රම්පේ ගැන ඇත්ත නැත්ත...

මැයි 5, 2025

 

ඉස්සර ඉඳන්ම අපේ ආහාර වේල රසවත් කිරීමට ගත්ත ස්වාභාවික රසකාරකයක් ලෙස "රම්පෙ" හඳුන්වා දෙන්න පුළුවන්. තෙම්පරාදුවකදි වේවා බත උයද්දි වේවා බැදෙන්න බැදෙන්න, තැම්බෙන්න තැම්බෙන්න රස, සුවඳ ආහාරවලට එකතු වෙනවා.

 

* රම්පේ යනු රස කාරකයකි. ආහාර පිලියෙල කිරීමේදී එක්කරන රම්පේ කොල කෑල්ලකින් සුවිශේෂී රසයක් එක් වෙනවා.

 

* රම්පේ යනු සුවඳකාරකයකි. බත් උයද්දි ඒකට එකතු කරන රම්පේ කෑල්ලකින් ඒක තැම්බෙද්දි පුදුමාකාර සුවඳක් හමනවා. ඒ විතරක් නෙවෙයි බත් වැඩි වේලාවක් පිළුණු නොවී තියාගන්නත් උදවු වෙනවා.

 

* රම්පේ යනු විස වර්ග අවශෝෂකයක්. එය රම්පේ පැළේටම ආවේණික ගුණාංගයක්. ශරීරයේ තියෙන ඕනෑම විසක් රම්පේ අවශෝෂණය කරගන්නවා. ඒ නිසාම විස ශරීරගත වුණ සමහර අවස්ථාවල විස නසන්න පාරම්පරික වෙදුන් විසින් රම්පේ කොළ තවත් ඖෂධ සමඟ උණුවතුරින් තම්බා හෝ කොටා ඉස්ම ලෙස හෝ බොන්න දෙනවා.

 

* රම්පේ කියන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තීකරණය ලබා දෙන ප්‍රතිශක්තිකාරකයකි.

 

* රම්පේ යනු උත්තේජකයකි. එනම්, වෙහෙස වී වැඩ කරන වෙලාවට, වැඩි වේලාවක් පාඩම් කටයුතුවල යෙදෙන අයට, නටන උණුවතුර අඬු කෝප්පෙකට රම්පෙ අඟලක විතර කෑලි හතරක් විතර දාලා තියලා ටිකක් නිවුණහම පෙරලා බොන්න දෙන්න. ඒ මහන්සිය කොහේ ගියාද හොයාගන්න බැරිවේවි.

 

එහෙනම් ඇයි මේ රම්පේ පිළිකාකාරකයක් කියන්නේ. අපි බලමු...

 

වර්තමානය වන විට සාමාන්‍යයෙන් බොහොමයක් නිවාසවල "රම්පෙ" පඳුරක් තිබීම සුලබව දැකිය හැක. ඒ වගේමයි බොහෝ විට එම "රම්පෙ" පඳුර පෝෂණය වන්නේ නාන කාමරයෙන් හෝ කුස්සියෙන් ඉවත් කරන ජලයෙන්.

 

අතීතයේ නම් නාන්න පාවිච්චි කරේ ශරීරයට හිතකර ස්වාභාවික දේවල්. ඒ නිසාම ඒ කාලෙ නාන වතුර රම්පෙ පැළේකට ගියා කියලා ගාණක් නෑ. ඒත් මේ කාලෙ අපි පුරුදු වෙලා ඉන්නේ මූණට එක දෙයක් ඔළුවට තව දෙයක් ඇඟට තව දෙයක් ගාන්න. ඇයි හිසකේ වර්ණකාරක. ඒවා බොහෝ විට රසායනික දේවල්.

 

ඒ විතරක් නෙවෙයි රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩුවල වඩාත් රසායනික සංයෝග අඩංගුයි. මෙසේ පිටවන ජලයේ ඔය රසායනික ද්‍රව්‍ය වගේම බැර ලෝහත් අඩංගුයි. ඒවා උග්‍ර විස.

 

ඒ වගේ විස වර්ග අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව නිසාම පාරම්පරික හෙළ වෙදකමේදී පවා "රම්පේ" ඖෂධ ලෙස යොදා ගන්නවා.

 

එහෙනම් ටිකක් හිතන්න, අපි නාන්න ඇඟ සෝදන්න, රෙදි සෝදන්න පාවිච්චි කරන රසායනික දේ වල අපද්‍රව්‍ය එදිනෙදා පරිභෝජනය කරන රම්පේ පැළේකට අතහැරියොත් ඒදේවල්වල තියන රසායනික අපද්‍රව්‍ය රම්පේ පැළයක් කොහොම උරාගනීද කියලා. මුල් හරහා පැළේ උරාගන්නෙ වතුර විතරක් නෙමෙයි. ඔය වස විස සේරම. ඊට පස්සේ ඕවා තැන්පත් වෙන්නේ කොළවල.

 

එහෙම වස විස උරාගත්ත රම්පේ පැළේකින් කඩා ගන්න කොළවලින් වස විසම මිසක් ගුණ ලැබෙයිද. ඔය රසායනික දේ බොහෝ විට පිළිකාකාරක.

ඔන්න ඕකයි රම්පේ පිළිකාකාරකයි කියලා මතයක් හැදිලා තියෙන්නේ.

 

එම නිසා නිවෙසේ පරිභෝජනය සඳහා වගාකර ඇති රම්පෙ පඳුර පිරිසිදු ජලයෙන් පමණක් පෝෂණය කරන්න. ආරක්ෂිත තැනක හෝ පෝච්චියක වගා කරන්න. එවිට ඔබට හැකිවේවි මේ ලැබුණු අවබෝධයත් එක්ක රම්පේවල නියම යහගුණය අත් විඳින්න. ඒ එක්කම මතක තියාගන්න රම්පෙ පාවිච්චි කරද්දි මැද නාරටිය ඉවත් කරන්න.