වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
අපේ කෑමවලින් ලෝකයම අල්ලන Traditional Sister
ලෝකයේ ආහාර සංස්කෘතීන් විවිධාකාරයි. මේ සංස්කෘතීන් ගැන කතා කරද්දී මුලින්ම මතක් වෙන්නේ ලංකාවේ ආහාර සංස්කෘතිය. මොකද මාස්ටර් චෙෆ් වගේ ලෝකයම කතාබහට ලක් වූ තැන්වලදී පවා ලංකාවේ ආහාර සංස්කෘතිය ගැන කතා කරන්නේ ඒ නිසයි.
ඒ වගේම කුළුබඩු යහමින් එකතුකර හදන මේ අහාර ලෝකයේ කිසිදු රටකින් දකින්න නොලැබෙන නිසයි. ඉතින් මේ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආ ලංකාවේ ආහාර සංස්කෘතියේ තියෙන දුර්ලභ ආහාර වට්ටෝරු සකසා ලෝකයටම අපේකම ගැන හඬ නඟා කියන අපූරු යුවතියක්වයි අද හමු වන්නේ. ඇය ඉන්නේ කඩුවෙල. නම චේතනා කුරේ. මෙහෙම කියද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කවුද මේ කියලා. මේ traditional sister. හැබැයි එහෙම කිව්වම නම් ඇයව නොදන්න කෙනෙක් නැහැ. මොකද කෑම හදලා ලෝකයම අල්ලපු මේ යූටියුබ් චැනල් එක ගැන දැන් නොදන්න කෙනෙක් නම් නැහැ. අද මේ කතාබහ එහෙම කෑම හදන ඒ අපූරු යුවතිය සමඟයි.
ඉතින් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
දවසින් දවස වැඩිවන ප්‍රේක්ෂක ආදරයත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා. කෑම උයන එකනම් ඇත්තටම දැන් මගේ විනෝදාංශය වෙලා.
නම චේතනා වුණාට ගොඩක් අය චේතනාව දන්නේ traditional sister කියන නමෙන්...?
Traditional sister කියන්නේ මගේ යූටියුබ් චැනල් එකේ නම. හැබැයි මේ චැනල් එක පටන් ගද්දි ගැහැනු ළමයි තුන්දෙනෙක් හිටියා. එතකොට නම තිබුණේ traditional sisters කියලා. අපි තුන්දෙනා මේ වැඩේ කාලයක් කරගෙන ගියා. එක්කෙනෙක් විවාහ වුණා. අනිත් එක්කෙනාට ගුරුපත්වීමක් ලැබුණා. ඉතුරු වුණේ මම විතරයි. ඉතින් මම මේ චැනල් එකේ නම traditional sister කියලා පටන් ගත්ත දේ දිගටම කරගෙන ගියා. මේ චැනල් එක වෙනස්ම ආරයක එකක් නිසයි මෙතරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්නේ. Village cooking concept එක යම් තැනකට ගෙන්නයි මේ හරහා මට අවශ්‍ය වුණේ.
මේ වගේ කුකින් චැනල් එකක් පටන් ගන්න හිතුවේ ඇයි?
ලංකාව කියන්නේ බොහොම පරිපූර්ණ ආහාර සංස්කෘතියක් තියෙන රටක්. නමුත් අද වෙන කොට දන්නේ ඒකෙන් පොඩි කොටසක් විතරයි. අපිට ඕනෙ වුණා අපේම සංස්කෘතිය ගොඩට ගන්න.
කොහොමද උයන්න ආසාවක් ඇති වුණේ.
ඒ ආසාව ආවේ අම්මා උයන විදිහ බලාගෙන ඉඳලයි. අම්මා උයද්දි අම්මට පුදුම වදයක් තියෙන්නේ මගෙන්. ඇයි ඉතින් මම අහන ප්‍රශ්නවලට උත්තර දීලම අම්මට එපා වෙලා. එයා උයද්දී කෑම රසට උයන විදිහ ගැන. එතකොට එළවළු කපන විදිහ ගැන, තෙලට, මිරිසට කිරට වගේම එක එක දේවල් බැදලා හදන විදි ගැන. හැබැයි ඉතින් අම්මා හරි ආසාවෙන් ඒ දේවල් මට කියලා දුන්නා. අම්මා ඒ තරම් රසට කෑම ඉව්වේ නැත්තම් අද මාව කවුරුත් දන්නේ නැති වෙන්නත් තිබුණා. මොකද අම්මගේ කෑමවල තිබුණ රස නිසාමයි මටත් උයන්න ආසාව ආවේ.
ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ චැනල් එක නිර්මාණය වුණේ..
මම පොඩි කාලේ ඉඳන් හදන කෑම ගැන එක එක විදිහට හිතන කෙනෙක්. හිතන්නකෝ අම්මා පරිප්පු හැදුවා කියලා. මේ පරිප්පුව හැදුවේ කොහොමද? මේ පරිප්පු එක හදන්න පුළුවන් තව ක්‍රම තියෙනවද. එතකොට එහෙම වෙනස් වෙනස් ක්‍රමවලින් හැදුවොත් රසයේ තියෙන වෙනස කොහොමද. මම එහෙම හොයන්න ගත්ත එකේ ප්‍රතිඵලයක් විදිහටයි මේ යූ ටියුබ් චැනල් එක පටන් ගත්තේ.
ඔයා හදන කෑම හැමෝම හදන කෑමවලට වඩා වෙනස්. මේ විදිහට වෙනස් කෑම වර්ග හදන්න ඉගෙන ගත්තේ කොහොමද?
සමහර කෑම හදන්න කලින් මට සෑහෙන පොත් කියවන්න වුණා. මොකද අපි හදන දේ හරියටම හදන්න ඕනිනේ. ඉතින් ඒ හදන දේ හරි විදිහටම තියෙන්න ඕනේ. වීඩියෝ එකට කලින් අපි කෑම ඒ කෑම එක සැරයක් හදලා බලනවා. මම හදපු කෑමවලින් ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තිබුණේ ගස් දැල්ලෝ කරිය සහ අළු යට පුච්චලා හදන කෙසෙල් මුව සම්බෝලය. මේ විඩියෝස් මිලියන තුනහමාරකට වඩා බලලා තිබුණා. වෙද මහත්තයෙකුත් මේ ඉපැරණි කෑම වර්ග හදන්න අපිට කියලා දෙනවා.
අධ්‍යාපන කටයුතුත් එක්ක මේ සියලු දේ කරගෙන යන්නේ කොහොමද?
මම දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යව පිළිබඳ ගෞරව උපාධියක් කරන ගමන් ඉන්නේ. ඒ ගමන්ම මම පෞද්ගලික විශ්වවිද්‍යාලය කළමනාකරණ උපාධියක් හදාරනවා. මම පාසල් ගියේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයට. මම රූපවාහිනී නාළිකාවක නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. මේ සියලු දේ මම කරගන්නේ අදාළ දේට අදාළ වෙලාවෙදී අවධානයක් දෙන නිසා. ඒ මොහොතේ ඒ දේ ඉවර වුණාම ඊට පස්සේ තියෙන දේට අවධානය දෙනවා. මම පොඩි කාලේ ඉඳලම වැඩ ගොඩක් කරපු කෙනෙක්. ඒ කියන්නේ මම 3 -4 වසර වලදීත් පාසල් කටයුතුවලට අමතරව විෂය බාහිරව අතිරේක වැඩ ගොඩක් කළා. මම මේ යූටියුබ් චැනල් එක පටන් ගනිද්දිත් මට වයස අවුරුදු 17යි. මම දේවල් කීපයක් එකට කළාට. ඒ කරන දේ මොකක් වුණත් ඒ අවස්ථාවේදි සම්පූර්ණ අවධානය ඒ දේට යොදවනවා. ඒකයි ඒ හැම දෙයක්ම සාර්ථක වෙන්නේ.
කවුද මේ වැඩේට උදව් කරන්නේ?
මේක මම තනියම කරන වැඩක් නෙවෙයි. ලොකු ටීම් එකක් මේකේ ඉන්නවා. ටීම් එකේ ඉන්න නුවන් කාවිංග, අශාන් මිහිරංග, සුනීතා ආන්ටි, පවුලේ අය එතකොට ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. එයා රොෂාන්. ඔහොම කීප දෙනෙක්ම එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. වීඩියෝස් කරන්න අපි වෙනම තැනක් හැදුවා. ඉස්සර ගම්වල තිබුණා වගේ ලස්සන පුංචි මැටි ගෙයක් හදුවා. එතැන තමයි මෑතක් වෙනතරුම කෑම හදලා වීඩියෝ කළේ. අපි ඉන්නේ නිතර ගංවතුරින් යටවෙන පැත්තකනේ කඩුවෙල බෝමිරිය. ඉතින් පසුගිය කාලයේ ඇති වුණ ගංවතුර තත්ත්ව කිහිපයකටම ඒ පුංචි මැටි ගෙයත් යට වුණා. ඒ නිසා දැන් ඒ මැටි ගෙයි වීඩියෝ වැඩවලට ගන්න අපහසුයි. ඒ නිසා දැන් සොබාදහමත් එක්ක යනවිදිහට එළියේ ඒ වීඩියෝ වැඩකටයුතු ටික කරනවා.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
දෙයක් පටන් ගනිද්දී එන කමෙන්ට් බලන්න නරකයි. ඒක හැමෝටම පොදුයි. ඉතින් ඒ එන කමෙන්ට්වලට හිත රිද්දගන්න ගියොත් තියෙන මුල් පියවරම පස්සට ගත්තා වගේ වැඩක් වෙනවා. මටත් මුලදී එහෙම කියපු පිරිසක් හිටියා. මගේ හිතෙන් චකිතයක් නැහැ කිව්වොත් එක බොරු. හැබැයි මට වැටෙන්න දෙන්නේ නැතුව මාත් එක්ක ලොකු පිරිසක් හිටියා. විශේෂයෙන්ම පවුලේ අය තමයි හැමදේටම හිටියේ. අම්මයි, තාත්තායි, මල්ලියි මගේ පවුලේ ඉන්නේ.
මේ චැනල් එකෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ඔබ සුබසාධන කටයුතුවලටත් යොදවනවා ?
ඒ වගේම මම යූ ටියුබ් එකෙන් ලැබෙන ආදායමෙන් කොටසක් සමාජ සුබසාදන කටයුතුවලටත් යොදවනවා. ගොඩක්ම දුර පළාත්වල ළමයින්ට පොත් සහ දුෂ්කර පළාත්වල ජනයාට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම වගේ කටයුතු කරනවා. මෙවර ගංවතුර තත්ත්වයට අපේ ප්‍රදේශත් යටවුණා. ඒ අවස්ථාවේදීත් ඒ අවට අයට කෑම බීමවලින් උදව් උපකාර කරන්නත් මේ ලැබෙන මුදල්වලින් කොටසක් යොදාගත්තා.
ඡායාරූප-ශාන් රූපස්සර