන්න පුංචි දූලා ගොඩාක් ආසා කරන ලිට්ල් පෝනියාව තේමාව කරගත් මේ කේක් නිර්මාණය කොයිතරම් ලස්සන ද කියලා. ග්‍රෑම් 500 ප්‍රමාණයේ කේක් තුනක් සහ බටර් අයිසිං උපයෝගී කරගෙන ඉතාමත් අලංකාරව මෙය සකසා ගත හැකියි.

මෙහිදී පළමුව කේක් ටික සාදාගත යුතුයි.

ඒ සඳහා,

 

අවශ්‍ය ද්‍රව්‍ය :

*බටර් හෝ මාගරින් ග්‍රෑම් 375ක්

*සීනි ග්‍රෑම්375ක්

*පිටි (කේක් පිටි) ග්‍රෑම්350ක්

*බිත්තර 8ක්

*බේකින් පවුඩර් තේ හැඳි 3ක්

*කිරි පිටි තේ හැඳි 3ක්

*වැනිලා තේ හැඳි 3ක්

*කොළ, නිල් , රෝස, දම්, කහ වර්ණවලින් කලරින් ස්වල්පයක්

 

සාදන්නේ මෙහෙමයි

මුලින්ම බටර් හා සීනි බඳුනකට දමා සීනි කැට දියවනතුරු හොඳින් බීට් කරගන්න. ඉන්පසු එම මිශ්‍රණයට බිත්තර එකින් එක එකතු කරමින් හොඳින් බීටි කරන්න. එයට වැනිලා තේ හැන්දක් ද එකතු කරගන්න. සීනි කැට සම්පුර්ණයෙන්ම දිය වනතුරු හොඳින් බීට් කරගන්න.

ඉන්පසු කේක් පිටි, බේකිං පවුඩර් සහ කිරිපිටි හොඳින් හලාගන්න. දැන් මේ පිටි මිශ්‍රණය සාදාගත් කේක් මිශ්‍රණයට ටික ටික එකතු කරමින් හොඳින් බීට් කරගන්න. අනතුරුව ඉතිරි වැනිලා තේ හැඳි දෙක ද කේක් මිශ්‍රණය එකතුකර ක්‍රීම් එකක් ආකාරයට හොඳින් බීට් කරගන්න.

ග්‍රෑම් 500 ප්‍රමාණයේ කේක් තැටි 3ක් ගෙන යටට තෙල් කඩදාසි දමා සකසා ගන්න. දැන් සාදාගත් කේක් මිශ්‍රණය භාජන 3කට ග්‍රෑම් 500 බැගින් වෙන් කරගන්න. දැන් මේ භාජනවලට කොළ පාට, නිල් පාට සහ රෝස පාට කලරින් දමා වෙන වෙනම මිශ්‍රණ තුන සාදාගන්න. සකසා ගත් මේ කේක් තැටිවලට දමා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 05 - 10ක් පමණ රත්කර ගත් අවන් එකකින් විනාඩි 35 - 40 පමණ බේක් කරගන්න. (අවන් මාදිලි අනුව විවිධ වේලාවන් වෙනස් වේ.)

කේක් ටික බේක් වූ පසුව අවන් එකෙන් පිටතට ගෙන හොඳින් නිවෙන්නට හරින්න.

දැන් අපි කේක් ටික අයිසිං කරගනිමු.

අයිසිං සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

*බටර් ග්‍රෑම් 375ක්

*අයිසිං සීනි කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 200 - කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 500ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

*වැනිලා තේ හැඳි 2 1 /2ක්

අයිසිං සාදගන්නා ආකාරය

බටර් එක ශීතකරණයෙන් ගෙන විනාඩි 5 - 10 අතර වේලාවක් එළිමහනේ තබා බීට් කරගන්න. අනතුරුව හලාගත් අයිසිං සීනි ටික ටික එයට එකතු කරමින් බීට් කරන්න. වැනිලා ටික ද එකතුකර බීට්කර අයිසිං මිශ්‍රණය සකසා ගන්න.

පළමුව කොළ පාට කේක් එක ගෙන එයට අයිසිං තවරා ඊට උඩින් නිල්පාට කේක් එක තබා එයට ද අයිසිං තවරා රෝස පාට කේක් එක ඊටත් උඩින් තබා සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු භාජන තුනකට වෙන වෙනම අයිසිං දමා ඒවාට කොළ, නිල් සහ රෝස කලරින් එකතු කරගන්න. මුලින්ම කොළ පාට අයිසිං රවුමක් කේක් එක වටේ යවන්න. ඊට උඩින් නිල් පාට අයිසිං රවුමක් කේක් එක වටේ පයිප් කරගන්න. උඩින්ම වටේ කොටස රෝස පාටින් පයිප් කරගන්න. දැන් ස්ක්‍රේපර් එකක් හෝ ෆැලට් නයිෆ් එකක් ආධාරයෙන් රූපයේ පෙනෙන ආකාරයට අයිසිං ටික තවරාගන්න.

කේක් එකේ උඩ කොටස දම් පාට අයිසිංවලින් නො. 20 නොසල් එක භාවිත කරමින් පයිප් කරගන්න. කේක් එකේ යට බෝඩරය සඳහා නො. 18 නොසල් එක භාවිතයෙන් මල් ආකාරයට කහ පැහැති අයිසිංවලින් පයිප් කරගන්න. කේක් එක උඩට පින්තූරයේ පෙනෙන ආකාරයට රූප තබා ඔබේ කැමැත්ත පරිදි අලංකාර කරගත හැකියි. ඕනෑම වයසක දරුවකුට මෙම කේක් එක සාදා දිය හැකි අතර අවශ්‍ය පරිද්දෙන් වර්ණ වෙනස් කරමින් සකසා ගන්න.

ඔබේ නිර්මාණශීලි හැකියාව පරිදි අලංකාර කේක් එකක් නිර්මාණය කරගත හැකියි.

 

බටර් ඩ්‍රීම් කේක්ස් හී කේක් නිර්මාණ ශිල්පිනි

තෙයාගි සධනිකා ගමගේ