ආදරය කියන්නේ බොළඳ දෙයක් නොවෙයි, මානව හැඟීමක්

ගීත රචිකාවක් වූ ග්‍රාම නිලධාරිනිය - නදී සේනාධීර
සැප්තැම්බර් 26, 2022

 

මං ආසයි දුවන් එන්න

ඔය පපුවට තුරුලු වෙන්න...

මට ඕනේ හොරෙක් වෙලා

ඔය හදවත හොරා ගන්න..

 

ඉහත ගීතය මේ දිනවල යූ ටියුබ් නාලිකා රැසක අතිශය ජනප්‍රිය වූ ගීයකි. ගීතය ගයන්නේ නව පරපුරේ ගායකයකු වන අජිත් සංජීව පෙරේරා ය. ඔහු ගීත රැසක් ගායනා කළ ගායකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකි. පසුගිය කාලය තුළ දහස් ගණන් රසිකයන් මේ ගීයට කැමැත්ත පළ කර තිබේ. ගීය රචනා කළේ නදී සේනාධීර නම් යොවුන් ගීත රචිකාව විසිනි.

ඇය මුහුණුපොත ඇසුරේ ගොඩ නැඟී ඇති කවි සංස්කෘතිය මඟින් මතුව ආ කිවිඳියකි. කවි, නිසඳැස් මුහුණුපොත් සමූහ කිහිපයක ඇඩ්මින්වරියකි. ඇයගේ රැකියාව, කලාව හෝ සාහිත්‍ය සමඟ ළඟ සම්බන්ධතාවක් නැත. උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, උනම්බුව ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිනිය ඇයයි. රැකියාවත්, සාහිත්‍ය කලා කටයුතුත් ඇය සමබර ලෙස පවත්වා ගෙන යයි. නදී පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ සඳලංකාව මධ්‍ය විද්‍යාලයෙනි.

 

නදී තම සාහිත්‍ය ජීවිතය පිළිබඳ මෙලෙස කතාබහට එක් විය.

“සාහිත්‍ය ගැන මුලින්ම උනන්දුවක් ඇති කළේ මගේ තාත්තා, ඔහු ගොඩක් උනන්දු වුණා මාව පොතපත කියවන්න යොමු කරන්න. අම්මත් මට කලාව, සාහිත්‍ය ගැන තිබෙන කැමැත්ත ඉහළ දාන්න ලොකු සහයක් දුන්නා. පාසල් කාලයේ සිටම සාහිත්‍ය පැත්තට, කලාව පැත්තට ලොකු උනන්දුවක් ආසාවක් තිබුණා. එත් පාසල් ජීවිතය අවසානයෙන් පස්සෙ රැකියාවට යොමු වෙනවා. ඊට පස්සෙ විවාහ වෙනවා. මේ හැම දේම නිසා ලියන්න ආසාව තිබුණත් ඒ ආසාව යටපත් වෙලා තිබුණෙ."

 

එහෙම අකාලයේ වැළලිලා ගිය ඔබේ හැකියාව නැවත මතුකර ගන්න කොහොමද ඉඩ ලැබුණෙ.?

නොලැබුණ අංකුර රචිකාවකට ලැබුණු අවස්ථාව ගැන සතුටුයි. අජිත් අයියටත් ගොඩක් ස්තූතියි අවස්ථාව දුන්නාට. දැන් මා ලියූ අලුත් ගීය, “ජීවිතයට හුස්ම ගේන ආදරේ ඔයා" යූ ටියුබ් මාධ්‍යයේ ප්‍රචාරය වෙනවා. ඒ ගීයත් ගායනා කරන්නේ අජිත් සංජීව පෙරේරා. ඒ ගීය අන්තර්ජාලයට එක් වෙලා වැඩි කාලයක් නැහැ. ඒත් මට දැනෙනවා ඒ ගීයත් රසිකයන් පිළිගනිමින් ඉන්නවා කියලා. අැත්තෙන්ම මගේ ගීත රචනා සඳහා අජිත් අයියා ලොකු අගයක් දී තිබෙනවා.

 

ඔබ ලියන බොහෝ නිර්මාණ වගේම ගීතත් ආදරය මුල් කර ගත් ඒවා. ආදරය කියන විෂයම තෝරා ගත්තේ ඇයි?

ආදරය කියන්නේ බොළඳ දෙයක් නොවෙයි. මානව හැඟීමක්. හැම කෙනෙක්ම ආදරයට කැමැතියි. මිනිසුන්ට වෛරය හුරු කරනවාට වඩා ආදරය කියා දීම තමයි හොඳ. ඒ නිසා තමයි මම ආදරය මුල් කරගත් නිර්මාණ කරන්නේ. අම්මාගේ, තාත්තගේ, සැමියගේ, බිරියගේ, පෙම්වතාගෙ, පෙම්වතියගෙ ආදරය තමයි ලෝකය සුන්දර තැනක් බවට පත් කරන්නේ.

 

ගෘහිණියක් වගේම වගකිව යුතු රැකියාවක් කරන්නියක් විදිහට සාහිත්‍ය වැඩවලට ගෙදරින් ලැබෙන්නෙ මොන වගේ සහයක් ද?

මට කුඩා පුතුන් දෙ‍දෙනකු ඉන්නවා. ගෙදරත් ලොකු වගකීමක් තියෙනවා. ඒ හැම දේකටම මට උදවු කරමින්, මඟ පෙන්වමින් කටයුතු කරන්නේ මගේ සැමියා. එහෙම නොවුණා නම් මට මගේ කලාව, ගෙදර, රැකියාව සමබරව පවත්වාගෙන යාමට බැරි වෙනවා.

 

ඔබේ කලා ගමනේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ ලොකුම බලාපොරොත්තුව තමයි සාර්ථක පද රචිකාවක් වෙන එක. ගීත ලිවීම, කවි ලිවීම මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන්නේ. ඒ ආත්ම තෘප්තිය ජීවිතය තවත් සුන්දර කරනවා.

 

 

------------------------------

අපි සංජීව පෙරේරා සමඟත් කතාබහ කළෙමු.

 

නදී ලියූ 'මං ආසයි හොරෙක් වෙන්න' ගීතය මෙන්ම 'ජීවිතයට හුස්ම ගේන ආදරේ ඔයා' ගීතය ගැයූ අජිත් සංජීව පෙරේරා සංගීතයට කෝඩුකාරයකු නොවේ. ඔහු ප්‍රවීණයෙකි. නව පරපුර සමඟ එක්ව ගීත රැසක් නිර්මාණය කර තිබේ. patta sindu, CDS wave art, thanikama story සහ Ajith sanjeewa offcial අන්තර්ජාල පිටු ඔස්සේ නදී සේනාධීර ලියූ ජනප්‍රිය ගීත දෙක මෙන්ම අජිත් සංජීව පෙරේරා ගැයූ සෙසු ගීත ද රස විඳිය හැකියි.

"මං ආසයි හොරෙක් වෙන්න" කියන පදවැල දැක්ක ගමන් ඒ පද ටිකට මගේ හිත ගියා. ඊට පස්සෙ නදී එක්ක කතා කරලා මේ පද පෙළ ගීතයක් බවට පත් කළා. මේ කෙටි කාලය තුළ මේ සිංදුව ගොඩක් ඉහළට ඇවිත් තිබෙනවා. මම හිතනවා ඇයට ගී පද රචිකාවක් විදිහට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා.