ධවල මන්දිරයේ නව මාධ්‍ය ලේකම්වරිය

පෙබරවාරි 10, 2025

 

ධවල මන්දිරයේ නව මාධ්‍ය ලේකම්වරිය වශයෙන් පළමු වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි තරුණිය දෙසට බොහෝ දෙනාගේ අවධානය යොමුවීම මවිතයට කාරණයක් නොවෙයි.ඇය, කැරොලින් ලෙවිට්. 27 හැවිරිදි කැරොලින් මෙතෙක් එම වගකීම බාරගත් ළාබාලම තැනැත්තියයි.

 

මේ දක්වා එම වාර්තාව උරුම වූයේ ජනාධිපති රිචඩ් නික්සන් සමයේ , 1969 දී මාධ්‍ය ලේකම් තනතුරට පත්වූ රොනල්ඩ් සීග්ලර්ට. ඒ වනවිට ඔහු සිටියේ 29 හැවිරිදි වියේ. තමන් පත්කළ

නව තරුණ මාධ්‍ය ලේකම්වරිය දැඩි වුවද ආකර්ෂණීය චරිතයක් බව ජනාධිපති ට්‍රම්ප්ගේ හැඳින්වීමයි. මාධ්‍ය ඉදිරියේ සිය හැකියාව විදහා දක්වමින් අමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ ජාතියක් කිරීමේ තමන්ගේ පණිවිඩය අමෙරිකා ජනතාවට මනාව සන්නිවේදනය කිරීමට ඇය සමත්වනු ඇතැයි ඔහු විශ්වාසය පළකර තිබුණි.

කැරොලින් , තම නායකයාගේ විශ්වාසයට සාධාරණය ඉටුකරනු ඇතැයි ඉකුත් සතියේ අඟහරුවාදා පැවති ඇගේ පළමු මාධ්‍ය හමුවේදීම පෙනෙන්නට තිබුණා. තනතුරට නවක වුවද සිය ක්ෂේත්‍රයට නවකයකු නොවන ඇයගෙන් පළපුරුදු මාධ්‍යකරුවන් රැසක් ඉදිරිපිට ආගන්තුක බවක් පළ නොවීම කැපීපෙනෙන කාරණයක්. සිය වෘත්තිය වගකීමේ බර දරා ගනිමින් ඇය කැමරා සහ මයික්‍රෆෝන සිය ගණනක් ඉදිරිපිට පෙනීසිටියේ සැහැල්ලුවෙන් .

 

ධවල මන්දිර ප්‍රවෘත්ති කාමරයේ මුල් පෙළේ මාධ්‍යයට පමණක් නොව නව මාධ්‍ය වෙත ද අවස්ථාව ලබා දෙන බව පැවසූ නව මාධ්‍ය ලේකම්වරිය, මේ කවර මාධ්‍යයක කටයුතු කළද නිරවද්‍යව හා විශ්වසනීයව ජනතාවට සන්නිවේදනය කරන්නැයි ඉල්ලීමක් ද කළා. මාධ්‍ය පිළිබඳ ජනතාව අතර විශ්වාසය බිඳවැටී ඇතැයි ඇය පෙන්වා දුන්නේ සමීක්ෂණ වාර්තා ද දක්වමින්.

අමෙරිකා ඉතිහාසයේ බලයට පත් වඩාත්ම විනිවිදභාවයෙන් යුතු හා ජනතාවට සමීපව කටයුතු කළ හැකි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව පැවසූ ඇය නිවැරැදිව හා විවෘතව සන්නිවේදනය කළහැකි අන් ජනාධිපතිවරයෙක් අමෙරිකා ඉතිහාසයේ බිහිව නැතැයි ද පෙන්වා දුන්නා.

" මා මෙහි,ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ ජනාධිපතිවරයා වෙනුවෙන්. ඒ සෑම අවස්ථාවකම සත්‍යය පැවසීමට මා බැඳී සිටිනවා"යනුවෙන් පවසමින් තම භූමිකාව නිසිලෙස ඉටුකිරීම ගැන ඇය පොරොන්දුවක් ලබා දුන්නේ පළමු දිනයේමය.

විචාරකයන් පවසන පරිදි, දේශපාලනය හා ප්‍රතිපත්ති අතර පරතරයක් නැතැයි පෙන්වීම මාධ්‍ය ලේකම් වශයෙන් ඇයගේ ප්‍රමුඛ කාර්යයක්.

 

හැම්ප්ෂයර්හිදී උපත ලැබූ කැරොලින් ශාන්ත ඇන්ස්ලම් කොලීජියෙන් නික්මෙන්නේ සන්නිවේදනය හා දේශපාලනය පිළිබඳ උපාධිධාරිනියක ලෙසයි. Fox News නාළිකාවේ කටයුතු කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව අත්දැකීම් ලබන ඇය ට්‍රම්ප් පළමු පාලන සමයේ දී ධවල මන්දිරයට පිවිසෙන්නේ පුහුණුලාබිනියක වශයෙන්. මුල දී ජනාධිපතිවරයාගේ කතා රචනයේ යෙදෙන ඇය පසුව සහකාර මාධ්‍ය ලේකම් වරියක ලෙස එවක මාධ්‍ය ලේකම් කෙලී මැක්එනනිට මනා සහායක් ලබාදුන් නිලධාරිනියක්. මුල්පෙළේ මාධ්‍යවලින් ට්‍රම්ප්ට එල්ල වූ අභියෝගවලට එරෙහිව ඔවුන් එක්ව මුහුණ දුන් අයුරු ඇයගේ අතීත භාවිතාව තුළ ප්‍රකටයි. මේ අත්දැකීම් සියල්ල තමාට මනා පන්නරයක් වූ අයුරු ඇය සිහිපත් කර තිබේ.

එවැනි අත්දැකීම් සමඟ 2022 වසරේ දී කොංග්‍රස වරම් ලබා ගැනීමට ද ඇය තරග කළ නමුත් ඊට අවස්ථාව නොලැබිණි. එසේ වුවද ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් කොංග්‍රස් සභිකාවක වූ එලින් ස්ටෙෆානිගේ සන්නිවේදන අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කරමින් ද ඇය අත්දැකීම් ලැබුවාය.

 

කැරොලින් විවාහ වී සිටින්නේ ඇයට වඩා 32 වසරකින් වැඩිමල්, 60 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු වන නිකොලාස් රොබට් සමඟයි.