යකඩ යක්කු එක්ක හැප්පෙන අමුතු තාලේ පුංචි කෙල්ල

හිතුවොත් ලෝකයම වෙනස් කරගන්න පුළුවන්
දෙසැම්බර් 5, 2022

 

 යකඩ යකුන්ගේ වාසභවන වන රත්මලාන දුම්රිය අංගණයට සියුමැලි ළාබාල තරුණියක පැමිණෙන්නේ මෑත කාලයේදීය. විසි එක් හැවිරිදි යෞවනියක වන ඇය රටේ අවධානය දිනා ගත්තේ මුහුණුපොතේ පළ වූ සේයා රූ පෙළකිනි. එහි සටහන්ව තිබුණේ දුම්රිය අලුත්වැඩියා කරන සහ දුම්රිය අංගණය තුළ ක්‍රියාකාරකම්වල යෙදී සිටින තරුණියකගේ සේයා රූ පෙළකි.ඇතැමුන් එය සැලසුම් කළ ඡායාරූප පෙළක් ලෙස සිතුවද ඈ දැන් අප ඉදිරියේ සිටී.

සිතුමි රොද්‍රිගෝ .....මේ ඒ ඡායාරූප පෙළක සැබෑ කතාවයි.

 

මට පුංචිකාලේ ඉඳල ඕනෙ කළේ කාර්මික අංශයෙන් ඉහළටම ගිහින් උපාධියක් ගන්න. ඒ කතාන්දර ඇරඹෙන්නේ එලෙසිනි. ඒ කතාව එසේම බව සනාථ කරන්නේ ඇගේ ආදරණීය අම්මාය. මගෙ දුව පුංචි කාලෙ ඉදන්ම හිතුවෙ වෙනස් විදිහට. ඈ දියණියගේ හිස පිරිමදින්නේ ආදරයෙනි.

වාහන සහ ඒ පිළිබඳ අවධානයෙන් පසුවන මමද ඈ සමඟ කාර්මික තොරතුරු පිළිබඳ කතාබහකය.

ඇයට කාර්මික අංශය ගැන ඇත්තේ හසළ දැනුමකි. මෝටර් රථ දුම්රිය විදුලිය අංශය ඇගේ විශේෂඥ අංශයයි. ඇය කාර්මික කටයුතු පිළිබඳ  ඉගෙනුම ලබා ඇත්තේ රත්මලාන කාර්මික විද්‍යාලයෙනි.දැනට පාඨමාලාවේ මූලික කොටස හමාර කර ඇති ඈ දුම්රිය අංගණයට ගොස් සිටින්නේ ප්‍රායෝගික  පුහුණුව වෙනුවෙනි. කාර්මික අංශය බොහෝ තරුණියන් තෝරා ගැනීමට මැළි වෙති. එහෙත් සිතුමිගේ ලෝකය පිරී ඇත්තේ කාර්මික දේ සහ ඒ ආශ්‍රිත දේ සමඟය. බොහෝ අය කාර්මික විද්‍යාල තෝරා ගන්නේ පාසල් ඉගෙනුම අසාර්ථක වූ හෝ උසස්පෙළ විභාගයට මුහුණ දීමට තරම් සුදුසුකම් නොමැති වූ විටය. තෝරා ගන්නට විකල්පයක් නැති තැන ටෙක් යාම අපේ රටේ ක්‍රමයයි. එහෙත් සිතුමි එයින් බොහෝ වෙනස්ව කාර්මික අංශය හැදෑරීම අදිටන කොටගෙන මේ ගමන පැමිණ තිබේ. සිතුමි මූලික අධ්‍යාපනය ලබා තිබෙන්නේ ගම්පහ ගෝතමී විදුහලෙනි. ඉන්පසු උසස්පෙළ සඳහා ගොස් තිබෙන්නේ ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයටය. ගෝතමියේ මෙන්ම ගලහිටියාව විද්‍යාලයේත් දීප්තිමත් ශිෂ්‍යාවක වූ සිතුමි සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබෙන්නේ විශිෂ්ට ලෙසය. එහෙත් ඇගේ සිතේ විශ්වවිද්‍යාලයට යාම පිළිබඳ හැඟීමක් නොතිබුණි.  

අම්මෙ මට කැම්පස් ගිහින් වැඩක් නෑ. උසස්පෙළ පාස් වෙලා කැම්පස් ගිහින් එළියට එද්දි සෑහෙන්න කාලයක් යනවනෙ... ඒ හින්ද මං ටෙක් එකට ගිහින් උපාධියක් ගන්නව.

සිතුමි උසස්පෙළ ඉගෙන ගැනීම අතහැර කාර්මික විද්‍යාලයට යන්නේ ඒ අනුවය. ඇගේ ඒ තීරණයට මව පියා මෙන්ම එකම නැඟණියද ආශිර්වාදය පළ කළහ.

 

මම ගත්ත තීරණය හරි නේද සිතුමි අපෙන් විමසුවේ සරදමට මෙනි.ඇය පාසල අතැර කාර්මික ඉගෙනුම තෝරා ගැනීම නිසා අද මුළු රටක් කතා කරන චරිතයක් බවට පත්ව තිබේ.   

සිතුමිගේ ගම් පියසවන්නේ ගම්පහ ඔරුතොටය. ගම හරහා වැටී ඇති ප්‍රධාන දුම්රිය මාර්ගය නිසා දුමර්රියට ඇයගේ ඇල්මක් ඇති වුයේ පාසල් කාලයේ සිටය. කාර්මික විද්‍යාලයට යාමට අවශ්‍ය මග පෙන්වීම ලබා දී තිබෙන්නේ ඇගේ මාමාය.

පුංචිකාලේ ඉඳල කෝච්චිය දැකල මම කෝච්චි රෙපෙයාර් කරන්න ගොඩක් ආසයි. අද රත්මලානේ දුම්රිය අංගණයේ පුහුණුවන ඇය මරදාන සහ දෙමටගොඩ අංගනවලද පුහුණුව ලබා තිබේ.

 2019 පාඨමාලාව ආරම්භ කළ ඇයට කොවිඩ් වසංගතය  බාධා එල්ල කළේය. කොවිඩ් සමඟ ලෝකයම ගත කළ කාලයේද ඈ තම ස්වඅධ්‍යන කටයුතු නිමා කළේ නැත.

 

මුලින් මම කැමති වුණෙත් නෑ දුම්රිය කාර්මික කටයුතු වගේ වගකීම් ඇති බරපතළ දෙයක් තෝරා ගන්න. ඒත් අද වෙද්දි හිතෙනව මම ගත් තීරණය හරි කියල. මට මගෙ මාමා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පුහුණුවේදී ලොකු ශක්තියක් වුණා. දැන් මම සතුටින් වාර්ක්ෂොප් එකේ පුහුණුවෙනවා. සියලුදෙනාගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබෙනවා.ඒක මට ශක්තියක්. ගමනකට  බාධා කරදර නැති තැනක් නෑ. එය තමා මගේ ගමනට ශක්තියක් විදිහට මම  සලකන්නේ. ඇය තම නොසැලෙන අධිෂ්ඨානය පළ කරන්නේ එලෙසිනි. 

 

එදා හැමෝම වගේ කිව්ව එක දෙයක් තිබ්බා ඒ තමයි ඔයා වගේ ගෑණු ළමයෙක් කොහොමද මේ වගේ ගොරහැඬි දේකට සම්බන්ධ වෙන්නෙ කියල. හැමෝම යෝජනා කළේ මැහුම්, නැතිනම් කේක් පන්ති බියුටිකල්චර් වගේ සම්ප්‍රදායික දේවල්. ඒත් මම හිතුවෙ කවුරුත් නොකරන දෙයක් කරල ඉස්සරහට යන්න...අද මට ලැබෙන හැම පිළිගැනීමක්ම ලැබෙන්නේ මම ගත්තු හරි, නිවැරැදි වගේම එඩිතර තීරණය නිසයි. 

මම පාඨමාලාවට ඇප්ලයි කළා.එදා විසි එක් දෙනෙක් තෝරා ගත්තා ඒ අතරින් ගෑණු ළමයි හිටියෙ මම විතරයි. එතකොට මට වයස යන්තම් අවුරුදු දහ අටයි. මුල් තුන්මාසෙ අපිට දුන්නෙ යකඩ කුට්ටි පීරෙන් ගාන්න. ඒ වැඩෙන් තමයි කෝස් එක පටන් ගත්තෙ..මාස තුන යද්දි ගොඩක් අය හැළුණා. ඒත් මම මගේ හිත තව තවත් සවිමත් කර ගත්තා.මේ වැඩේ ලේසි නෑ පුහුණුවෙන මුල් කාලේ ගොඩක් අමාරුයි. හවස් වෙද්දි අත් හම ගිහින් තුවාල වෙලා වගේ රිදෙනවා. එහෙම අමාරු වෙලා ඉද්දි මාමා කිව්ව ඔව්වට සැලෙන්න එපා මාත් මෙතනට ආවෙ ලොකු කට්ටක් කාලා කියල. ඒ නිසාම මාත් ලොකු අධිෂ්ඨානයක් හදා ගත්තා. ඒ ගමනෙ මැද හරියෙ තමයි මම ඉන්නෙ තව ගොඩක් දුර යන්න තියෙනව.ශ්‍රී ලංකාවේ නම තියෙන කාර්මික ශිල්පිනියක් වෙන එක තමා මගේ අරමුණ. කට්ට කන්න, කතා අහන්න පුළුවන් හැමකෙල්ලෙක්ටම මේ වගේ දේවල් කරන්න පුළුවන්.

 

සිතුමි තම ගමනේ අනාගත ඉලක්කය ගැන පැහැදිලි කළේ එසේය.

මල් වැනි සියුමැලි දේ සමඟ ගැටෙන ගැහැනුකම වෙනුවට යකඩ සමඟ ගැටෙමින් අලුත් පාරක් තෝරා ගෙන සිටින සිතුමිලා වැනි අය අනාගත

ශ්‍රීලංකාවට මහඟු සම්පත්ය. ඒ සම්පත් රැකීම අප සියලුදෙනාගේ වගකීමද වේ.  

 

 

 

ඡායාරූප - සමන්ත වීරසිරි