හැඩට වැඩට ඉන්න කැමැති ඔබ වෙනුවෙනි මේ තිළිණය

මාර්තු 13, 2023

 

හැඩට වැඩට අඳින්න පලඳින්න, ලස්සනට ඉන්න කාන්තා අපි හැමෝම හරිම කැමතියි. ඒනිසාම ඕනෑම කාන්තාවක් රූපලාවණ්‍ය පිළිබඳත් උනන්දුයි. ඒ වගේම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරත වී සිටින වැඩි දෙනෙක් කාන්තාවන්.

ඉතින් රූපලාවණ්‍ය ගැන ගොඩක් උනන්දු, ඒ ක්ෂේත්‍රයේ නියැලී සිටින කෙනෙක්ගෙ උපන්දිනයට ගැළපෙන කේක් එකක් තමයි මේ. ආදරණීය මවගේ, දියණියගේ, සොහොයුරියගේ එහෙමත් නැත්නම් ළෙන්ගතු මිතුරියට ඔබේ අතින්ම සකසා ගත් මේ කේක් එක අමතක නොවන උපන්දින තිළිණයක් වේවි.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

* ග්‍රෑම් 750 ප්‍රමාණයේ රවුම් තැටියක

සාදාගත් රිබන් කේක් දෙකක්

 

* බටර් අයිසිං

* ෆොන්ඩන්ට් අයිසිං

* ගෝල්ඩ් එඩිබල් ඩස්ට්

* අවශ්‍ය වර්ණක

* රිබන් යාර දෙකක්

 

සාදන ආකාරය

 

* පළමුව ග්‍රෑම් 750 ප්‍රමාණයේ රවුම් තැටියක කේක් දෙකක් සාදා නිවෙන්නට තබන්න.

* කේක් හොඳින් නිවුණු පසුව එහි බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න.

* අනතුරුව වටේටත් අයිසිං ක‍රගන්න.

* දැන් ෆොන්ඩන්ට් අයිසිං ටික තුනීකර කේක් එක මතට එළා එය හොඳින් ආවරණය කරගන්න.

* රෝස සහ සුදු පැහැ වර්ණක මිශ්‍රකර සකසාගත් ෆොන්ඩන්ට් අයිසිං තුනීකර තීරු කපාගන්න.

* ඉන්පසුව ඒවා මෙහි දැක්වෙන රටාවට කේක් එකේ අලවා ගන්න.

* දැන් මේක් අප් වර්ග ටික තබා කේක් එක සරසා ගත යුතුය.

* වෙළෙඳපොළේ ඇති මේක් අප් මෝල්ඩ් භාවිතයෙන් ඔබට මේවා සකසා ගත හැකිය. එසේත් නැත්නම් රූපයේ ඇති ආකාරයට වර්ණ ගලපමින් ෆොන්ඩන්ට් අයිසිං භාවිතයෙන් සාදාගන්න.

* මෙම නිර්මාණ කේක් එක මත ඇලවීම සඳහා එඩිබල් ගම් භාවිතකර ඇත. එය සාදා ගැනීමට ජලය මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍රකර ගම් එක සාදාගන්න.

* මෙහි දැක්වෙන නම් සටහන් කිරීම සඳහා කළු පාට එඩිබල් පෙන් එකක් භාවිතකර ඇත. තවත් අලංකාර කරගැනීමට ෂුගර් බෝල් වර්ණ දෙකකින් ද භාවිතකර ඇත.

* සියලුම මේක් අප් උපකරණ කේක් එකේ ඇලවූ පසු කළු පැහැති ෆොන්ඩන්ට්වලින් නම කපා කේක් බෝර්ඩ් එකේ අලවන්න. ඒ සඳහා ඔබට වෙළෙඳපොළේ ඇති විවිධ හැඩයේ කටර් භාවිත කළ හැකිය.

* ඉන්පසුව කේක් එක වටා සැටින් රිබන් එකක් රඳවන්න.

* කේක් එක උඩ වටේටත් ෆොන්ඩන්ට්වලින් රෝල් කරගත් පටියක් අලවා හැඩකර ගන්න.

 

උපදෙස් -

අප්ලන්ඩ් කේක් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක