කාන්තාභිමානයේ වචන ගිනිසිළුව සීතා!!

පෙබරවාරි 24, 2025

රජරටින් බිහි වූ කලාකරුවන් රැසකි. ඒ අතර පුවත්පත් කලාවේදියෝද වූහ. එහි බහුතරය පුරුෂයෝය. ස්ත්‍රීන් පුවත්පත් කලාවට ආවේනම් ඒ විරල වශයෙනි. සීතා රංජනී, ඒ අතර ප්‍රමුඛය.

ඇය කලක සිට රජරට සේවයට කවි, ගී, නිසඳැස් වැනි පද්‍ය රචනා කළ අතර, ඉන් පසුව කොළඹට පැමිණියාය.

කොළඹ අග නගරය වූ හෙයින් හා කාන්තාවක් ලෙස පුවත්පත් කලාවට ආ ගමන නිසා සීතා රංජනීට මහත් අභියෝගයක් විය. එකල පුවත්පත් කලාව හා මාධ්‍ය ක්ෂේත්‍රය අරක්ගෙන සිටියේ ප්‍රභූ පන්තියේ සහ වරප්‍රසාදිත පන්තියේ අයවලුන්ය.

ඇය එම පන්තියට අයත් නොවූ, සාමාන්‍ය ග්‍රාම පන්තියේ කාන්තාවක් වූ හෙයින් සීතාට තම අභියෝගය ජය ගැනීමට මහත් වූ වෙහෙසක් දැරීමට සිදුවිය. පසුව ජාතීන් අතර සමානාත්මතාව සඳහා වූ ව්‍යාපාරය හෙවත් මර්ජ් සංවිධානය මුල් පුරුක වූ චාල්ස් අබේසේකර හා සුනිලා අබේසේකර යන අය හඳුනා ගැනීමට ලැබීම සීතාගේ සිහිනය සැබෑ කර ගැනීමට මහඟු අවස්ථාවක් විය

එහි කාන්තාවන් සඳහා වූ සාමූහිකයේ ප්‍රකට ක්‍රියාකාරිනියක වූ සීතා පසුව මර්ජ් සංවිධානයෙන් නිකුත් වූ " යුක්තිය" පුවත්පතේ ආරම්භක සාමාජිකාවක් වූවාය. විශේෂයෙන් යුක්තිය පුවත්පතට නවමු අත්දැකීමක් ගෙන එමින් කාව්‍යකරණයට පිවිසෙන ඇය, කලාව හා සහජීවනය යන මාතෘකා ඔස්සේ පද රචනා, ගී කවි, නිසඳස් ලියා පළ කරන්නට පටන් ගත්තාය.

සීතා නිර්භීත හා එඩිතර කාන්තාවකි. ඒ නිසාමදෝ සීතාගේ කවි ගී තුළද දක්නට ලැබුණේ ස්ත්‍රීවාදී අදහස් ය. ඒ නිරූපණය තුළින් එකල සමාජයේ වෙනස්ම පැතිකඩක් නිර්මාණය විය. කාන්තාව පිළිබඳ සෞන්දර්යාත්මක හා රාගාධික කවි ගී පළ කෙරෙන සමයක සීතා ජවසම්පන්න කවි රැසක් ලියා පළ කළාය.

කාන්තාව හා මව යන මාතෘකාව යටතේ ඇය පළ කළ කවි ඊට නිදසුන්ය. යුක්තිය පුවත්පතේ ආරම්භක සාමාජිකාවක් වූ නිසාම ඇයට නිදහසේ නිර්මාණශීලීව තම පෑන හසුරවන්නට අවස්ථාවක් උදාවිය.

එකල විකල්ප පුවත්පත් ධාරාවේ ප්‍රමුඛ පුවත්පත් අතර යුක්තිය පුවත්පත ඉහළින්ම පැවති නිසා උතුරු හා දකුණ අතර පාලමද සකස් කරනු ලැබුවේ යුක්තිය පුවත්පතයි. පසු කලෙක සීතා රංජනී උතුරේ බොහෝ කවීන්ගේ හා කිවිඳියන්ගේ නිර්මාණ සිංහල භාෂාවෙන් යුක්තිය පුවත්පතේ පළ කිරීමට අවස්ථාව ලබා දුන්නාය.

එය මෙරට කාව්‍යකරණයේ සුවිශේෂී අවස්ථාවකි. "සිව රමණී" වැනි එඩිතර හා ආන්දෝලනාත්මක කවි ලියූ කිවිඳියන්ගේ නිර්මාණ සිංහල පාඨකයන්ට හඳුන්වා දීමට ඇය උත්සුක වූවාය. ඉන් සිංහල කාව්‍යකරණය පෝෂණය වූවා පමණක් නොව උතුරේ එකල පැවති තරුණ නැගිටීම්වල හැඟීම් ද සිංහල විප්ලවීය මාවතේ සනිටුහන් විය.

සිංහල හා දෙමළ දෙමල වාර්ගිකත්වය එකම හුයකින් බඳින්නට සීතා රංජනීය දක්වන ලද වෙහෙසකාරී කටයුත්ත මම සියැසින් දුටුවෙමි. ඇතැම් අවස්ථාවලදී එම පුවත්පත් කතෘ මණ්ඩලය හා තර්ක විතර්ක කරමින් උතුරේ ජාතිවාදී නොවන සහ ජාතිකවාදී නොවන නිදහස් කවීන්ගේ කවි සිංහල පාඨකයාට ගෙන ඒමට පරිවර්තනය හා අනුවර්තන මගින් ඇය වෙහෙස වූවාය.

සීතාගේ මෙම ව්‍යායාමය ඉතාම ජයග්‍රාහීව අවසන් වූයේ අන් කිසිදු පුවත්පතක පළවූ කවිවලට නොදෙවැනි කවි හා උතුරේ කාව්‍ය තතු විවරණ,සහ යුක්තිය පුවත්පත්වල පළවූ නිසාවෙනි.

අනතුරුව යුක්තිය පුවත්පතේ උපසංස්කාරකවරියක ලෙස සීතා සිදුකළ මෙහෙය ඉතා වටිනා එකක් වන්නේ ඇය අතගැසූ ජාතීන් අතර සහජීවනය එදා කිසිවෙකු අත නොගැසූ කර්තව්‍යක් වූූ බැවිනි.

ඇය යුක්තිය පුවත්පතේ මාංඩලික වාර්තාකාරිනියක ලෙස සිටි එකම කාන්තාව වූවා පමණක් නොව ක්‍රියාකාරී සාමාජිකාවකද වූවාය. අනතුරු අනූව දශකය අගභාගයේ යුක්තිය පුවත්පතේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු "නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ" අප සමඟ සිටි ආරම්භක සාමාජිකාවන් අතර සිටි සීතා රංජනී එම ව්‍යාපාරය බිහි කිරීමට සෑහෙන්න වැඩ කොටසක් කළාය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එකල පැවැති පාලන ක්‍රමය සමඟ සෘජුව ගැටුණු අතර ව්‍යාපාරයක් ලෙස නිර්භීත හා එඩිතර තීරණ ගත් සංවිධානයක් විය. එම සංවිධානයේ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රබල සාමාජිකවක වූ ඇය පසු කලක එහි ඉහළ පෙළේ භූමිකාවක් නිරූපණය කළාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ,එකල මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට මෙන්ම කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අදහස් පළ කළ, ඒ වෙනුවෙන් කැපවූ සංවිධානයක් විය.

රජ රටින් බිහිවූ සීතා රංජනීගේ ඉවසීම, කැපවීම හා ඉලක්ක ජයගැනීමේ කුසලතා නිසා ඇයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩ කටයුතු කරගෙන යාමට පහසු විය.

සීතාගේ රචනා ශෛලි ඉතා ළගන්නා සුළුය. ඇය කාව්‍යකරණයේ යෙදී සිටි බැවින් කෙටි හා නිරවුල් වාක්‍ය ඇයගේ රචනාවල බහුලව දක්නට ලැබිණි. ඒ නිසා පාඨකයාට ඉතා පහසුවෙන් ඇය විසින් ලියන ලද පුවත් වාර්තා කියවීමට හැකි විය. ප්‍රවෘත්ති වාර්තාකරණයට වඩා ඇය යොමු වූයේ විශේෂාංග ලිපි රචනයටය. සීතා රංජනී ඉතා සරල දිවිපෙවෙතක් ගත කළ අනාගතය දැක මෙරට සුවහසක් ජනයාගේ ප්‍රාර්ථනාව වෙනුවෙන් දිවියගෙවූ පුවත්පත් කලාවේදනියකි.

ඇය මෙරට කාන්තා පරපුරේ අභිමානය රැක ගැනීමට මෙන්ම කාන්තා අයිතිය වෙනුවෙන් නිරන්තරව පෙනී සිටි සෞම්‍ය කාන්තාවකි .