සුදු පැහැ ස්‍රාවයක් පිටවීම නිසා කලබල වෙනවා ද?

කිරිකැටි දැරියගේ යෝනි මාර්ගයෙන් රුධිරය වහනයවීම
නොවැම්බර් 9, 2021

 

කුලුඳුල් අම්මලා අලුත් බබාව හදාවඩා ගනිද්දී පුංචි පුංචි දේවලටත් හරියට කලබල වෙනවා. වැඩිහිටි කාන්තාවක් නිවෙසේ නොමැති විටදී අලුත් බබෙක් පිළිබඳ අත්දැකීම් නොමැති නිසාමයි වඩාත් ම කලබල වෙන්නේ.

දවසක් හිරණ්‍යාට සිහි එළවා ගත නො හැකි කාරණයකට මුහුණ දෙන්නට වුණා. කිරිකැටි දෝණි නැපියේ චූ දාලා ඒක අස්කරන්න ගියාම ඒ ආශ්‍රිතව රුධිරය ස්වල්පයක් තැවරී තිබෙණු දුටුවා. හිරණ්‍යාගේ ඇස්වල මුලින්ම කඳුළු පිරුණා. පස්සේ එය ඉකිබිඳුමක් බවට පත්වුණා. සේමිත ඔෆිස් ගිහින් නිසා එක්වරම හිතාගන්න බැරිවුණා, මොනවා කරන්න ද කියලා. ඉකි ගහමින්ම ඈ කතා කළේ අම්මට. හිරණ්‍යාගේ අම්මා නම් ඒ ගැන පොඩ්ඩක්වත් කලබල වුණේ නැහැ. දුවලාම තුන්දෙනෙක් හදපු ඒ අම්මට මෙවැනි අත්දැකීමක් කොහෙත්ම ආගන්තුක වුණේ නැහැ.

“බයවෙන්න එපා පුතේ. සමහර දරුවන්ට ඉපදිලා දින කිහිපයක් යද්දි ඔයවගේ දේවල් වෙන්න පුළුවන්.” අම්මා කිව්වා. හිරණ්‍යාගේ හිතට සැනසීමක් දැනුණේ ඉන්පස්සේ.

සැණින් කලබල වුණාට මොකද මේ පිළිබඳ ලිපියක් මීට සති කිහිපයකට පෙර තරුණී පුවත්පතේ පළවුණා නේද කියලා ඇගේ මතකයට පැමිණියා. හිරණ්‍යා එක හුස්මට මේ ලිපිය කියෙව්වා.

රුධිර වහනය

ඔබ දන්නවාද ගැහැනුු දරුවකු ඉපදී පළමු මාසය තුළ සියයට දහයක ප්‍රමාණයකට යෝනි මාර්ගයෙන් රුධිරය වහනයවන බව. මෙය දකින පළමු අවස්ථාවේදී ම ඔබ බියට පත්වී ශෝක වේවි. හැකි ඉක්මනින්, හෝරා කිහිපයක් ඇතුළත ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු සොයා යාවි. අවධාරණයෙන් කිව යුතු වන්නේ මේ තත්ත්වය ඉතාම ස්වාභාවික බවයි. ඒත් ඇයි? එහෙම වුණේ.. ඔබේ හිතට මේ ගැටලුව පැන නඟිනවාමයි.

මවගේ ගර්භාෂය තුළ ඇය සිටින්නේ භ්‍රෑණයෙක් ලෙසයි. ඒ අවස්ථාවේ මවගේ හෝර්මෝන ද මවගේ රුධිරය සමඟ දරුවාට ගමන් කරයි. නමුදු දරුවා ඉපදුණු පසු එම හෝර්මෝන දරුවට නොලැබී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර වහනයක් සිදුවෙයි. දැන් ඔබේ සිතට යම් අස්වැසිල්ලක් දැනෙන්නට ඇති. මෙවැනි අවස්ථාවක දී මල්වර නැකැත් බලන්නට ඡ්‍යොතිර්වේදීන් හමුවූ මව්වරු ද නැත්තේ නොවේ.

සුදු පැහැ ස්‍රාවයක්

යෝනි මාර්ගයෙන් සුදු පැහැ ක්‍රීම් එකක් වැනි ස්‍රාවයක් නිකුත් වීමක් කිරිකැටි දෝණිගෙන් ඇතැම් විට දක්නට ලැබේවි. එය ද ඉතාම ස්වාභාවික දෙයකි. කලබල වීමට අවශ්‍ය නොවේ. එය මාස ගණනාවක් ද තිබිය හැකියි. මෙයට හේතුව මවගේ ගර්භ තරලයේ ඒ තුළ තිබී පිටවී යෑමයි. එය ඝන වී තිබිය හැකියි.

ඔබ මේ අවස්ථා දෙකේදී ම පිරිසුදු පුළුන් කැබැල්ලක් පිරිසුදු වතුරින් තෙමා සබන් නොගා පිසදා දමන්න. කපු මිශ්‍රිත නැප්කින් ඇතුළු යට ඇඳුම් පමණක් භාවිත කරන්න. මුත්‍රා මාර්ගය ඒ අසලම ඇති බැවින් ප්‍රවේසමෙන් මේ කටයුත්ත කරන්න. පුළුන් කැබැල්ල ඒ අසලට ගෙන නොයන්න. පුළුන් කැබැල්ල පහත අතට පමණක් ඇද සෝදා හරින්න. එක් වතාවකට එක පුළුන් කැබැල්ල බැගින් ගෙන පහතට සෝදා හරින්න. කිසිදු විටෙක විසබීජ නාශක දියරවර්ග භාවිත නොකරන්න.

දියණියගේ මලපහ සේදීම ද කළ යුත්තේ පහළ අතටයි. නැතිනම් මලපහ මාර්ගයේ ඇති ඊකෝලායි වැනි බැක්ටීරියා වර්ග මඟින් මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවිය හැකියි.

යෝනි තොල් හාවීම

තවත් ඔබ වහා කලබයට පත්වන ඉතා අඩු ප්‍රතිශතයකින් දක්නට ලැබෙන අවස්ථාවක් ඇත. එය නම් දැරියගේ යෝනි තොල් පියන් එකට හා වී තිබීමයි. යෝනි සිදුරක් නොමැතිවීම. මෙය ද කලබල විය යුතු කාරණාවක් නොවේ. එය ඔබගේ මනසට වදයක් නම් දියණිය පරිණත ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ඔබේ ගැටලුව විසඳා මානසික අස්වැසිල්ලක් ලබා ගන්න. දැරිය වැඩිවිය පැමිණීමත් සමඟ මෙය විවෘත වේ. එතෙක් ඔබ ඇය පිළිබඳ කල්පනාකාරි වන්න. නමුත් මෙය අස්වාභාවික තත්ත්වයක් නොවේ.

දුගඳක් සමඟ ස්‍රාවයක්

යෝනි මාර්ගයේ දුගඳක් සමඟ ස්‍රාවයක් පිටවීම තවත් තත්ත්වයකි. මෙය බොහෝ විට දැරියට අවුරුදු 3 සිට 8 දක්වා කාලයේ දැකිය හැකියි. මෙය වැඩිවශයෙන් ම සිදුවනුයේ යෝනි මාර්ගය වෙතට යම් යම් දේ ඇතුළු කිරීමෙනි. නැතහොත් යට ඇඳුම් නො අන්දවා වැලි පොළොවේ දරුවා තැබීමෙනි. පබළු, මදටිය ඇට, කුඩා ලී පොතු කැබැලි, නියපොතු කැබැලි යෝනි මාර්ගය අසල ස්පර්ශය නිසා ද සිදුවිය හැකියි. මේ සඳහා ඔබ තෝරාගත යුතුවන්නේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු මිස ළමා රෝග විශේෂඥවරයකු නොවේ. වෛද්‍යවරයා ඔබට උපකාරි වනු නියතයි.

කුඩා දියණිය නාවන විට දී ඔබ බියට පත්වන කරුණක් නම් ඇයගේ පිටුපස කොටස අතුල්ලා සේදීමයි. එනම් ඉඟටියෙන් පහළ කොටස සේදීමයි. එයට හේතුව ඇයගේ කන්‍යාපටලයට හානි වේදැයි සිතීමයි. කුමන හේතුවකින්වත් නාවන විටදී දැරිය අතුල්ලන විට දී එවැන්නක් සිදු නොවේ.

පිරිමි දරුවාගේ වෘෂණ කෝෂ

ඔබ දැන සිටියා ද කුඩා පිරිමි දරුවාගේ වෘෂණ කෝෂ දෙකෙන් එකක් ඇතැම් විට ශරීරය ඇතුළේ පිහිටයි. සමහරවිට දෙකම ශරීරය අභ්‍යන්තරයේ පිහිටයි. දරුවාට මාස දෙක තුනක දී මෙය බොහෝවිට පිටතට පැමිණෙයි. සමහර මව්වරු පුතුට වෘෂණ නැත්දැයි සිතා බිය වෙයි. එය මනසට වදයක් නම් පුතුට මාස තුන හතරකට පසු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න. තවත් චූටි පුතාලගේ ලිංගේන්ද්‍රය ඉතා කුඩාවට කුඩා කලදී පෙනෙයි. අවශ්‍ය කලක දී ඒවා විශාල වී සියල්ල සපුරන පුතකු වනවා නො අනුමානයි.