රූපලාවණ්‍ය කලාව නිවැරැදිව හදාරන්නට හිතනවා නම්.....

දෙස් විදෙස් පිළිගත් රැකියාවක්....
නොවැම්බර් 7, 2022

 

විදෙස්ගත වන්නටත් අවස්ථාව

 

අද වන විට රැකියා වෙළෙඳපොළ වෙනස් වෙමින් පවතී. පසුගිය වසරවල ඇති වූ වසංගත තත්ත්වයෙන් පසුව ලෝකයේම ආර්ථික තත්ත්වය යම් පසුබෑමකට ලක්ව ඇත. එමනිසා රට තුළ රැකියා වෙළෙඳපොළ වෙනදාටත් වඩා පටු වී තිබේ. රැකියාවක් සොයා ගැනීම නොව, පවතින රැකියාව රැක ගැනීමට ද මහත් වෙහෙසක් ගැනීමට සිදුව ඇත.

 

එපමණක් නොව, රටේ පවතින උද්ධමන තත්ත්වය හමුවේ උපයන මුදල පවා මූලික අවශ්‍යතා නිසි පරිදි සපුරා ගැනීමටත් මදිය. මේ නිසා අමතර ආදායම් මාර්ග සොයා ගැනීමට ද සිදුව ඇත.

තවත් පිරිසක් විදෙස්ගත වීම සඳහා උනන්දු වෙති. නමුත් විදෙස්ගත වන්නේ නම් යම් වෘත්තීය පුහුණුවක් ලබා තිබීම වැදගත් ය. එවිට විදේශයක දී වුවද ඔබට රැකියාවක් ලබා ගැනීම අපහසු නොවනු ඇත.

රැකියාවක් ලබා ගැනීම සඳහා ඔබ ලබන වෘත්තීය පුහුණුව දෙස් විදෙස් පිළිගැනීමක් සහිත එකක් වීම වැදගත් ය. ඔබගේ මුදල් වියදම් වුවද ලබා ගන්නා පුහුණුව සඳහා විදෙස් පිළිගැනීමක් නැතිනම් එය නිෂ්ප්‍රයෝජන ය. එමනිසා ඔබ යම් වෘත්තීය පුහුණුවක් යම් ආයතනයකින් ලබා ගන්නේ නම් එම ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇතිදැයි සොයා බලන්න.

රූපලාවණ්‍ය පාඨමාලා කොතෙකුත් විවිධ ආයතන හා පුද්ගලයන් විසින් සිදු කරනු ලැබුව ද එම පාඨමාලාව රජයේ පිළිගත් එකක්දැයි සොයා බැලීම ඔබගේ වගකීමකි. මෙහිදී ජාතික වෘත්තීය සුදුසුකම් 4 (NVQ4) මට්ටමේ තිබීම වඩාත් සුදුසු ය.

වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් ද ඔබට රූපලාවණ්‍ය පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා ඇත. මෙහිදී ඒ පාඨමාලාවන් නොමිලේ පැවැත්වීම සිදු කරයි. පාඨමාලාව පවත්වා අවසානයේ පොදු න්‍යායික පරීක්ෂණයකින් පසුව සහතික පත්‍ර ලබා දීම සිදු වේ.

ඇතැම් ආයතන තමන් NVQ සහතිකය ලබා දෙන බව පැවසුවත් ඒවා නිසි ලෙස ලබා දීම් සිදු කර ඇතිදැයි සොයා බලන්න. මන්ද එසේ ප්‍රචාරය කළත් ඇතැම් ආයතන එම සහතික පත්‍ර ලබා නොදීමට ද ඉඩ ඇති බැවිනි.

රජයේ වෘත්තීය පුහුණු ආයතන ලෙස ජාතික තරුණ සේවා සභාව, වෘත්තීය පුහුණු ආයතන, NITA සහ දැනට පිහිටුවා ඇති යුනිවර්සිටි කොලෙජ් මඟින් කොස්මැටලොජි ඩිප්ලෝමාව දක්වා ඉගෙන ගැනීමට හැකියාව ඇත. ඉහත සඳහන් ආයතනවල අමතර පාඨමාලා ලෙස ද ඉතා සුළු මුදලක් ගෙවා පාඨමාලා හැදෑරීමේ පහසුව ඇත.

වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් පවත්වන රූපලාවණ්‍ය පාඨමාලා සෑම දිස්ත්‍රික්කයකම ඇති ප්‍රධාන ආයතනයක් හා එයට අනුබද්ධ තවත් ආයතන කිහිපයක් ඔස්සේ පැවැත්වේ. මේ රූපලාවණ්‍ය පාඨමාලාව කොණ්ඩා සැකසුම් හා රූපලාවණ්‍ය ලෙස පාඨමාලා දෙකක් ලෙස බෙදා වෙන්කර ඇත.

එම පාඨමාලා සඳහා මාස 08ක කාලයක් වැය වන අතර න්‍යායික පුහුණුවෙන් පසුව ඔවුන් අදාළ ප්‍රදේශයේ තෝරා ගත් රූපලාවණ්‍ය ආයතනවල මාස 06ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කරනු ලබයි. ඉන්පසු පරීක්ෂණ පවත්වයි.

මේ පරීක්ෂණ සියල්ලෙන් සමත්ව සහතිකපත් ලබා ගන්නා අය රැකියා ස්ථාන කරා යොමු කරන අතර තමා කැමැති නම් ස්වයං රැකියාවක් ලෙස රූපලාවණ්‍ය ආයතනයක් පවත්වාගෙන යාමට ද හැකියාව ඇත. NVQ සහතිකය ලබා ගත් පසුව ඔබට විදෙස් රැකියාවකට වුවද යාමේ හැකියාව ඇත. මේ වන විට ඩුබායි, ඉතාලිය, මාලදිවයින වැනි රටවලට රූපලාවණ්‍ය රැකියා සඳහා විදෙස්ගත වූවන් සිටී.

බොහෝ විට මේ පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්නා කාලය හා ආකාරය පිළිබඳ මාධ්‍යවල දැන්වීම් පළ කරන අතර මේ වන විට එම දැන්වීම් ප්‍රචාරණය කිරීමට පළමුව සිසුන්ම

ඒ සඳහා ඉල්ලුම් කරන ප්‍රවණතාවක් ඇති වී තිබේ.

ඔබත් රැකියාවක් සොයන තරුණියක් හෝ තරුණයෙක් නම් ඔබ සතුව යම් කලාත්මක හැකියාවක් මෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ආසාවක්, කැමැත්තක් පවතී නම් මේ වෘත්තීය පුහුණුව ලබා ගැනීම ඔබගේ අනාගතයට ආයෝජනයක් විය හැකියි.

මේ සඳහා වැඩිදුර තොරතුරු ඔබට https://www.tvec.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. එම වෙබ් අඩවියෙන් ම ඔබට මේ පාඨමාලා සඳහා ඉල්ලුම් කිරීමට ද හැකියාව ඇත.

 

විශේෂ ස්තුතිය -

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු

අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්

කේ. ඒ. ලලිතධීර මහතාට හා

ඒ. ජී. පුෂ්පා අයිරාංගනී

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු

අධිකාරිය, ඉනාමලුව, දඹුල්ල