ඔබේ සිහිනය විදෙස් රටක පදිංචියට යාමද?

ජූලි 4, 2022

 

කාටත් ආදරෙන් දෑත් දිගු කරන සුන්දර ඉතාලිය

 ජනනී ගුරුසිංහ ඉතාලියේ පර්මා සිට ඔබට කියයි

ජනනී ගුරුසිංහ, කොළඹ නගරයේ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකාවෙන් අධ්‍යාපනය ලබා අද ඉතාලියේ ජීවත් වන කාන්තාවකි. ගිණුම් අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා සහකාර ගණකාධිකාරිනියක ලෙස සේවය කිරමින් සිටිය දී සිය සැමියා සමඟ 2010 වසරේ දී ඇය ඉතාලියේ පදිංචිය සඳහා පිටව ලොස් ඇත. තරුණී වෙතින් සූපවේදී දැනුම ඔබට නොසුරුව බෙදාදෙන ඇය ඉතාලියේ පිළිගත් සූපවේදී පාසලක අධ්‍යාපනය ලබා ඇත. අවුරුදු 11ක සිට ඉතාලියේ හිඳින ඇය ඉතාලිය පිළිබඳ මෙලෙස ඔබට කියයි.

“මම ජීවත්වෙන්නේ ඉතාලියේ පාර්මා නගරයේ තිබෙන ෆෙලිනෝ කියන ගමේ. පාර්මා නගරය හැම්, චීස්, වයිනවලින් මුළු ලෝකෙටම ප්‍රසිද්ධියි. ඔයාලා අහලා ඇති parmesan cheese ගැන. ලෝකෙම රසයි කියන පර්මෙසාන් නිෂ්පාදනය කරන්නේ අපේ ගමේ. ලෝකේටම හොද pasta දෙන Barilla factory එක තියෙන්නෙත් අපේ ගමේ. අපි අවට තක්කාලි වතු යායයි. ඒවයින් තමා සෝස් හදන්නේ. යායට බඩ ඉරිඟු, සූරියකාන්ත වතු. වගාබිම් පිරිලා. ඉතින් අපි හුස්ම අරන් ගහ කොළ එක්ක සතුටින් ජීවත්වෙනවා.

සමර් නිවාඩුව එනකම් අපි පවුලේ හතරදෙනා බලන් ඉන්නේ ගෙවතු වගාවට. පාසල් නිවාඩුව මාස තුනක්ම ලැබෙන නිසා හරවත්ව සමර් නිවාඩුව ගතකරන්න අපි සමර් වගාවට යොමුවෙනවා. සමහර එළවළු තද හිම කාලෙදිත් අපිට පරිස්සම් කරගන්න පුළුවන්. වගාවෙන් ලැබෙන ඵලදාව හිතවත් අයටත් දෙමින් බොහොම සරලව නිහතමානීව අපි දිවි ගෙවනවා. දරුවොත් මේ බසින් හොඳට ඉගෙන ගන්නවා.”

 

සුන්දර ඉතාලිය

ඉතාලිය කියන්නේ බොහොම සුන්දර මිනිස්සු ඉන්න සුන්දර රටක්. තම මව් බසට මුල්තැන දෙමින් කටයුතු කරන ඉතාලිය සාක්ෂරතාවය අතින් ඉහළ මට්ටමක සිටිනවා. ඒ වගේම යුරෝපයේ පැරණිම විශ්වවිද්‍යාලය හිමිත් ඉතාලියටයි. Bologna නගරයේ 1088 දී ආරම්භ කරන ලද Bologna විශ්වවිද්‍යාලය තමයි යුරෝපයේ පැරණිම සහ හොඳම විශ්වවිද්‍යාලය. ලෝකයේ ඉහළින්ම තිබෙන විශ්වවිද්‍යාල 500 අතර ඉතාලියේ විශ්වවිද්‍යාල 33ක්ම තියෙනවා. වැඩිම විශ්වවිද්‍යාල ප්‍රමාණයක් හිමි එක්සත් රාජධානිය සහ ජර්මනියට පසු ඉතාලියටයි හිමි වන්නේ. ඉතිං මේ අධ්‍යාපනයෙන් ජයගන්න දරුවන්ට ලෝකේ ඕනෙම රටක උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා හොඳ පිළිගැනීමක් තියෙනවා.

මව් බසට එනම් ඉතාලි බසට මුල්තැන දෙමින් රට තුළ සිටින සියලූම දරුවන්ට නොමිලේම අධ්‍යාපනය ලබාදෙන අතර ගමේ පාසල ගමේ ලියාපදිංචි හැමෝටම හිමියි. ගමේ, නගරයේ සහ දුප්පත් පොහොසත් කියලා බෙදීමක් නෑ. උසස් නිලතල දරණ සහ දානාපතියාගේ දරුවා ද සාමාන්‍ය රැකියා සහ අඩු ආදායම් ලබන සාමාන්‍ය ජනතාවගේ දරුවා ද එක පංති කාමරයේ එක ළඟ හිඳ ගනිමින් අධ්‍යාපනය ලබයි. ජාති ආගම් වර්ණ භේද කොහොමවත් නැති, උස් පහත් භේද කිසිත් නැති හැමෝටම එකම පිළිගැනීම, ගෞරවය ඇතුව දරුවන් ඉගෙන ගන්නවා.

 

අධ්‍යාපනය

ෙම් රටේ අධ්‍යාපනය කොටස් පහකි. එනම් මුල් පාසල් අවදිය, ප්‍රාථමික පාසල් අවදිය , දෙවැනි පාසල් අවදිය, උසස් පාසල් අවදිය සහ විශ්වවිද්‍යාල පාසල් අවදිය ලෙසයි.

මුල් පාසල් අවදිය වයස අවුරුදු 3-6 දක්වාත්, ප්‍රාථමික පාසල් අවදිය අවුරුදු 6-11 (ශ්‍රේණි 5ක් ඇත) දක්වාත් ය.

ඉන්පසු දෙවැනි පාසල් අවදිය අවුරුදු 12-14 (ශ්‍රේණි 3) අවුරුදු 14 වන විට විභාගයක් මඟින් උසස් අධ්‍යාපනය සඳහා දරුවන් තෝරාගනී. ඒ විභාගය සඳහා ලකුණු ලබා දෙන්නේ ලකුණු දහයෙනි. උසස් අධ්‍යාපනයට තේරීමට නම් ඒ සඳහා හැම විෂයකටම අවම ලකුණු 6 බැගින් ලබාගත යුතුයි. ලකුණු 5ක් ගත් දරුවා ඉදිරියට නොයයි. නැවතත් එම වසරේම තබයි.

අවුරුදු 15 වෙද්දී දරුවෝ උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙයි. තමන් කැමැති විෂය තෝරාගෙන අවුරුදු 5ක් උසස් අධ්‍යාපනයේ නිරතවෙන්න ඕනෙ. මෙතැනදි තෝරාගත් ප්‍රධාන විෂයට අමතරව ක්‍රීඩා, ආගම, භාෂා විෂයයන් ද ඇතුළත් වේ. එවිට විෂයයන් 10ක් පමණ උසස් අධ්‍යාපනය තුළත් දරුවෝ ඉගෙන ගනියි. උසස් අධ්‍යාපනය සාර්ථක ලෙස නිමකරන දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුවිය හැකියි. නැත්නම් රැකියා අවස්ථා ලබාගත හැකියි. විශ්වවිද්‍යාලවලට අමතරව අපේ රටේ වගේ ටෙක්නිකල් පාසල් බොහොමයක් මේ රටෙත් තියෙනවා. දරුවන් කැමැති මඟක් ආයාසයකින් තොරව නිමකර තම අනාගතය හොඳින් ගොඩ නගා ගැනීමට පුළුවනි. පසුගිය කෝවිඩ් වසංගත සමයේ ද නො කඩවා පාසල් අධ්‍යාපනය ලබාදෙන්න ඉතාලි රජය කටයුතු කළා. ඒ සඳහා පරිගණක නැති දරුවන්ට තම පාසල හා නගර සභාව මැදිහත්ව පරිගණක ලබාදුන්නා.

ඉතාලියේ ජීවත්වන අඩු ආදායම් ලබන අයට නොයෙකුත් සහන දීමනා ලැබෙනවා. කෝවිඩ් වසංගත සමයේ දී අපි දුටුවා ජනතාව වෙනුවෙන් වෙහෙසුණු ඉතාලි රජය. රැකියා අහිමි වුණු රැකියා කරගන්න බැරුව ගෙදරට කොටුවුණු හැමෝටම සහන ලබා දුන්නා.

 

සරණාගතයන් වෙනුවෙන්

අසනීප වී එක්තැන් වෙමින් කරකියා ගන්න දෙයක් නැතිවෙන කෙනකුට පවා සියලු සහන ලබා දෙනවා. මනසින් වැටෙන්න දෙන්නේ නෑ. උසස් රැකියා පහත් රැකියා කියලා භේද නෑ. බැංකුවක උසස් නිලය දරණ කෙනාත්, එම බැංකුවම ශුද්ධ පවිත්‍ර කරන්න එන කෙනාත් එකම විදියට ගෞරවයෙන් පිළිගන්නේ මහත්ම මහත්මීන් ලෙස ආමන්ත්‍රණය කරමින්, ඒකයි අපි මේ රටට මේ ඉතාලි ජාතිකයනට මෙච්චර ආදරය කරන්නේ. මේ රටට කැමැති ලෝකේ වෙන කිසිම රටක නැති මානූෂීය ගුණය ඉතාලි රටේ තියෙනවා. මුහුදු මාර්ග මඟින් ඕනේම රටකින් දේශ සීමා පහුකර මෙරටට ඇතුළු වෙන්න හදන සරණාගතයන් වෙනුවෙන් දෑත දිගුකරන එකම රට ඉතාලියයි. එම සරණාගතයන්ට කෑම බීම, ඉඳුම් හිටුම් නොමිලේ ලබා දී රැකියා සඳහා ද යොමුකරයි. මුල්ම කෝවිඩ් වසංගතය දරුණුවටම ඉතාලියට බලපාද්දි ඉතාලි ජාතිකයන් මැරි මැරි වැටෙද්දිත් බෝට්ටුවලින් ආපු සරණගාතයන් බොහොම සුහදව රට තුළට පිළිගත්තා. කොයි රටෙන් දේශ සීමා පසුකර හොරෙන් ඉතාලිය තුළට ආවත් කවදාවත් හරවලා මව් රටට ඇරියේ නැහැ. එහෙම අයට කාලෙන් කාලෙට රජයෙන් නීතියක් ගෙන අයදුම් කර ලියකියවිලි හදාගන්න පවා අවස්ථාව ලබාදෙනවා.

 

ආදායම් අඩු අයට සහන

කෑම බීම වුණත් මිනිස්සුන්ට දරන්න පුළුවන් විදියට මිල සඳහන් කරලා තියෙන්නේ. අපි හිතමු ආදායමක් නෑ හෝ ආදායම අඩුයි කියලා. එහෙම අයට සහන ලබා දෙනවා. බිල් ගෙවීම් සඳහා වසරක් පාසා බෝනස් එකක් දෙනවා. රැකියාව අහිමි වූවෙක් නම් රැකියා අහිමිය යන්න යටතේ මාස් පතා දීමනාවක් ලැබෙනවා.

ඉතාලිය කියන්නේ ජීවත්වීමේ නිදහස තියෙන, අනුන්ට ගරුකරන ඕනෙම රැයක තනියෙන් ගමනක් ගිහින් එන්න පුළුවන් රටක්. ලංකාවේ සුනාමි ව්‍යසනය ඇතිවූ විට ලංකාවට යන්න මෙරටින් තමයි මුලින්ම ආධාර ඇතුව කට්ටිය පිටවුණේ. එතරම් මානූෂීය ගුණධර්මවලින් පිරුණු රටක්. ඉස්සර පිටරට සුදු අය සංකරයි කියලා නමට කීවට බොහොම වැදගත් ලෙස අනුන්ට හිරිහැරයක් නැතුව අනුන්ට ගරු කරලා ජීවත්වන ජාතියක් ඉන්න රටක ජීවත්වෙන්න ලැබීමත් ලබපු පිනක්.

 

***********************

නවසීලන්තයේ ජීවත්වෙන්න මේ තරම් කැමැති ඇයි?

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන, දැනට නවසීලන්තයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිෂිකා ජයසිංහ නවසීලන්තයේ සිට ලියයි.

 

වත්මනේ පවත්නා තත්ත්වය හමුවේ බොහෝ පිරිස් විදෙස්ගත වීමට අපේක්ෂා කරති. එලෙස විදෙස්ගත වීමට සිතන ඔබ වෙනුවෙන් නවසීලන්තය පිළිබඳ මෙලෙස විවරණය කරන්නෙමු.

විශේෂයෙන්ම නවසීලන්තයේ ජීවන රටාව, රැකියා සම්බන්ධ විස්තර සහ බොහෝ පුද්ගලයන් නවසීලන්තයේ පදිංචියට කැමැති ඇයි යන ආදී කරුණු විමසුමට ලක් කෙරේ.

රැකියාව නිසිලෙස

මෙහි මිනිසුන් බොහෝදෙනෙක් ගත කරන්නේ ඉතාම ක්‍රියාශීලි ජීවිතයි. රැකියාව නිසිලෙස ඉටු කිරීම ප්‍රධාන අවශ්‍යතාවයකි. නවසීලන්තයේ විවිධ වර්ගයේ රැකියා පවතිනවා. ඒ ස්ථීර, තාවකාලික, කොන්ත්‍රාත් පදනම මත ආදී වශයෙන්. එසේම රජයේ හා පෞද්ගලික ආයතනවල රැකියා පවතිනවා. බොහෝවිට රජයේ මැදිහත් වීම ඉතාම අඩු බවක් දක්නට ලැබෙනවා. රැකියා කරන පුද්ගලයන් රාජකාරි කාලය නිසිලෙස එම කාර්යය කෙරෙහි අවධානය යොදවා කටයුතු කරනවා. උදාහරණයක් ගතහොත් සුපර් මාකට් එකක සේවය කරන තැනැත්තා පැය 8ක කාලයක් වැඩ කරනවා නම් කෑම සහ තේ වෙලාව හැරුණු කොට රාජකාරියෙහිම යෙදෙනවා. එමඟින් ආයතන ඉතා සාර්ථකව සිය කටයුතු කරගන්නවා. යම් අයකු රාජකාරිය පැහැර හැරියහොත් ඔහුට රැකියාව අහිමි වෙනවා. ඉතා හොඳ කළමනාකරණයක් මෙහි පවතිනවා.

හොඳ වැටුපක්

මිනිසුන්ට රැකියාවට සුදුසු වැටුපක් ගෙවනවා. අවම වැටුප පැයකට ඩොලර් 20ක් ලැබෙනවා. එම මුදල පැය 8ක් වැඩ කරන පුද්ගලයකුට දිනකට ඔහුගේ ජීවිතය ඉතා පහසුවෙන් ගෙන යාමට හොඳටම සෑහෙනවා. එසේම කෙනකුට අවශ්‍ය නම් රාජකාරි වෙලාවෙන් බැහැරව අර්ධකාලීනව වෙනත් ආයතනයක සේවය කළ හැකියි. පැය 2, 4, 6 හෝ ඉතා නම්‍යශීලී කාලසටහන් බොහෝ ආයතනවල තිබෙනවා. භේද නැහැ. වැටුප් ලැබෙන්නේ සතියක් හෝ දෙකක් අවසානයේ නිසා මිනිසුන් සතියට ජීවිතය සැලසුම් කර ගන්නවා.

භේද නැහැ

එසේම රැකියා උස් පහත් භේදයකින් තොර වන අතර පුද්ගලයාගේ රැකියාව මත ඔහුට සැලකීමක් මෙහි සිදුවන්නේ නැහැ. මෙහි මහාචාර්යවරයා සහ කසල ශෝධකයා යන දෙදෙනා අතර වැටුපෙහි යම් වෙනසක් තිබුණ ද තනතුර වැදගත් නැහැ. ඔබ සර් හෝ මැඩම් කියා තම ප්‍රධානියාට ඇමතිය යුතු නැති අතර පුද්ගලයාගේ නමින් ඇමතීම ඔවුන් වඩා ප්‍රිය කරනවා. සැමවිටම සොරි හා තෑන්ක්යූ භාවිත කිරීම ද සෑම සුළු උපකාරයක් පවා ඇගයීම ද මෙහි ඉතා අගේ කරන දෙයක්. සෑම උපයන පුද්ගලයකුම රජයට බදු ගෙවිය යුතු අතර එය වැටුප් ප්‍රමාණය අනුව, කරනා රැකියාවන් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඔබ වැඩිපුර උපයනවා නම් ඔබ වැඩිපුර බදු ගෙවිය යුතුයි.

කාන්තාවන්ට ඇති රැකියා අවස්ථා

කාන්තාවන් සඳහා පවතින රැකියා මොනවාද යන්න දැන ගැනීමට ඔබත් කැමති ඇති. මේ රටේ කාන්තාවන් ඕනෑම ආකාරයේ රැකියාවක් කරනවා. බස් රථ පදවන්නන්, ට්‍රක් රථ පදවන්නන් හෝ කාන්තාවන්ට අකැපයි අප සමාජයේ සම්මත සමහර රැකියා මෙහි කාන්තාවන් සිදු කරනවා. කාර්යය කෙරෙහි අවධානය යොමු කරනවා මිස ගැහැනු/පිරිමි ලෙස පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. වර්තමානයේ නවසීලන්තයේ බොහෝ රැකියා අවස්ථා ඇතිව තිබෙනවා. වෛද්‍යවරුන්, හෙදියන්, මිඩ්වයිෆ්ලා ආදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා, පරිගණක ක්ෂේත්‍රයේ රැකියා, කාර්මික ක්ෂේත්‍රයේ රැකියා මඟින් ඉතා පහසුවෙන් මෙහි ස්ථිර පදිංචිය ලබාගත හැකියි. ඔබට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම හා අවශ්‍ය කුසලතා තිබේ නම් මේ රටේ ඔබට අවස්ථාවක් තිබෙනවා. බොහෝවිට කුසලතා මත රැකියා ලබාගත හැකි වෙනවා.

රැකියාවක් සිදු කිරීමට සම්මත ක්‍රියාදාමයක් පවතිනවා. හැමවිටම සේවකයාගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට රැකියා සකස් වී තිබෙනවා.

ස්වයං රැකියා බහුලයි

නවසීලන්තයේ විශාල ලෙස ස්වයං රැකියාවල නියුක්ත පුද්ගලයන් එනම් කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර හිමිකරුවන් සිටිනවා. 97% ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ කාණ්ඩයට අයත් වෙනවා. ස්වයංව නැඟී සිටීම වර්ධනය කිරීමට නවසීලන්ත රජය උපකාර කරනවා. සහන ලබා දෙමින් උපදෙස් හා පහසුකම් ලබා දෙමින් එය වර්ධනය කරනවා. සෑම දෙයක්ම පර්යේෂණ‍, සොයා ගැනීම් මත පදනම් වෙනවා. කෙනකුට සිතුණු පළියට එම සැලසුම් ක්‍රියාත්මක කරන්නේ නැහැ.

වාහන භාවිතය

සෑම නවසීලන්ත වැසියකුටම පෞද්ගලික වාහනයක් තිබෙනවා. එහෙත් නගරවල ඇති තදබදය අඩු කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවය ධෛර්යවත් කරනවා. මෑතකදී බස් ගාස්තු භාගයකින් අඩු කොට මඟීන් පොදු ප්‍රවාහනයට යොමු කරන්නට උත්සාහයක් රජය මඟින් දරා තිබෙනවා. දුම්රිය හා බස් ධාවනය ඉතා ශක්තිමත් වන අතර එය සම්පූර්ණයෙන්ම ලෝකල් කවුන්සිල් එකක් මඟින් පාලනය කරනවා.

හදිසියේ දුම්රියක් නොමැති නම් ඒ සඳහා බස් රථ යෙදවීමක් සිදු කරනවා. එසේම මගීන් බස් කාඩ්පතක් මිලට ගත් විට එය බස්, දුම්රිය සහ බෝට්ටුවේ යාම සඳහා භාවිත කළ හැකියි. ඔබට මුදල් අතේ තබා ගැනීමට අවශ්‍ය නොමැති අතර කාඩ්පත ටොප්අප් කරගැනීම මඟින් සිය ගමන් අවශ්‍යතා සඳහා යොදාගත හැකියි.

පරිසරයට හිතැති වාහන

එසේම පරිසර ආරක්ෂණය අරමුණු කරගෙන මෙරට ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් වාහන භාවිත කරනවා. බස්, දුම්රිය සහ බොහෝ පෞද්ගලික වාහන විදුලිබලය යොදා ක්‍රියා කරන ඒවා ගෙන්වන නව කාර් රථ සියල්ල හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් ආකාරයේ වෙනවා. පරිසරය ආරක්ෂණය ඉතා වැදගත් දෙයක් බවත් ආදී මුතුන් මිත්තන්ගේ විශ්වාසයට අනුව ගහකොළ මඟින් අහස ඔසවා සිටින බව ද විශ්වාස කරනවා. කෙසේ වුවද මෙරට ප්‍රධාන අරමුණක් ලෙස පරිසර ආරක්ෂණය සැලකෙනවා.

ජාතීන් ගණනාවක්

බොහෝ පුද්ගලයන් නවසීලන්තයේ ජීවත් වීමට කැමැති ඇයි කියන කාරණයට ඉතාම හොඳම පිළිතුරක් වන්නේ මේ රටේ සිටින ජාතීන් අතර ජාතිවාදය ඉතාම අඩු වීමයි. ඒනිසා සාමකාමීව ජීවත් විය හැකි වීමයි. ජාතීන් ගණනාවක් නවසීලන්තයේ සිටිනවා. මෙහි මුල් පදිංචිකරුවන් වන මවුරි හා එංගලන්තයෙන් පැමිණි ඉංග්‍රීසි ජාතිකයන්ට අමතරව ලොව සෑම රටකම ජනතාව මෙහි ජිවත් වෙනවා. ශ්‍රී ලාංකික, ඉන්දියන්, පිලිපීන, චීන, ජපන්, ජර්මන් මේ ආදී විශාල ජන වර්ග ගණනාවක් ජීවත් වෙනවා. ඉතා සාමකාමීව ජීවත් වීමට මෙහි සිටින පුද්ගලයන්ට හැකියාව තිබෙනවා. මූලික අවශ්‍යතා නිසිපරිදි සම්පූර්ණ කරගැනීමට හැකි නිසා සහ නිදහසේ සිය රාජකාරි කටයුතු කරගෙන යාමට හැකි නිසා මිනිසුන් මෙහි ජීවත් වීමට කැමැතියි.

සිස්ටම් එකක්

මෙහි සියලු කටයුතු යම් ආකාරයක සිස්ටම් එකකට අනුව සිදු වෙනවා. එය නිසි ආකාරයට ක්‍රියාත්මක වන අතර එය උල්ලංඝනය කරන පුද්ගලයන් ඒ සඳහා දඩ ගෙවිය යුතුයි. උදාහරණයක් ලෙස ඔබගේ වාහනය නැවැත්වීමට නුසුදුසු ස්ථානයක නැවැත්වුවහොත් ඔබගේ ගෙදරට දඩය තැපෑලෙන් ලැබෙනවා. ඔබ නොගෙවුවහොත් ඔබට උසාවි යාමට සිදුවෙනවා. නීති ඉතා තදවන අතර එය සැමගේ සුබ සිද්ධියට හේතු වෙනවා.

මේ ලිපිය අවසාන කිරීමට ප්‍රථම ඔබට යමක් කිව යුතුයි. අපේ රට ඇයි අපට මේ ආකාරයට සකස් කර නොගත හැක්කේ? ඔබට අපට පුළුවන්. ඒ සඳහා උත්සාහ කළ යුතුයි මෙන්ම ඒ සඳහා සහාය දිය යුතුයි. අපේ අරමුණු පටු නොවී පුළුල් රටේ යහපතට වන්නේ නම් අප රට ද ඉතා සශ්‍රීක, නිදහස් රටක් වනු නො අනුමානයි.