වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
අවසන් මිනිත්තුව

රංගනය නිමාකරේ ජරාබේ ටැපැටියෝ කියන මෙක්සිකානු සාම්ප්‍රදායික නර්තනයෙන්. අපිට පෙර නැටූ ජෝඩුවගෙ නර්තන අඩි අල්ලගන්න අපට පුළුවන් වුණා. මේ චාරිකාව මනස්කාන්තව ගෙවෙනව නේද කියල හිතුණා.
"නෙහාර අර වේදිකාවෙ ලස්සන." මට කෑගෑසුණා. උතුරින් ස්පාඤ්ඤයත්, ග්වාඩලාජාර මනරම් නගරයත් අතර ඇති සුන්දර රිවීරා මායාහි අප ඇවිදන් ගියා. විශාල කෞතුකාගාර ඒවායේ තබා ඇති නොයෙක් සුන්දර අපූරු කලා නිර්මාණ දෑසින්ම දැකගත්තා. බොජුන්හලකට ගොඩවැදුණු අපි රසවත් මෙක්සිකානු කෑම, බීම වර්ග කෑවා, බිව්වා.
"ඔඕ ... නෙහාර...! වැටෙයි ඔයා.." ටිකිලා පානය නිසා නෙහාර ටිකක් මත්වෙලා. ටිකිලා කියන්නේ මෙක්සිකෝවට ආවේණික සැර වැඩිම, මත් බීමක්. මටත් බීපු සරුවත් එකට මත් වුණා වගේ නුහුරු ගතියක් දැනුණා. ඒ මනරම් වූ අවන්හලින් එළියට බැහැපු අපි, රිවීරා මායාහි සල්පිල්වලින් පිරි වර්ණවත් වූ මාවත් දිගේ ඇවිද ගියා. එක පාරටම දැක්කෙ විවෘත අවන්හලක එහෙම් පිටින් ඌරෙක් බේක් කරන විදිහ. ඒක මට අප්‍රසන්න දසුනක් වුණා. බඩ අඹරවාගෙන ඇඟ සීතල වෙලා වමනෙ එන්න ආවා... ඕක්.. ඈ හ් ....අනේ නෙහාර!
මොකක්, පිස්සුද තමුසෙට මොන නෙහාරෙක් ද?... බලනව... ඈ දැන් නමයට කිට්ටුයි. අර පොඩි එවුන් දෙන්න කෑම උයනවා. තමුසෙ මෙතැන දවල් හීන දකිනවා. මෙක්සිකෝවේ නෙවෙයි අංගොඩ... අංගොඩ... තමුසෙට යන්න වෙන්නෙ.”
දෙයියනේ, දවල් වෙලා ඉක්මනින් වැඩ පටන් ගත්තා. බැණුමට වෙනද සටපට ගෑවට අද නිහඬව ඉන්න ඕෙන.
"අම්මා ඔයා හෙට මේ වෙලාවට මෙක්සිකෝවේ ෂා...මරු මරු..."
චූටි දෝණිගෙ හිනාවට දුකත් හිතුණා. ඒත්...ඉතින් දවස් දාහතරක්නෙ, මොකට දුක්
වෙන්න ද..?.
" ඔව් ඉතින් යාළුවෝ එහෙම තමයි චූටි. දැක්කනෙ. කොහොමද ඒකට අපේ එවුන් කොළඹට යන්න හයිවේ ටිකට් එකක් බුක් කරාවිද..?”
"මේ ....මෙක්සිකෝවට යන්න මෙක්සිකෝවට ....ඔන්න යාළුවො”
අම්මටත් තාත්තටත් බේත් දෙන විදිහ ලියලා තියලා ගෙදරට ඕෙන හැමදේම ගෙනාවා. නැත්නම් මෙක්සිකෝවේ නෙවෙයි අපායට ගියත් යෝජනා චෝදනා. අමාරුවෙන් වුණත් කෑම උයන්න දෝණිලා දෙන්නට පැවරුවෙ එයාලගෙ ලිස්ට්වල බඩු ගේන පොරොන්දුව පිට. එදා දවස හරි කාර්යබහුලව ගෙවුණා. රෑ දෙකට හයිවේ එකේ කටුනායකට ආවා. මහත්තයයි, පුතයි එක්ක. ගුවන් යානය තියෙන්නෙ හරියටම උදේ හයට. විදුලි එළිවලින් ආලෝකවත් වෙලා තිබුණු කටුනායක ගුවන් තොටුපොළට අප ඇතුළු වුණා. කියාගන්න බෑ දැනුණ සතුට. කොහෙ කොහෙ ඇවිදින්න යනවද කියල මවමින් උන්නේ .
අලුත් ඇඳුම් ඇඳලා මෙක්සිකෝවේ ලස්සන තැන්වල ඇවිදින්න යන විදිහ. ලෝක නගරයක් වන මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි සුමායා ජාත්‍යන්තරය, කෞතුකාගාරය නරඹන්න. ඒ වගේම ඒකෙ තියන විවිධ වූ විශාල කලා නිර්මාණ කැමරාවට හසුකරගන්න. සුන්දර සුදු වැලි සහිත වෙරළ කන්කුන්හි ටර්කියුයිස්, ආකර්ෂණීය වර්ණිත වතුර සහිතව විහිදී යන මනරම් දසුන් දෑසින් දකින්න. අපූර්ව පුරාණ මායා නගර දකින්න. ඒ වගේම පුදුමය දනවන මනස්කාන්ත යැයි කියන උද්‍යාන, නරඹන්න තීරණය කළා. රසවත් කෑම ජාති, ගන්න....ඒත් ...මේ යාළුවා කවුද ?
පතී...! ඔව් පතී කියන්නෙ නම් මාත් එක්ක නාට්‍යය කරපු නෙහාරගෙ යාළුවෙක්. ඒත් නෙහාර ජර්මනියටනෙ ගියේ. මීට අවුරුදු දහ අටකට විතර කළින් මගෙ හිත දිව්වෙ අතීතෙට. ඉස්සර නෙහාර එක්ක රඟපාපු නාට්‍යවල චරිත මොනතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාපු ඒව ද. ඒ වගෙම නෙහාර එක්ක මඩොල් දූවට කී සැරයක් නම් ගියා ද. ඒවයෙ රසවත් බව බෝට්ටුවේ ගමනට මම කොයිතරම් ආස කරා ද. ඇත්තටම ඒ කාලෙ ළමයි දාලා නෙහාර එක්ක මම පැනලායයි කියල කීදෙනෙක් නම් හිතුව ද. මට ඉබේටම හිනා ගිය නිසා වටපිට බැලුවේ පුතාවත් දැක්ක නම් කියලා. නෙහාර එක්ක කොයිතරම් ආදරණීය සිප වැලඳ ගැනීම් තිබුණා ද, අපි තනිවුණු වාර කොතෙක් නම් තිබුණා ද ඒව රහසක්ම වුණා. අපේම කතාවක් අපිට මඟහැරුණා. පතී අපට ළඟින් වුන්නු ඒ සුන්දර අතීතය වර්තමානය වෙලා ආව වත්ද ?
මේ ඒ පතී ම ද...?
ඒත් මේ ...ශ්‍රී කියන කෑල්ලක් ඌට තිබුණේනෑනේ. නෙහාරම ද මේ ටිකට් එක මට එව්වෙ.
හිතේ කෝටියක් ප්‍රශ්නත්, පිළිතුරුත් අතරෙදි එකපාරටම කාලයේ දිගුව නිම වී අවසන් මිනිත්තුවහි ගුවන්යානය කරා යා යුතුව තිබුණා. පුතත්, මහත්තයත් සිප වැලඳ ගැනීමෙන් පස්සේ ඇස් දෙකෙන් ආපු කඳුළු පිහිදාගත්ත මම ආපසු හැරිලා බැලුවා. ඒ දෙන්නා ඈත ඉඳගෙන මට අත වැනුවා.
මෙක්සිකෝව බලා පැය කිහිපයක ගුවන් ගමන සුන්දර වූ අලුත්ම අත්දැකීමක්. ගමන පුරාම කියාගන්න බැරි සතුට, ආශාව වගේම ලොකු කුතුහලයක් පිරිලා තිබුණා. නෙහාර දකිනකම් මම නොඉවසිල්ලකින් උන්නනෙ. දිගු ගුවන් ගමනකින් පස්සෙ මම මෙක්සිකෝවට ඇවිත්. දෙයියනේ මේ දැවැන්ත ගුවන් පර්යන්ත. නුහුරු දසුන් නරඹමින් මම ගුවන් තොටුපොළට සේන්දු වුණා. බෑගය චෙක් කරලා එළියට යන්න කලින් ෆෝන් එක ඔන් කරලා ගෙදරට කෝල් කරා. ඒත් ඒ එක්කම කෝල් කිහිපයක් මගෙ මොබයිල් එකට ආවා. ඇමතුම් නුහුරු නම්බර් දෙකකින්. එදා මෙක්සිකෝවේ හොටෙල් එකට මගෙ මොබයිල් නම්බර් එක දුන්නා ෂුවර් එකටම එහෙන් වෙන්න ඕෙන. ෆෝන් එක ආන්සර් කරල කනට තියා ගත්තා." හලෝ මැඩම්. මම පත්මා. මැඩම්ගෙ මහත්තයා මගෙ යාළුවා මට ඔයා ගැන බලන්න කියල , ඔයාගෙ හස්බන්ඩ් මේ විස්තර දුන්නෙ මැඩම්. ඔයා මෙක්සිකෝවට එන්න එපා ඉක්මනින් ආපහු යන්න.
ඔය ටිකට් එවපු ශ්‍රීපති, රොෂේන් කියන දෙන්නා මෙහෙ ඉන්න ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයො. කොකේන් නිෂ්පාදනයේ රජවරු. මැඩම් මේ වෙලාවේ මම ඉන්නෙ අප්‍රිකාවේ සංචාරයක. මම හිතන්නෙ මැඩම් එයාර්පෝට් එකට එන ගමන් වෙන්න ඇති. ආපහු යන්න." දෙයියනේ ! මේ රොෂේන්, මම වීසි වුණේ අතීතෙට. මම මනමේ කුමාරි. නෙහාර මනමේ කුමාරයට අඳිද්දි , රොෂේන් වැද්දට අැන්ඳා, පතී පසුතල නිර්මාණය කළා. එදා රොෂේන් නෙහාරට ඇත්තටම කඩුවකින් අනින්න ගියා. අර පත්ම අක්කගෙ යාළුවා තව මොනවහරි කියවගෙන ගියා වගෙ මතකයි. ඒ එක්කම මගෙ අතින් මොබයිල් එක අතහැරුණා. පුතාගෙ ඇස් දෙකේ ඡායාවත්, බොනීටෝ හුවර්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නැමති දිලිසෙන පුවරුවත් අපැහැදිලි වෙමින් ඇස් කළු බෝල මත තිබුණා.
පසුවදන,
ආසියාතික ගැහැනු බොහොමයක් කුටුම්බගත ජීවිතය තුළින් නික්ම කිනම් හෝ සංචාරයක සතුටක් සොයා යෑමට සිහින දකින බැව් නොරහසකි. එය වරදකාරී හැඟීමකින් නොවූවද එවන් වූ නිදහසක් ආසියාතික ගැහැනියකට සිහිනයක්ම පමණි. යුතුකම්, වගකීම් මිස චාරිකාවක යන්නට තම පාසල් කාලයේ මිතුරියක හා දවසක දෙකක චාරිකාවක් යෑමට විමසුවත් කඳුළු සලන තරම් වරදකි. එයද වේදනා විඳින්නට සිදුවන කරුණක්ව සතුට මවාපාමින් දිවිගෙවන ගැහැනුන් කොතෙක් නම් වේද? තම පවුල සෙනෙහසින් රකිමින් වුව තමන්ට, තමන් වීමට ඉඩහසර ගිලිහී ජීවිතය තුළ සතුට, විනෝදය, පෙර තමන් කළා වූ වෘත්තීය පවා සිහිනයක් වූ ගැහැනුන් නිදහස් යැයි සිතා සකසා ගන්නා හෝ සැකසෙන්නා වූ කටයුතු, ගමන් බිමන් පවා අනපේක්ෂිත වූ වේදනාවට නතුවන ඒවද විය හැකිය. රිදුම් පමණක් අපව හඹනවා නොවේ දැයි ඇය අවසන් මිනිත්තුව තුළදී විඳවන්නට ඇත, ගැහැනියකටත් සෙනෙහසින් පිරි නිදහස්, සුරක්ෂාවෙන් සපිරි ලොවක් තැනේවා යැයි ගැහැනියක වශයෙන් මම ප්‍රාර්ථනා කරමි.