ආදරණීය පුතේ

පෙබරවාරි 10, 2025

පුතාට මතකද මම දවසක් කිවුවා අම්මා යමක් කිවුවොත් ඒ කියන දේ ගැන එක වරක් නෙවෙයි දෙතුන් වරක් හිතන්න කියලා. මම එහෙම කිවුවේ අම්මලා කවදාවත් දරුවන්ට වැරදි දෙයක් කරන්න කියන්නෙවත් නෑ. ඒ වගේම වරදක් වෙන්න නපුරක් වෙන්න කියලා හිතන්නේවත් නෑ. සමහර වෙලාවට අම්මලා කේන්තියට මොනවා කිවුවත් ඒක නරක චේතනාවෙන් නෙවෙයි කියන්නේ. දරුවා හදා ගන්න. නොමඟ නොයවා හදා ගන්න.

පුතා දන්නවා පුතාට බිරිය හමුවෙන්න ඉස්සෙල්ලා පුතාගේ සෑම දෙයක්ම බලාකියාගෙන උස් මහත් කළේ අම්මා කියලා. නිකං හිතලා බලන්න අම්මාගේ කුසේ තියාගෙන හිටිය එකවත් ලේ කිරි කරලා දුන්න එකවත් කැත කුණු කිසිම හිරිකිතයක් නැතිව ඇල්ලුවා කියන එකවත් නෙවේ; මොන්ටිසෝරියට දාපු පළවෙනි දවසෙම ඔයාව ඒකට දාලා ඈතට වෙලා උන්නා පුතා අඬන හින්දා. ඒත් ඇතුළට එන්න දුන්නේ නෑ ටීචර්. ඉස්කෝලෙ දාපු දවසෙත් එහෙම තමා. ඒ එදා ඉඳන් උසස් අධ්‍යාපනයක් ලබනකම්ම අම්මා තමා පස්සෙන්ම හිටියෙ. ඔයාට ඉතින් ටික ටික ලොකු වෙද්දි ඒ ආදරේ වදයක් වෙච්ච හැටි මම දැක්කා. ඒත් අම්මා අත ඇරලා දැම්මේ නෑ.

‘මේ වයසෙදි තමා දරුවා එක්ක ළඟින්ම ඉන්න ඕනේ...අනික නරක යාළුවො එකතු වෙන්න පුළුවන් වයස මේක..නරකට යොමුවෙන්න පුළුවන් වයස මේක ‘අම්මා කිවුවේ එහෙම.

අන්න එහෙම ලොකු මහත් කරලා නිකම්ම හිටියේ නැහැ. රස්සාවක් හොයා ගන්න උනන්දු කළා. ඒ පුතා හම්බ කරලා අම්මට සල්ලි ගෙනත් දෙන්න නෙවෙ ඔයා දියුණුවෙනවා දකින්න.

මතකද දවසක් අම්මා කිවුවා පුතේ වෘකයෙක් වෙයන් කියලා. එදා ඒක තේරුම් කරලා දුන්නද නැද්ද මන්දා. කොහොම නමුත් අම්මා කෙනෙක් හැටියට දෙන්න තියෙන ලොකුම ආදර්ශවත් කතාව ඒක කියලා නම් මම දන්නවා.

කවදා හරි වෘකයෙන් සර්කස් එහෙක නටවලා තියෙනවද. කවදාවත් නෑ. ලෝකෙ කොහේවත් නෑ. මොකද අන්න එහෙම කාගෙවත් අණකට නටවන්න බැරි සතෙක් වෘකයා. අන්න ඒ වගේ පුතාටත් කිවුවේ අනුන්ගේ අණට, කතාවට වැඩකරන රූකඩයක් වෙන්න එපා කියලා.

වෘකයා කවදාවත් මැරිච්ච සත්තුන්ගේ මළකුණු කන්නේ නෑ. ඒක කොයි තරම් ගෞරවාන්විතද කියලා තේරෙනවද. කාගෙවත් ඉඳුල් කන්න එපා.

වෘකයා තිරිසන් සතෙක්, සිවුපා සතෙක් වුණාට වෘකයා කවදාවත් තමන්ගේ මව එක්ක හෝ සහෝදරිය එක්ක සංවාසයේ යෙදෙන්නේ නෑ. වෘකයා තෝරාගන්නේ එකම කාලත්‍රයායි. ඒ කියන්නේ බිරියක් හෝ සැමියෙක් පමණයි. කාලත්‍රයාගේ මරණයෙන් පස්සේ මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් ඒ වෙනුවෙන් දුක්වෙනවා වැලපෙනවා.

හොඳට මතක තියා ගන්න වෘකයාට ධාර්මික පුත්‍රයා කියලයි සත්ත්ව විදාඥයන් හඳුන්වන්නේ. ඇයි දන්නවාද ඒ. වෘකයා තම දෙමවුපියන්ට ගෞරවය දක්වන මවුපියන්ට කීකරු සත්ත්වයෙක්. ඔවුන් තම දෙමවුපියන් මහලු වියට පත්වෙලා කෑම ටික හොයා ගන්න බැරි නම් මහලු දෙමවුපියන් ගුහාවේ රඳවා දරුවෝ දඩයම් කරලා කෑම ගෙනැවිත් දෙනවා.

ඉතින් අම්මා ‘පුතේ ඔයා වෘකයෙක් වෙන්න’ කිවුවේ ඇයි කියලා දැන් තේරෙනවා නේද.

ඔව් පුතේ වෘකයෙක් වෙයන්. ඒ උඹට හොඳ මිනිහෙක් වෙන්න තියෙන ධර්ම කතාවයි.

 

 

උපාලි බණ්ඩාර වීරසේකර