වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
අනේ මන්දා මේ තිස්ස නම්...

2016 අගෝස්තු 01 ඉරිදා
ඊයෙ දවසම ළමයි දෙන්නව පංති ගෙනිච්චයි, හෝම්වර්ක් කෙරෙව්වයි, ගෙවල් දොරවල් අස්පස් කළයි මිසක මං ගැන හිතන්ඩ එක විනාඩියක්වත් හම්බුණේ නෑ. දැන් මේ ඉස්කෝලවල හෝම්වර්ක් කියල කරන්ඩ දෙන්නෙ ළමයින්ට කරන්ඩ පුළුවන් ඒව නෙමේ, වැඩිහිටියන්ටවත් කරන්ඩ බැරි ඒවනෙ. ඉතින් එව්ව මං කරන්නැතුව වෙන කවුරු කරන්ඩද? අද උදේ පාන්දර නැඟිට්ට ගමන් කණ්ණාඩියෙන් මූණ බලපු එක තමා මං මුලින්ම කළේ.
" ඇත්තමයි, මයෙ මූණෙ මෙච්චර ලප කන්දරාවක් හැදුණේ කොහොමද ? "
ලයිට් එළියට හොඳට පෙනුන්නැති හන්දා ටෝච් එකකුත් ගහලා මූණ බැලුවමයි සමන්තිලගෙ, ඩිල්ෂානිලගෙ කතා බොරු නෙමෙයි කියල මටත් තේරුණේ. මේ ගෙදර සුමෙත් එක්ක මට මෙව්ව ගැන බලන්ඩ වෙලාවක් තිබුණෙ නෑ කියමුකො. ඒත් මට තියෙන ප්‍රශ්නෙ අඩු ගානෙ සුමානෙකට දවසක් දෙකක්වත් මූණට මූණ තියාගෙන තිස්ස බලන් හිටියෙ අහවල් එකක්ද කියලයි. ඇයි දෙයියනේ මේ මිනිහ පොට්ටයෙක් යෑ මෙච්චර හරියක් නොපෙනෙන්ඩ. නිකම්වත් කියන්ඩෙපෑ," ඔයාගෙ මූණේ ලප කැලැල් හැදීගෙන එනවා. අපි ඒවට මොකක් හරි කරලා මේ ලස්සන මූණ පරිස්සම් කර ගම්මු." කියලා.
තිස්සට කියන්ඩෝනැ එයාට මයෙ අඩුපාඩු පෙන්නල දෙන්ඩ බැරිනම් අඩු ගානේ කණ්ණාඩි මේසෙ ළඟට හොඳට එළිය තියෙන ලයිට් එකක්වත් දාලා දෙන්ඩ කියලා. එතැන හරි හමන් එළියක් තිබුණ නම් මේ තරම් කාලයක් මම මේව නොදැක තියෙන්නෑ නෙ. ළමයි ඉපදුණත් හරි ෆේෂල් එකක් කරනවා තියා අහක දාන දෙහි ලෙල්ලක්වත් මූණෙ අතුල්ලන්ඩ කල්පනා නොකරපු එකේ වැරැද්ද තමා ඉතින්. පුතා ඉපදුණාට පස්සෙ නියපොතු කපපු එකයි, පවුඩර් ඇබිත්තක් මූණෙ ගාපු එකයි ඇරුණම වෙන මොන රූපලාවණ්‍යක්ද ඉතින් මං කළේ ? හැබෑටම මෙච්චරක් කාලෙකට එකෝමෙක ඇබීත්තක් මට මං ගැන හිතන්ඩ බලන්ඩ බැරි වුණේ ඇයි ?