මඟ හැරුණු හීනයට හීනියට පණ දුන්නු උපාධිධාරිනිය

පෙබරවාරි 24, 2025

ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ සනීපාරක්ෂක සේවිකාවක ලෙස කටයුතු කරන යමුනා උදයංගනීව දැන් ශ්‍රී ලංකාවම දන්නේ හඳුනන්නේ උපාධිධාරීනියක ලෙසටය.

තමාගේම උත්සාහයෙන්ම ජීවිතය ජයගත් ඇය නිරතුරුවම තමා විශ්වාස කළ ගැහැනියක වූවාය. ඒ නිසාම ජයග්‍රහණය තමා වෙතටම සමීප කර ගැනීමට මේ සුවිශේෂී චරිතයට හැකිවිය. "ඉගෙන ගන්න වෙලාවක් නෑ" තවත් ඉගෙනගෙන වැඩක් නෑ" වැනිදේ කියමින් කල්මරන සහ සියල්ල අත්හැර දමන සියලුදෙනාට ඈ පරමාදර්ශයකි. මේ ඇගේ කතාව අපි ඔබ වෙත ගෙන එන්නේද ඒ කතාවෙන් බොහෝ දේ ඔබගේ ජීවිතයටද එක් කර ගත හැකි නිසාමය. දැන් අපි මේ සුවිශේෂී උපාධිධාරිනිය සමඟ කතා කරමු.

"මගේ ගම ගාල්ල. මම රිච්මන්ඩ් විද්‍යාලයට එන්නේ 2017 වසරේ ඔක්තෝබර් 31 වැනිදා. ඒ සනීපාරක්ෂක සේවා සහායකවරියක් විදිහට. මට දුවකුයි පුතකුයි ඉන්නවා. දුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. එයා ගාමිණි විද්‍යාලයේ ඉගෙන ගන්නේ. පුතා 8 ශ්‍රේණියේ. පුතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නේ. 2018 දී තමයි මගේ දුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී හිටියේ. දුව ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරද්දී මට තේරුණා මටත් මේ එක්කම ඉගෙනීම පැත්තට උනන්දු වුණොත් දුවත් තව උනන්දු වෙයි කියලා. එහෙමයි මම ආයේ ඉගෙන ගන්න පටන් ගත්තේ."

කොහොමද ඒ ගමනට පළමු පියවර තැබුවේ?

මගේ යෙහෙළියක් තමයි පාසලේ විදුහල්පති සම්පත් වෙහෙරගොඩ සර්ට මට ඉගෙන ගන්න තියෙන ආසාව ගැන කිවුවේ. සර්ට ඒ ගැන කියන්න හේතුව වුණේ පොත්පත් සහ විෂය නිර්දේශය ගැන මට ඒ තරම් ලොකු දැනුමක් නැති නිසා සර්ගෙන් ඒකට උපකාරයක් ගන්න. ඊට පස්සේ උසස් පෙළ අංශය භාරව සිටි නියෝජ්‍ය විදුහල්පති කැලුම් මුණසිංහ සර්ට කියලා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය විෂයන් පිළිබඳ අවබෝධයක් ලබා දුන්නා. හාමුදුරුවෝ තමයි බෞද්ධ ශිෂ්ටාචාරය කළේ. අජන්තා මිස් දේශපාලන විද්‍යාව, ප්‍රසාද් සර් සිංහල භාෂාවත් කළා.

ඉගැන්වීම් කටයුතු සිදු වුණේ කොහොම ද?

සවස දෙක වගේ වෙනකොට අපේ වැඩ ටිකසේරම අපි ඉවර කරනවා. 2 ඉඳලා 5 වෙනකම් මට ඉගැන්නුවා. බෞද්ධ ශිෂ්ටාචාරය නම් පන්සලට ගිහින් ඉගෙන ගත්තේ. පාසලේදී අනිත් විෂයන් දෙක ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් උසස් පෙළ විෂය නිර්දේශය ඉවර කරන්න අවුරුදු දෙකක් යනවා. ඒත් අපිට තිබ්බේ මාස 4ක කාලයක්. මගේ ගුරුවරු කිවුවා කමක් නැහැ අපි මේ මාස 4 දි විෂය නිර්දේශය පුළුවන් විදිහට ඉවර කරලා විභාගේ ලියමු කියලා.

උසස් පෙළ කඩඉමත් ඔබ ජයගත්තා...?

දුව අගෝස්තු 7 ශිෂ්‍යත්ව විභාගය ලිව්වා. ඒ සතියෙමයි මම උසස් පෙළ සිංහල විෂයට පෙනී හිටියේ. දුව 152ක් ලකුණු අරගෙන තිබුණා. මම උසස් පෙළට සම්මාන සාමාර්ථ තුනක් ගත්තා. මගේ උසස් පෙළ ප්‍රතිඵලයට හැමෝම සතුටු වුණා. ගොඩක් අය මාව අගය කළා. එයාලගේ සතුට දැක්කම තව ඉගෙන ගන්න ආස හිතුණා.

ඒ ආසාවත් එක්ක ද බාහිර උපාධි සඳහා අයදුම් කළේ?

ඔව් ඒ ආසාවත් එක්ක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියට ඉල්ලුම් කළා. කැලුම් මුණසිංහ සර් තමයි උපාධි ඉල්ලුම් කරන අයදුම්පත්‍රය පවා ඩවුන්ලෝඩ් කරලා හදලා දුන්නේ. ඊට පස්සේ උපාධිය කරන්න තෝරාගැනීමේ පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණා. ඒකෙනුත් මම සමත් වුණා. ඊට පස්සේ තමයි උපාධිය කරන්න පටන් ගත්තේ. මම දේශනවලට සහභාගී වුණේ ඔන්ලයින් හරහා. ඊට අමතරව සිලබස් එක හොයාගෙන ඒක වෙනම අධ්‍යයනය කළා. පාසලේ පුස්තකාලයෙනුත් අවශ්‍ය තොරතුරු ගත්තා. පසුගිය ජනවාරි 11 උපාධි ප්‍රදානෝත්සවයේදි ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධිය ලබා ගත්තා.

අද අධ්‍යාපනය ගැන මොකද හිතෙන්නේ?

අධ්‍යාපනය කියන්නේ ගැහැනියකට ආභරණයක්. අද කාලේ විවාහ යෝජනාවලදිත් අම්මා තාත්තා රජයේ සේවකයෝද, ගුරුවරුද උගත් ද කියලනේ බලන්නේ. අම්මා සනීපාරක්ෂක කටයුතු වල නියුතු කෙනෙක් කියලා කිවුවම මගේ දරුවන්ට තියෙන තැන මොකක් ද? එහෙම බලද්දි ඉගෙනීම කියන දේ සෑහෙන වටිනවා.

දැන් ඉස්කෝලෙදිත් පුංචි දරුවෝ මං ළඟට දුවගෙන ඇවිත් කියනවා ඇන්ටි උපාධි ගන්න වීඩියෝ එක අම්මලා අපිට පෙන්නුවා කියලා. ඒ මවුපියෝ වුණත් ඒ දරුවන්ට මගේ වීඩියෝ පෙන්නලා තියෙන්නේ ආදර්ශයක් ගන්නනේ. මගේ ඉගෙනීමට තියෙන උනන්දුවත් එක්ක දරුවෝ දෙන්නත් හොඳට ඉගෙන ගන්නවා. දැනටම දුව කියනවා අම්මත් ඩිග්‍රියක් ගත්ත එකේ මම ඩිග්‍රියක් නොගෙන කොහොමද කියලා.

පාසලෙන් ලබාගත් පන්නරය ගැන කතා කළොත්?

රිච්මන්ඩ් විද්‍යාලය කියන්නේ පින් බිමක්. මේ පාසලට එන කවුරු වුණත් දෙයක් ලබාගෙන තමයි පිට වෙන්නේ. පාසලෙන් මට ලැබුණු ආලෝකය කියලා නිම කරන්න බැහැ. මම ගියේ කිහිඹිය ගාමිණි විද්‍යාලයට. ඉගෙන ගන්න ආසාව පොඩි කාලේ ඉඳලම තිබුණා. ඒත් කාලෙත් එක්ක ඒ දේවල් මට මඟහැරුණා. ඉතින් මට මඟහැරුණු දෙයක් තමයි මම මේ ළඟා කර ගත්තේ. රිච්මන්ඩ් විද්‍යාලයෙන් තමයි ඒ ගමනට පාර කැපුණේ. මම කියන්නේ ලැබෙන කිසිම අවස්ථාවක් මඟහැරගන්න එපා. සමහර විට ඒ ලැබෙන අවස්ථාවෙන් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි.

උපාධිධාරිනියක් දක්වා යන්න ලොකුම ශක්තිය වෙන්නේ ඔබේ සැමියා.

ඔහු අජන්ත නන්දන. එයා ත්‍රීවීල් රියැදුරෙක්. මගේ ඉගෙනීමේ කටයුතුවලට ගොඩක් උදවු කළේ මගේ මහත්තයා. විභාගවලට සල්ලි බඳිද්දී එයා ළඟ සල්ලි නැති වුණොත් එයා පොලියට හරි අරගෙන සල්ලි බඳිනවා. ඉගෙන ගන්න වැඩවලට වියදම් කළේ එයා. සමහර දවසට මම පාඩම් කර කර ඉද්දි එයා ඇවිත් කියනවා අද උයන්න ඕනේ නැහැ. කඩෙන් කමු කියලා. ඒ හයිය මට ගොඩක් වටිනවා. දරුවෝ දෙන්නව පංති එක්කන් යන වැඩ වගේම ගෙදර දොරේ වැඩවලටත් එයාගෙන් ලොකු සහායක් ලැබෙනවා. මම හිතනවා හැම කෙනෙකුටම බලාපොරොත්තුවක් තියෙනකොට ඉහළටම යන්න පුළුවන් කියලා.

 

[email protected]