වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ළදලු ඇඟිලි තුඩු අගකින් නෙළන්නී කහටක් නැතිව ජීවිතයම දිනන්නී

එකිනෙකාට නොපෙනෙන මීදුම. දරාගන්න බැරි සීතල හිස් අහසින් තුහින වැටෙන උදෑසනක්. උදෑසනින්ම තේ දලු කූඩයක් පිටේ තබා ගත් ගැහැනියක්..
මේ කතාව මම පටන් ගන්නේ එතැනින්. මුලින්ම මම ඇය දිරිය ගැහැනියක් කියලා කියන්නේ ඇගේ කතාව මම දැන් දන්න නිසා. දරුවෝ තුන්දෙනෙක් එක්ක තනි වෙච්ච රාජලක්ෂ්මී කිටි කිටියේ ගැහෙන හීතලත් එක්ක මේ පොරබදන්නේ තමන්ගේ ජීවිතය දිනන්න. අසරණ වෙච්ච වෙලාවේ ඉඳලම රාජලක්ෂ්මීට තිබුණේ දියුණු වෙනවා කියන අරමුණ විතරයි. ඒ නිසා ඇය නිතරම උත්සාහ කළේ දිනන්න. අද ඇය තැබූ ජයග්‍රණයට ඒ සිතුවිල්ල මුල්වුණු බව රාජලක්ෂ්මී අපට කියනවා. එහෙනම් කවුද මේ රාජලක්ෂ්මී. පසුගියදා ග්‍රේට් වෙස්ටන් වතුයායේ පැවති වේගවත්ම තේ දලු නෙළන්නිය තේරීමේ තරගයේදී විනාඩි 15ක් වැනි කෙටි කාලයකදී තේ දලු කිලෝ 8ක් නෙළා ජයග්‍රහණය හිමිකරගත් ඇය ගැනයි මේ විශේෂ කතා බහ. අපි තේ දලුවන් කහටක් නැති රාජලක්ෂ්මීගේ එඩිතර හිත කියවමු.
"මම වයස අවුරුදු 19 ඉඳලා තේ දලු කඩනවා. දැන් මට වයස 36ක් වෙනවා. මගේ ආච්චි කළෙත් තේ දලු කඩන එක. ඊට පස්සේ මගේ අම්මා තේ දලු කඩන්න ගත්තා. දැන් මං කරන්නෙත් ඒකමයි. අම්මා නම් ඉන්නවා. තාත්තා ජීවතුන් අතර නැහැ. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. අපේ මුළු ජීවිතේම ගෙවුණේ තලවකැලේ මේ තේවතු එක්ක. මම අවුරුදු 18 වෙද්දිමයි විවාහ වුණේ. ලොකු දැනුම් තේරුමකින් නෙවෙයි විවාහ වුණේ. එයා ත්‍රී වීල් හයර් කළා. අපිට දරුවෝ තුන් දෙනෙක් ලැබුණා. පුතාලා දෙන්නයි දුවයි. ලොකු පුතාට 18යි. දෙවැනියට 15යි. දුවට වයස 9යි. අපේ කසාදේ වැඩි කල් තිබුණේ නැහැ. එයා වෙන කසාදයක් කරගෙන කොළඹ ගියා. ලොකු දරුවෝ දෙන්නා දැන් එයා ගාව. දුව මං ළඟ. ඔහොම තමයි ජීවිතේ හැමෝටම එක වගේ ලැබෙන්නේ නැහැනේ."
මේ දවස්වල මේ පළාතේ හැමෝම කතා වෙන්නේ රාජලක්ෂ්මීගේ තේ දලු කැඩිල්ල ගැනනේ..?
ඒක මට ලොකු දෙයක් නෙවෙයි. මොකද මගේ මුළු ජීවිතේම ගෙවුණේ මේ තේ දලු එක්කනේ. මේ වතු යායේ තිෙයන හැම තේ ගහක් ගැනම මම දන්නවා. ඒ තරමට ඒ ගස් මට හරි ළඟයි. මාත් එක්ක ගොඩක් අය තේ දලු නෙළනවා. මේ රස්සාව මේ පළාතේ අයට උපතින්ම වගේ උරුම වෙනවා. එකම පවුලේ අම්මලා දුවලත් එකට වැඩ කරනවා. මේ ජයග්‍රහණය ලබන අවුරුද්දේ තව කෙනෙක්ට ලැබෙනවට මම හරි කැමති. මොකද මේ ජීවිත කාලයේදී පොඩිම අවස්ථාවකදි හරි මොන විදිහකින් හෝ පිළිගැනීමක් ලැබෙනවට ඕනෑම ගැහැනියක් කැමතියිනේ.
මේ තරගය පැවැත්වුණේ කොහොමද?
ග්‍රේට් වෙස්ටන් වත්තේ කොට්ඨාස හතරක් තියෙනවා. ඒකෙන් 12 දෙනෙක් ගත්තා තරගයට තේ දලු නෙලන්න. ඊට පස්සේ එ්කෙන් තුන් දෙනෙක් තෝර ගත්තා. ඒකෙන් මං පළමු ස්ථානය ගත්තා. ඊට පස්සේ තමයි මාව රදැල්ල වතුයායට එක්කන් ගියේ. ඒකේ තරග කරන්න 42ක් ආවා. මම තමයි එතැනිනුත් පළමු තැන ගත්තේ. විනාඩි 15ක් ඇතුළත මම තේ දලු කිලෝ 8ක් කැඩුවා. මට තෑගී විදිහට ලක්ෂ 6ක විතර වවුචර් ලැබුණා ගෙදරට ගෘහ උපකරණ ගන්න. තව ස්මාර්ට් ෆෝන් එකකුත් ලැබුණා. ඒ හැමදේම ඉතින් දුවගේ අනාගතය වෙනුවෙන් තමයි යොදවන්න බලාපොරොත්තු වෙන්නේ.
තේ දලුත් එක්ක දවස ගෙවෙන්නේ කොහොම ද?
මම උදේ පාන්දරම නැඟිටිනවා. දුවව ලෑස්ති කරලා ඉස්කෝලෙට යවනවා. ඊටපස්සේ 8 වෙනකොට මම නඩේට එකතු වෙන්න යනවා. දලු කඩලා ආයේ 12.30ට ඇවිලා කෑම මොනවා හරි හදලා තියලා ආයේ 2ට වැඩට යනවා. ඊට පස්සේ ආයේ හවස 5 පහු වෙලා ගෙදර එනවා. දලු අඩු වෙච්ච දවස්වල සෙනසුරාදට වැඩ නවත්වනවා. දලු තියෙද්දි ඉතින් හැමදාම වැඩ. දලු අඩු දවස්වල නම් කිලෝ 20ක් අනිවාර්යෙන්ම කඩන්න ඕනේ. දලු තියෙන දවස්වල කිලෝ 40 -50ක් වගේ කඩන්න ඕනේ. දලු කූඩය පිටේ එල්ලගෙනම ඉඳලා හවස් වෙද්දි ටිකක් අමාරුයි. ඒත් ගෙදර ඇවිත් දුවගේ මුහුණ දකිද්දී ඒ අමාරුකම් නැති වෙලා යනවා. අපිට ඕනෙම නම් ඉතින් නිවාඩුවක් එහෙම ගන්න පුළුවන්. හැබැයි ඉතින් නිවාඩු ගත්තොත් අපිටමයි පාඩු. ලැබෙන ගාණ නැති වෙනවනේ. මොන අමාරුකම් තිබුණත් දුවගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ.
තේ දලුත් එක්ක ජීවිත අරගලය ගෙන ගියාට.. රාජලක්ෂ්මීගේ හීනය වී තිබුණේ වෙන එකක්. හැබැයි ඒ හීන බලාපොරොත්තු තිබුණේ අහසින් එහාය. ඉර හඳ තරු වලාකුළු අතර ය. ඈත මන්දාකිණිවලය. ඈ ඒ හීන බලාපොරොත්තු තම දියණියගෙන් දකින්නීය. පණ ගැහෙන ඒ හීන සැලසුම් පිපිරීමට ඈ ඉඩ නොදුන්නාය. මගේ අම්මත් තේ දලු කැඩුවා. අම්මා තේ දලු කඩන්න යන්න යද්දී මාත් බලන්න යනවා. එයාලට බොන්න දෙන තේවලින් මම බොනවා. හැබැයි මගේ ආසාව වුණේ වෙන එකක්. මම ආස වුණේ බැංකු නිලධාරිනියක් හරි ගුරුවරියක් හරි වෙන්න. හැබැයි ගෙදර තිබ්බ ආර්ථික තත්ත්වෙත් එක්ක මට ඒ හීනෙට යන්න බැරි වුණා. තාමත් මම ඒ හීනෙට හරි ආසයි. මම ඉගෙන ගත්තේ තලවාකැලේ සුමන මහා විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි දලු කඩන්න ආවේ. සැමියා ගියාම මගේ හිත තව හයිය වුණා. මගේ දුවව මම කොහොම හරි හොඳ තැනකට ගේනවා කියලා මම හිතා ගත්තා.
ගොඩක් මහන්සි වෙලා තමයි මම මේ තැනට ආවේ. මට ලැබෙන මුදලෙන් මම හැමදාම පොඩි ගාණක් මගේ දුවට වෙන් කරනවා. මම මේ ජීවිතයේදි වෙන බලාපොරොත්තු නැහැ. දුව ඉහළම තැන හිටියොත් ඒ මට හොඳටම ඇති. ආච්චි තේ දලු කැඩුවා. ඊට පස්සේ අම්මා තේ දලු කැඩුවා. දැන් මම කඩනවා. ඉතින් දුවටත් ඒ දේ වෙන්න දෙන්න බැහැනේ.
ඡායාරූප සහ පසුබිම් වාර්තාව
රංජිත් රාජපක්ෂ - හැටන්