තනි නොතනිය මකා ගන්න හරි හුරතල් හුරතලෙක්

මැයි 6, 2024

 

මිහිරි කුරුලු ගී නාදයෙන් පිරි පරිසරයක ජීවත්වීමට අකැමැති කවුරුන්ද? සිතේ කැමැත්ත වැඩිකමටම ඔබත් නිවෙසට කුරුලු සුරතලකු මේ වනවිටත් කැන්දාගෙන ඇති. ඒ අතරම කුඩා මාළු ටැංකියක් හෝ නැති නිවෙසක් සොයා ගැනීමටත් නොහැකි තරම්ය. ඒ තරමටම මාළු ඇති කිරීම සිතට සැනසුමක් ගෙනෙන අපූරු විනෝදාංංශයකි. තව අතකින් දඩබ්බර වැඩවලින් දරුවා මුදවා ගැනීමට ද මෙය උපක්‍රමයකි.

 

නිවෙසේ පුංචි දඩයක්කාරයා බළල් පැංචා කාගේත් සුරතල් දඟකාරයයි. සෙවණැල්ලක් මෙන් අප පසුපස පුරු පුරු ගාමින් දෙපා දැවටෙයි.

ලංකාවේ අපිට මොනවගේ සුරතල් සතුන් ද අැති කළ හැකි වන්නේ? එහෙම හිතනකොට එකපාරටම අපේ ඔළුවට එන්නේ බල්ලෝ සහ පූසෝ.

 

කොහොම නමුත් නිවෙසේ ආදරයට ඇති කරන සුරතල් සතුන් අපේ ජීවිතයට අපූරු අත්දැකීම් සමුදායක් එකතු කරයි. ඒ නිසාම නිවෙසක එක් සුරතලකු හෝ ඇති කිරීම වටිනා දෙයකි. ඒත් ඔබ සුරතලයට කියා සතෙක් ඇති කරන්නේ නම් ඒ පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි.

 

අැයි අපි සුරතලකු අැති කළ යුත්තේ? කොහොමද බලා කියා ගන්නේ? ලබාදෙන ආහාර පාන මොනවාද? අසනීපයක් වුණොත් බෙහෙත් කරන්නේ කොහොමද වැනි කරුණු ගැන වැටහීමක් තිබිය යුතුයි.

ඉතිං මේ ගැන ඔබව දැනුම්වත් කිරීමට අද පටන් අප අරඹන විශේෂාංගය තමයි "Pet Care". අද අපි ජීවත්වන රටාවත් එක්ක හැමෝම හුඟාක් කාර්ය බහුලයි. මේ නිසාම අපට නොදැනීම මානසික නිදහස අපෙන් දුරස් වෙලා. මෙන්න මේ මානසික සැහැල්ලුව, සතුට ලබා ගන්න සුරතල් සතුන් ඇති දැඩි කිරීම හරිම වටිනවා. ඒ වගේමයි වර්තමානයේ න්‍යෂ්ටික පවුල් වැඩියි. අම්මා, තාත්තා සහ එක දරුවයි. තනිව හැදෙන මේ දරුවා බෙදා හදා ගැනීම කියන එක දන්නෙම නැහැ. ඉතිං දරුවට බෙදා හදා ගැනීම හුරුපුරුදු කිරීමට වක්‍ර ක්‍රමයක් ලෙසින් සුරතල් සතුන් ඇති දැඩි කිරීම වැදගත්.

 

අපි හිතන්නෙවත් නැති විවිධ වර්ගයේ සතුන් සුරතල් සතුන් ලෙසින් අද ලංකාවේ ඇති දැඩි කරනවා. ඉතිං ඒ අතර අලුත්ම ට්‍රෙන්ඩ් එක සුරතල් කුරුල්ලෝ. ඒ අතර ගේ ඇතු‍ෙළ් හදන්න පුළුවන් පුංචිම පුංචි කුරුල්ලන්ගේ සිට ලොකු කුරුලු වර්ගත් ඉන්නවා. ලංකාවට ආවේණික කුරුල්ලන් වගේම පිටරටින් ලංකාවට හඳුන්වා දුන් කුරුලු වර්ගත් ඉන්නවා.

මේ සුරතල් කුරුල්ලන් කී සැණින්ම ඔබට මතක් වෙන්නේ පරවියො. එහෙමත් නැත්තම් Love birds ලා කියලා හඳුන්වන බජිරිගාර්ලා. එහෙත් මෙයාලගේ වර්ග සෑහෙන ප්‍රමාණයක් දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා.

 

ඇත්තෙන්ම සුරතල් කුරුල්ලන් ඇති කරන එක සුරතල් බල්ලෙක් ඇති කරනවාට වඩා යම් තරමකින් පහසුවක්. මේ කුරුල්ලන් ඇති කිරිමේදී ඔබට ඉඩකඩ අනුව උස ස්ථානයක් වුව තෝරාගත හැකියි. බොහොම කුඩා ඉඩකඩක් ඇති නිවාස සංකීර්ණවල ජීවත්වන ඔබටත් ඇති කළ හැකි සුරතල් සතුන් ලෙසින් කුරුල්ලන් හඳුන්වා දෙන්න පුළුවන්. නඩත්තුව හරිම පහසුයි. ඒ වගේමයි ආහාර වුණත් ගන්නේ හරිම පුංචි ප්‍රමාණයක්.

 

අතීතය සුන්දරයි. මතකද අපේ ආච්චිලා, සීයලා වුණත් කියන දෙයක් තමයි ඔවුන් උදේ අවදි වන්නේ කුරුලු නාදයෙන් කියලා. දැන් මේ නාගරීකරණයත් එක්ක ඔබට, මට මේ අනගි අවස්ථාව ගිලිහී ගිහින්. එහෙත් දුක්විය යුතු නොවෙයි. ඔබ ඔබේ ගෙවත්තේ හැකි පරිදි පුංචි කුරුලු කූඩුවක් හදා ගත්තොත් ඒ සුන්දර අත්දැකීම යළිත් යාවත්කාලීනකර ගන්න පුළුවන්.

මෙවැනිම තවත් සුරතල් සතුන් වර්ගයක් තමයි මාළු. මසුන් ඇති කිරීමටත් ඉතා

 

කුඩා ඉඩ ප්‍රමාණයක් තමයි වැයවෙන්නේ. වත්තේ ඉඩකඩ තියෙන අයට පොකුණක් හදාගන්න පුළුවන්. පුංචි බෝතල්වල පවා සුරතල් මසුන් ඇති කරන්න පුළුවන්.

මොවුන්ගෙන් අපේ ඇස්වලට ලැබෙන ව්‍යායාමය අති මහත්. බල්ලෙක්, පූසෙක් හදන එක අපහසුයි කියලා හිතෙන ඔයාලට හොඳම විසඳුම විදිහට මසුන් හදන්න පුළුවන්. එය කාර්යබහුල ජීවිතයට, සෞඛ්‍ය සම්පන්න දිවියකට කදිම අවස්ථාවක්. හාවෝ කියන්නෙත් තවත් හොඳම හොඳ සුරතල් සත්ත්ව කොට්ඨාසයක්. ඉතිං ඒ වගේමයි ඉබ්බො. පුංචි ඉඩකඩක් ඇති අයට මේ අය ඇති දැඩි කළ හැකියි.

අපි ඉදිරි සතිවලදී මේ සුරතල් සතුන් පිළිබඳ විස්තරාත්මකව කතා කරමු.

උපදෙස් -

පශු වෛද්‍ය නුවන් වික්‍රමසිංහ